රෝහිත් – රාහුල් සුසංයෝගය ඉදිරියේ කොදෙව්වන් දණ නමයි

76

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ විශාඛපට්නම් හීදී පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 107ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ඉන්දියාව ඊයේ (18) සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට කොදෙව් නායක කිරන් පොලාර්ඩ් තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරණ යුගලය බවට පත්වූයේ රෝහිත් ශර්මා හා කේ. එල්. රාහුල් ය.

එහෙත් කොදෙව්වන් කිසිසේත් බලාපොරොත්තු නොවූ පරිදි ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 227ක සබඳතාවයක් පැවැත්වූයේ කොදෙව් පන්දු යවන්නන්ට දිගට හරහට බැට දෙමිනි.

එහි දී කොදෙව් පන්දු යවන්නන්ව තම ආධිපත්‍යයට නතු කර ගැනීමට රෝහිත් හා රාහුල් යුගලය සමත් වූයේ විශාකපට්නම් පිටිය එක් සැණකෙළියක් බවට පත්කරමිනි.

ඒ අතරින් කේ. එල්. රාහුල් ලකුණු 102ක් ලබා ගනිමින් පළමු කඩුල්ල වශයෙන් දැවී ගිය අතර ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 8ක් සහ දැවැන්ත හයේ පහරවල් 3ක් අන්තර්ගත විය. 

අනතුරුව රෝහිත් සමඟින් පිටියේ එක්වූයේ තම 400වන ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළ නායක විරාත් කෝලි ය.

නමුත් ඔහු කිසිසේත් අපේක්ෂා නොකළ පරිදි පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියේ එතෙක් ඝෝෂාකාරීව තිබූ ඉන්දීය ප්‍රේක්ෂකාගාරය එක්වරම නිහඬ කරමිනි.

ඉන් පසුව පිටියේ එක්වූ ශ්‍රෙයාස් අයියර්, රෝහිත් සමඟින් ලකුණු 60ක සබඳතාවයක් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිහිටුවීමට දායකත්වයක් ලබා දුන්නේය.

ඒ වන තුරුම පිටියේ තම අණසක පතුරවමින් ආක්‍රමණශීලී ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ශර්මා ලකුණු 159ක් ලබා ගත්තේ පන්දු 138කට පමණක් මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 17ක් සහ දැවැන්ත හයේ පහරවල් 5ක් අන්තර්ගත විය. 

අවසානයේ ඔහු තම ඉනිම නිමා කළේ ශෙල්ඩන් කෝට්‍රල් එවූ පන්දුවකට කඩුලු රකින ෂයි හෝප් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. ඒ සමඟින් ඉන්දීය ලකුණු පුවරුව 292/3ක් වශයෙන් සටහන් විය. 

අනතුරුව අයියර් සමඟ පිටියේ එක් වූ රිෂාබ් පාන්ට් සිව්වැනි කඩුල්ල සඳහා වේගවත් ලකුණු 73ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් වූයේ පන්දු 24ක් පමණක් වැය කරමිනි.

තම සුපුරුදු පිතිකරණ රටාවට අනුගත වූ පාන්ට් පන්දු 16කින් ලකුණු 39ක් ලබා ගැනීමට සමත් විය. අවසානයේ ඔහු දැවී ගියේ පන්දුවාර 47.3ක දී ඉන්දීය ලකුණු පුවරුව 365/4ක් බවට පත්කරමිනි.

පාන්ට්ගේ දැවී යාමෙන් අනතුරුව අනෙක් අන්තයේ සිටි අයියර් ද ක්‍රියාත්මක වෙමින් ඉන්දීය ලකුණු පුවරුව තවත් ඔසවා තැබීමට සමත් වූයේ පන්දු 32කින් ලකුණු 53ක් ලබා ගනිමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් හා හයේ පහර 3ක් අන්තර්ගත විය.

ඉන්දීය ඉනිමේ 49 වැනි පන්දුවාරයේ දී අයියර් ද තම ඉනිමට නැවතීමේ තිත තැබූ අතර ඉනිම අවසන් වන තුරු අනෙක් අන්තයේ රැඳී සිටි කේදාර් ජාදව් පන්දු 10කදී ලකුණු 16ක් ලබා ගත්තේය.

ඒ අනුව ඉන්දියාව තම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 387ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේ දී කොදෙව්වන් වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කළ ශෙල්ඩන් කෝට්‍රල් කඩුලු දෙකක් දවා ගත් නමුත් ඔහුගේ පන්දුවාර 9 තුළ දී ලකුණු 83ක් ඩැහැගැනීමට ඉන්දීය පිතිකරුවන් සමත් විය.

ඉන්පසුව ලකුණු 388ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි කොදෙව් ආරම්භක පිතිකරුවන් බවට පත්වූයේ ශායි හෝප් හා එවින් ලුවීස් යුගලයයි.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 61ක සබඳතාවයක් පැවැත්වූ අතර ඉන් ලකුණු 30ක් ලබා ගත් ලුවීස් ඉනිමේ පළමු කඩුල්ල වශයෙන් දැවී ගියේ ශර්දුල් තාකූර්ගේ පන්දුවක් හමුවේය.

