නවසීලන්තයේ ලකුණු 203 ඉන්දියාව පන්දුවාර 19න් හඹායයි!

92
Getty Images

ඉන්දීය පිළේ නවසීලන්ත සංචාරය අරඹමින් පැවති පළමු T20 තරගයෙන්ම කඩුලු 6ක සුවිශේෂී ජයක් වාර්තා කර ගන්නට අද (24) ඉන්දීය කණ්ඩායමට හැකිවිය. ඒ 2020 තරගයක උපරිම තරගකාරීත්වයක් දැකිය හැකි වූ උණුසුම් තරගයකින් පසුවයි. එහිදී ඉන්දීය පිළ ලකුණු 200කට වැඩි ලකුණු පුවරුවක් හඹා ගොස් ජය ගත්තේ තවත් පන්දුවාරයක්ම ඉතිරිව තිබියදීයි.

හරාරේ හිදී ශ්‍රී ලංකාවට දැවැන්ත ටෙස්ට් ජයක්!

ඊයේ දිනයේ ඇන්ජෙලෝ මැතිව්ස් වාර්තා කළ විශිෂ්ට ද්විත්ව ශතකයත්, අවසන් දිනයේ දී සුරංග ලක්මාල් ප්‍රමුඛ පන්දු යවන්නන්……

ඕක්ලන්ඩ් හි ඊඩ්න් පාර්ක් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය ඉන්දීය පිළ සතුවූ අතර කවදත් ලකුණු හඹා යෑමට ප්‍රියතාවයක් දක්වන ඔවුන් තීරණය කළේ මුලින් පන්දු යැවීමටයි. ඒ අනුව ඊට ප්‍රතිචාර දැක්වූ නවසීලන්ත පිළ සුපිරි ආරම්භයක් ලබා ගත්තේ පළමු කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 80ක සබඳතාවයක් පවත්වමිනි. එහිදී තමන්ට හුරුපුරුදු ප්‍රහාරය නැවත වරක් දියත් කළ මාර්ටින් ගප්ටිල් ලකුණු 30ක් රැස් කළේ පන්දු 19ක් පමණක් වැය කරමිනි.

ගප්ටිල් සමඟ ඉනිම ඇරඹූ කොලින් මන්රෝ ද සාර්ථක ක්‍රීඩා රටාවක් අනුගමනය කරමින් පන්දු 42කදී ලකුණු 59ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟයි. කෙසේවෙතත් අද තම ලකුණු ගිණුම ඇරඹීමටත් පෙරම රවීන්ද්‍ර ජඩේජාගේ දඟ පන්දුවකට ගොදුරු වූ කොලින් ඩි ග්‍රෑන්ඩ්හොම් ක්‍රීඩාගාරයට හැරී යන්නේ නවසීලන්ත ලකුණු පුවරුව 117ට කඩුලු 3ක් බවට පත් කරමිනි.

එතැන් පටන් තවත් අගනා අර්ධ ශතක සබඳතාවයක් කේන් විලියම්සන් සහ රොස් ටේලර් අතරේ ගොඩ නැංවීම නිසා නවසීලන්තයට ලකුණු 203ක් දක්වා තම ඉනිම ප්‍රසාරණය කර ගැනීමට හැකිවිය. එහිදී ඕනෑම තරග රටාවකට ගැලපෙන අයුරින් තම ක්‍රීඩා විලාශය වෙනස් කර ගැනීමට උපන් හපන්කම් දක්වන කේන් විලියම්සන් ලකුණු 51ක් රැස් කළේ පන්දු 26කට පමණක් මුහුණ දෙමිනි. ඒ හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් එල්ල කරමිනි. 

