මතු දිනයක ක්‍රිකට් ලොව දැවැන්තයින් වීමට සිහින දකින ක්‍රීඩකයින්ගේ මෞලි මංගල්‍යය වන 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ දිනවල දී පැවැත්වෙන්නේ නවසීලන්තය කේන්ද්‍ර කොට ගනිමිනි.

එහි පළමු තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම අද (14) ප්‍රතිවාදී අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක සුපිරි ජයක් ලබා ගැනීමට සමත් විය. එම ජයග්‍රහණය පිටුපස සිටිමින් දැවැන්ත කාර්‍යභාරයක් ඉටු කළ ධනංජය ලක්ෂාන් අද නොදැවුණු විශිෂ්ට ශතකයක් වාර්තා කර ගනිමින් තරගයේ වීරයා සම්මානයට ද හිමිකම් කීවේය.

පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට හොඳ පුහුණුවක්

යොවුන් ක්‍රිකට් කිරුළ සොයා නවසීලන්තයේ සංචාරයේ යෙදෙන ශ්‍රී ලංකා…

D කාණ්ඩයේ තරගයක් ලෙසින් ඇරඹුණු මෙම තරගය මෙවර යොවුන් ලෝක කුසලානයේ 5 වැන්න බවට පත්විය. තරගය පැවැත්වීම සඳහා සූදානම් වී තිබුණේ වැන්ගරේ හි කෝබම් ඕවල් ක්‍රීඩාංගණයයි. කෙසේ වෙතත් වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 48කට සීමා කිරීමට අද තරග තීරකවරයාට සිදු විය. තණතිල්ල මත දී අයර්ලන්ත නායක හැරී ටෙක්ටර්ට වාසි ගෙන දෙමින් කාසිය පෙරළී යාමත් සමඟ ඔහු මුලින් පිතිකරණය සඳහා යොමු වීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි අයර්ලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 73ක් එක් කළේ ශ්‍රී ලංකාවට හිසරදයක් වෙමිනි.

තම පන්දු යවන්නන් පසුබෑමට ලක්වූ මේ මොහොතේ ක්‍රියාත්මක වූ නායක කමිඳු මෙන්ඩිස් ලකුණු 36ක් වාර්තා කරගෙන පිටියේ ස්ථාවර වී සිටි මාර්ක් ඩොනේගන්ව දවා ගනිමින් කඩුලු දඩයම ආරම්භ කිරීමට සමත් විය. ඉන් අනතුරුව ඔවුන්ගේ මැදපෙළ පිතිකරුවන් දෙදෙනෙකුම දුවද්දී දැවී යාම් වලට හසු වීමත් සමඟම තරගයේ පාලනය සියතට ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. අයර්ලන්තයේ තත්ත්වය තවත් නරක අතට හරවමින් ලකුණු 75ක් ලබා සිටි ජැමී ග්‍රාසි ද දැවී ගියේ ජෙහාන් ඩැනියෙල්ගේ වේගපන්දුවක් හමුවේයි. ඒ අනුව අයර්ලන්ත ඉනිම නියමිත පන්දුවාර 48 අවසානයේ ලකුණු 207කට සීමා විය. පන්දු යැවීමේ දී තුන් ඉරියව්වෙන්ම දස්කම් පාන රිච්මන්ඩ් විද්‍යාලයෙන් බිහිවූ යොවුන් ක්‍රිකට් තරුවක් වන කමිඳු මෙන්ඩිස් කඩුලු 3ක් බිඳ හෙලීය.

මෙම ඉලක්කය පහසුවෙන් හඹායෑමේ බලාපොරොත්තු ඇතිව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිටියට පිවිසිය ද හසිත බෝයගොඩ සහ නිපුන් ධනංජය ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 10ක් එකතු වන්නටත් පෙරාතුව දැවී යාම කණ්ඩායම පීඩනයට නතු කරන්නට හේතු විය. ඒ මොහොතේ පිහිටට ආවේ ආරම්භක පිතිකරු ධනංජය ලක්ෂාන් සහ ක්‍රිෂාන් ආරච්චිගේ අතර ඇතිවූ ලකුණු 42ක සබඳතාවයයි. ක්‍රිෂාන් දැවී යාමෙන් පසුව ධනංජය ලක්ෂාන් සමඟ එක්වුණු කමිඳු මෙන්ඩිස් නොදැවුණු ලකුණු 157ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නඟමින් ශ්‍රී ලංකා පිළ සුරැකිව ජයග්‍රහණය කරා කැටුව ගියහ.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට තිලිණ වූ මෙම අංකුර දෙක අද නවසීලන්තයේ වේගවත් තණතිලි මතදී පවා මනා විශ්වාසයකින් යුතුව පිති හරඹයේ යෙදුණු අයුරු සැබවින්ම විශිෂ්ට විය. එහි අවසානය සටහන් වූයේ කමිඳු මෙන්ඩිස් පන්දු 73කදී නොදැවී ලකුණු 74ක් ලබා සිටිය දීයි. ඔහුගේ දැකුම්කළු ඉනිමට හතරේ පහර 6ක් ඇතුළත් විය. පාසල් කාලයේ සිටම දැන හඳුනාගත් ඔහුගේ සහායක පිතිකරු ධනංජය ලක්ෂාන් අද නොදැවී ලකුණු 101ක් රැස්කර ගත්තේ පන්දු 120කට මුහුණ දෙමිනි. ධනංජයගේ මෙම සුපිරි ශතකයට කල්යල් බලා එල්ල කළ හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. ඒ අනුව තවත් පන්දුවාර 10ක් පමණ ඉතිරිව තිබිය දී ම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව උදා විය.

ශ්‍රී ලංකාවට තවත් ලෝක වාර්තාවක්

ඩුබායි හිදී ඊයේ (13) පැවති ශ්‍රී ලංකාව හා නේපාලය අතර තරගය ලකුණු 340කින් ජයග්‍රහණය…

රටවල් 16ක් සහභාගි වන මෙවර ලෝක කුසලානයේ D කාණ්ඩය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය තරග වදින අතර ඉන් මුල් ස්ථාන දෙක ලබා ගන්නා කණ්ඩායම් දෙක සුපිරි 8 වටය සඳහා සුදුසුකම් ලබා ගනියි. මේ වන විට එක් තරගය බැගින් ජය ගනිමින් D කාණ්ඩයේ පෙරමුණේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානයයි. මෙම කණ්ඩායම් දෙක මුහුණට මුහුණ හමුවන, ඉදිරි වටයට පිවිසීම සඳහා දෙපිළටම අතිශයින්ම වැදගත් වන තරගය එළඹෙන බදාදා (17) මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

අයර්ලන්ත යොවුන් කණ්ඩායම – කඩුලු 8ක් දැවී ලකුණු 207 (පන්දුවාර 48): ජැමී ග්‍රාසි 75, මාර්ක් ඩොනේගන් 36, ජොශුවා ලිට්ල් 25, සෑම් මර්ෆි 15, ග්‍රැහැම් කෙනඩි 13, කමිඳු මෙන්ඩිස් 3/35, ජෙහාන් ඩැනියෙල් 1/38, නිපුන් මාලිංග 1/39.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම – කඩුලු 3ක් දැවී ලකුණු 208 (පන්දුවාර 37.3): ධනංජය ලක්ෂාන් 101*, කමිඳු මෙන්ඩිස් 74*, ක්‍රිෂාන් ආරච්චිගේ 17, ආරෝන් කව්ලි 2/26, මැක්ස් නෙවිල් 1/51.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<