ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් විසින් දෙවන ටෙස්ට් තරගය අතරතුර ඉන්හේලරයක් භාවිතා කිරීම සඳහා අවසර ඉල්ලා තිබූ අතර, ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ඊයේ (1) අවසර ලබා දී තිබේ.

හෙට තරගයට මොකද වෙන්නේ?

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් ජාත්‍යන්තර තරගය හෙට (3)

දිනේෂ්  චන්දිමාල් නියුමෝනියා රෝගී තත්වය පෙළුණු අතර රෝහල්ගත වීමට ද ඔහුට සිදු විය. ඒ අනුව ඉන්දීය තරගාවලියේ ගාල්ලේ දී පැවැත්වුණු ප්‍රථම ටෙස්ට් තරගය සඳහා සිය දායකත්වය දැක්වීමට චන්දිමාල් අපොහොසත් විය. රෝග තත්ත්වය සමනය වීම සඳහා ඉන්හේලරයක් භාවිතා කරන ලෙසට වෛද්‍ය උපදෙස් චන්දිමාල්ට ලැබී ඇත.

“මගේ තත්ත්වය දැන් හුඟක් හොඳයි. මම මේ අවස්ථාවේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ස්තුතිවන්ත වෙනවා මෙම ඉන්හේලරය භාවිතා කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධව. එ් නිසා මට නැවතත් ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට  ඒමට හැකි වේවි.” යැයි චන්දිමාල් අද පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී ඒ සම්බන්ධව සිය අදහස් පල කළේය.

තරගය අතරතුර හෝ තරගයට සහභාගි වීමට පෙර යම් ඖෂධයක් ලබා ගන්නේ නම් ඒ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කිරීම අනිවාර්ය වන අතර, මෙම අසනීප තත්ත්වය ඉක්මනින්ම මග හරවා ගැනීම සඳහා ඉන්හේලරයක් භාවිතා කිරීමට අවස්ථාව ලබාදෙන මෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත චන්දිමාල් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉල්ලීමක් සිදුකර තිබුණි.

“හෙට දිනයේ ලැබෙන තණතීරුව තරමක් වියළි සහ ටෙස්ට් තරග සඳහා ඉතාමත් උචිත තණතීරුවක්, රංගන හේරත් හෙට තරගය සඳහා ක්‍රීඩා කරනවා. හේරත් කියන්නේ ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක් වගේම තරග දිනවන්නෙක්. අපි ඉන්දීය පන්දු යවන්නන්ට හොඳ අභියෝගයක් ලබා දීමට මේ දින කිහිපය තුළ හොඳින්ම පුහුණුවීම් කටයුතු කළා. එවගේම අපි අපේ පන්දු රැකීමත් ඉහළ මට්ටමකට ගෙන ඒමට විශාල මහන්සියක් වුනා. හෙට තරගයේ දී අසේල වෙනුවට ධනංජය කණ්ඩායමට ඒමට වැඩි ඉඩක් තියෙනවා. අපිට හුගක්ම ඕනේ අපේ පිතිකරණය වර්ධනය කරගන්න. මේ තණතීරුවට අනුව හෙට තරගයේ දී මාලින්ද පුෂ්පකුමාර ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තියෙනවා.” යැයි නායක චන්දිමාල් තරගයට පෙර පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

එසේම ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය සඳහා ලහිරු තිරිමාන්න හා ලක්ෂාන් සඳකැන් යන ක්‍රීඩකයන් කැඳවා තිබේ. “තිරිමාන්න කියන්නේ අත්දැකීම් විශාල ප්‍රමාණයක් ඇති  අපිට වැදගත් දක්ෂ ක්‍රීඩකයෙක්.” යැයි චන්දිමාල් ඔහුගේ ආගමනය සම්බන්ධයෙන් වැඩිදුරටත් සිය අදහස් ප්‍රකාශ කළේය.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී ඉන්දීය කණ්ඩායම් නායක විරාත් කෝලි ද සිය අදහස් ප්‍රකාශ කරන ලදි. “මෙම තණතීරුව ටෙස්ට් තරගයක් සඳහා හුඟක් හොඳ තණතීරුවක්. පසුගිය දින කිහිපය පුරාවට මම ඇතුළු අපේ කණ්ඩායම හුඟක් වෙහෙස මහන්සි වෙලා පුහුණුවීම් කටයුතු කලා, මම ඒ ගැන අවංකවම සතුටු වෙනවා. හෙට තරගය සඳහා කේ. එල් රාහුල් ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ වගේම නිමා වූ පුහුණු තරගයේ දී හා පසුගිය කාලය තුළ ඔහු අපේ කණ්ඩායම වෙනුවෙන් විශාල දායකත්වය ලබා දුන් ක්‍රීඩකයෙක්. හෙට උදෑසන තණතීරුව බලලා අවසන් ක්‍රීඩකයින් 11 දෙනා තෝරා ගන්නවා.” යැයි කෝලි මාධ්‍ය සාකච්ඡාවේ දී සිය අදහස් පළකළේය.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය හෙට (2) උදෑසන 10ට කොළඹ එස්. එස්. සී පිටියේ දී ආරම්භ වනු ඇත.

 >>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට<<