ඉන් වැඩි වේලාවක් යාමට මත්තෙන් කොදෙව් දෙවන හා තෙවැනි කඩුලු ද ඉතා ඉක්මනින්ම බිඳ වැටුණ පෙර තරගයේ ජයග්‍රාහී නියමුවා බවට පත් වූ ශිම්රොන් හෙට්මයර් හා අංක හතර පිතිකරු රොස්ටන් චේස් දෙදෙනාම අඩු ලකුණු සංඛ්‍යාවලට දැවී යාම හේතුවෙනි.

එහි දී හෙට්මයර් ලකුණු 4ක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගිය අතර චේස් ද ලකුණු 4කට දැවී ගියේ රවින්ද්‍ර ජඩේජාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙනි. ඒ සමඟින් කොදෙව් ලකුණු පුවරුව සටහන් වූයේ 86/3ක් වශයෙනි.

නමුත් ඉන් අනතුරුව හෝප් හා එක් වූ නිකලස් පූරන් යළිත් කොදෙව්වන්ට යම් බලාපොරොත්තුවක් එක් කළේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 106ක සබඳතාවයක් පිහිටුවමිනි.

ඊට වැඩි දායකත්වයක් ලබා දෙමින් ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වූ නිකලස් පූරන් පන්දු 47කින් ප්‍රවේගකාරී ලකුණු 75ක් රැස් කළේ ඉන්දියානු පන්දු යවන්නන්ට දිගට හරහට බැටදෙමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 6ක් හා දැවැන්ත හයේ පහරවල් 6ක් අන්තර්ගත විය.

කෙසේ වෙතත් කොදෙව් ලකුණු පුවරුව ලකුණු 192ක් බවට පත්වන විට ඉනිමේ සිව්වැනි කඩුල්ල වශයෙන් පූරන් දැවී ගියේ යළිත් වරක් තරගය දෙපිලටම විවෘත කරමිනි.

ඉන් පසුව පිටියට පිවිසි කිරන් පොලාර්ඩ් තම නායකත්ව වගකීම් පැහැර හරිමින් පළමු පන්දුවෙන්ම දැවීගියේ තරගයේ පෙරමුණ ඉන්දියාවට හිමිකර දෙමිනි.

ඒ වෙනතුරු අනෙක් අන්තයේ කඩුල්ලේ රැඳී සිටිමින් කොදෙව් පිතිකරණයේ නැංගුරම බවට පත් වූ ෂායි හෝප් පන්දු 85ක දී ලකුණු 78ක් ලබා ගත්තේ හතරේ පහරවල් 7ක් හා දැවැන්ත හයේ පහරවල් 3ක් තම ඉනිමට අන්තර්ගත කරමිනි.

කොදෙව් ලකුණු පුවරුව 210ක් වශයෙන් සටහන් වන විට හෝප් ද තම ඉනිමට නැවතීමේ තිත තැබුවේ කොදෙව්වන්ගේ අවසන් බලාපොරොත්තුවත් බොඳ කර දමමිනි. ඒ කුල්දීප් යාදව්ගේ පන්දුවක් හමුවේ නායක කෝලි අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

ඉන් නොනැවතුනු කුල්දීප් ජේසන් හෝල්ඩර් හා අල්සාරි ජෝසප් දෙදෙනාගේ කඩුලු දෙක ද පිට පිටම දවා ගනු ලැබුවේ තම දෙවන ජාත්‍යන්තර කඩුලු ත්‍රිත්වය වාර්තා කරමිනි.

අනතුරුව පිටියට පිවිසි පිතිකරුවන්ගෙන් කීමෝ පෝල් හා කැරී පියර් හැරුණුකොට කිසිදු අයෙකුට ලකුණු 20 සීමාව හෝ ඉක්මවීමට නොහැකි වූ අතර පෝල් පන්දු 42කින් ලකුණු 46ක් හා පියර් පන්දු 18කින් ලකුණු 21ක් ලබා ගත්තේය. ඒ සමඟින් කොදෙව් ඉනිම ලකුණු 280කට සීමා වූයේ පන්දුවාර 43.3ක දී ය. 

පන්දු යැවීමේ දී මොහොමඩ් ශමී 39/3ක් හා කුල්දීප් යාදව් 52/3ක් වශයෙන් තම පන්දු යැවීමේ වාර්තා සටහන් කළහ.

මේ අනුව තරගයෙන් ලකුණු 107ක දැවැන්ත ජයග්‍රහණයක් ඉන්දියාවට හිමි වූයේ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් වශයෙන් සම තත්ත්වයට පත්කරමිනි.

තරගයේ වීරයා සම්මානය නිතරගයෙන්ම හිමිකර ගැනීමට ඉන්දීය ජයග්‍රහණයේ නියමුවා බවට පත් වූ රෝහිත් ශර්මා සමත් විය.

දෙරට අතර පැවැත්වෙන තවන හා අවසන් එක්දින තරගය එළඹෙන ඉරිදා (22) කතක්හිදී පැවැත්වීමට නියමිතව ඇත.

ඉන්දියාව -387/5 (පන්දුවාර 50): රෝහිත් ශර්මා 159 (138),කේ.එල්.රාහුල් 102 (104), ශ්‍රෙයාස් අයියර් 53 (32), ශෙල්ඩන් කෝට්‍රල් 2/83

බටහිර ඉන්දීය කොදෙව් (පන්දුවාර 43.3): ෂයි හෝප් 78 (85), නිකලස් පූරන් 75 (47), මොහොමඩ් ශමී 3/39, කුල්දීප් යාදව් 3/52

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<