ආබාධ රකුසාට බිලි වූ ධාවන් හට නවසීලන්ත සංචාරය අහිමි වන ලකුණු

නවසීලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත සීමිත පන්දුවාර එක්දින තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල……

විලියම්සන්ට නොදෙවෙනි ප්‍රහාරයක නිරත වූ රොස් ටේලර් තවත් නොදැවුණු අර්ධ ශතකයක් (54*) රැස්කර ගත්තේ පන්දු 27කට පමණක් මුහුණ දෙමිනි. ඒ හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟයි. මොවුන් දෙදෙනාගේම පන්දුවට පහර දීමේ වේගය 200ක පමණ ඉහළ අගයක් ගත්තේය. පන්දු යැවීමේ දී කිසිදු ක්‍රීඩකයෙකු විශේෂ දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ අතර ශාදුල් තකූර් සහ මොහොමඩ් ශමී කැපී පෙනෙන ලෙස දැඩි ප්‍රහාරයකට ලක්විය.

මෙම දැවැන්ත ඉලක්කය පසුපස හඹායාම සඳහා පිටියට පිවිසි ඉන්දීය පිළේ පළමු කඩුල්ල ලෙස විශ්වාසනීය පිතිකරු රෝහිත් ශර්මා දැවී ගියේ ලකුණු 7දීයි. කෙසේවෙතත් ඉන් නොසැලුණු ඔවුන් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නගමින් නැවතත් තරගයට අවතීර්ණ වූහ. එහිදී මේ දිනවල ලකුණු අතර සිටින ලෝකේෂ් රාහුල් ලකුණු 56ක් රැස්කර ගත්තේ පන්දු 27කට පමණක් මුහුණ දෙමිනි. ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.

අනෙක් අන්තයේ සිටි නායක කෝලි සුපුරුදු පරිදි තම වගකීම ඉටු කරමින් ලකුණු 45ක් රැස් කළේය. පන්දු 32ක් පමණක් වැයවුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. ඉන් අනතුරුව ඉන්දීය පිළට අවශ්‍ය ලකුණු වේගය රඳවා ගැනීමට පාර කියූ ශ්‍රෙයාස් අයර් ඉන්දීය පිළ තරගය ජය ගන්නා තුරුම නොදැවී සිටිමින් ලකුණු 58ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟයි. මෙම සුවිශේෂී දක්ෂතා නිසාම තරගයේ වීරයා සම්මානය හිමිවූයේ ද ඔහුටයි.

කමිඳු මෙන්ඩිස් තුන් ඉරියව් දක්ෂතා දක්වයි

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය 27 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන පළමු පෙළ විස්සයි විස්ස වෙළෙඳ සේවා…..

පන්දු යැවීමේ දී ඉශ් සෝඩි කඩුලු 2ක් ද, මිචෙල් සැන්ට්නර් සහ බ්ලෙයාර් තික්නර් එක් කඩුල්ල බැගින් ද බිඳ හෙලූවද එය ඉන්දීය පිළේ ජයග්‍රහණය අහිමි කිරීමට ප්‍රමාණවත් වූයේ නැත. ඒ අනුව මෙම තරග ජයත් සමඟින් තරග 5කින් සමන්විත දීර්ඝ තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියෙන් පසු වන්නේද ඉන්දියාවයි. දෙරට අතර දෙවැනි T20 තරගය අනිද්දා (26) ඕක්ලන්ඩ් හිදීම පැවැත්වීමට නියමිතය.

නවසීලන්තය – කඩුලු 5ක් දැවී ලකුණු 203 (පන්දුවාර 20) කොලින් මන්රෝ 59, රොස් ටේලර් 54*, කේන් විලියම්සන් 51, මාර්ටින් ගප්ටිල් 30, රවීන්ද්‍ර ජඩේජා 1/18, ශිවාම් ඩුබේ 1/24, ජස්ප්‍රිට් බුම්රාහ් 1/31.

ඉන්දියාව – කඩුලු 4ක් දැවී ලකුණු 204 (පන්දුවාර 19) ශ්‍රෙයාස් අයර් 58*, ලෝකේෂ් රාහුල් 56, විරාත් කෝලි 45, මනිශ් පාන්ඩේ 14*, ශිවාම් ඩුබේ 13, ඉශ් සෝඩි 2/36, බ්ලෙයාර් තික්නර් 1/34.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<