මුතු ඇටය හා බැංකු ලිපිකරුවා

245

ශ්‍රී ලංකාව අතීතයේ ප්‍රසිද්ධව සිටියේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් ය. (The Pearl of Indian Ocean) එතරම් පිළිගැනීමක් හා වටිනාකමක් එකල අප රටට හිමි වී තිබුණි. 

වර්තමානයේ සිදු වන බොහෝ දෑ දෙස බලන විට නම් මේ රටට මුතු ඇටයට වඩා අමුතු ඇටය යැයි කීම මනා යැයි යමෙකුට සිතිය හැක. මේ ලිපිය වෙන්වන්නේ එම අමුතු ඇටය තුළ පහළ වූ එක් මුතු ඇටයක්, ඉතිහාසගත ටෙස්ට් ජයග්‍රහණයක් වෙනුවෙන් තම දායකත්වය සැපයූ ආකාරය පිළිබඳව විමසා බැලීමට ය.

ශාමින්ද එරංග..

ප්‍රකට ක්‍රීඩා මාධ්‍යවේදියකු වන ජැරඩ් කිම්බර් ඔහුව හැඳින්වූයේ මුතු ඇටය (The Pearl) නමින් ය. කිම්බර් ඔහු පිළිබඳව විස්තර කරන්නේ මෙසේ ය. 

“එරංග පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කළේ නැත. ඔහු එම පද්ධතිය තුළ සිටියේ ද නැත. ඔහු පද්ධතිය තුළට ඇතුළත් නොවිය යුතුව සිටි අයෙකි. නමුත් ඔහුගේ වේගපන්දු යැවීමේ සහකරු නුවන් ප්‍රදීප් ලෙසින්ම ඔහු වේගපන්දු යැවීමේ තරගයකට අවතීර්ණ විය. 

ඔහු වේගයෙන් පන්දු යැවීය. නමුත් එහි දී වෙනත් පන්දු යවන්නන් පස් දෙනෙකු ඔහුට වඩා වේගයෙන් පන්දු යැවීය. කෙසේ හෝ එම තරගයේ හයවැනි වේගවත්ම පන්දු යවන්නා හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සඳහා තෝරා ගන්නා ලදි. ඉන් වසර පහකට පසුව ඔහු සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ යැවූ දෙවන පන්දුවෙන්  බ්‍රැඩ් හැඩින්ගේ කඩුල්ල බිඳ දැමීමට සමත් විය. ඉතා දිගු කාලයක් තිස්සේ හලාවත බිහි කළ මුතු ඇටයකට සමීපතම දේ එරංගය.” 

එරංග ගැන සිහිපත් කරන විට බොහෝ දෙනෙකුට ඔහු පිළිබඳව මතකයේ ඇත්තේ 2014 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ හෙඩින්ග්ලි නුවර පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරගයේ ඔහු යැවූ අවසන් පන්දු වාරය නිසාය. එහි දී ඔහු එංගලන්ත අවසන් පිතිකරු ජේම්ස් ඇන්ඩර්සන් දවා ගැනීම සඳහා යැවූ බවුන්සර් පන්දුව ක්‍රිකට් ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙකුගේ මතකයේ නොමැකී රැඳී තිබෙන බව රහසක් නොවේ.

එම තරගය ශ්‍රී ලාංකිකයන්ට ඉතා සුවිශේෂී එකක් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තය තුළ දී ටෙස්ට් තරගාවලියකින් එංගලන්තය පරාජයට පත් කළ පළමු අවස්ථාව එය වීම නිසාය. 

ලෝඩ්ස් හි පැවති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමා විය. නමුත් එහි වැඩි ගෞරව දිනා ගන්නා ලද්දේ එංගලන්ත කණ්ඩායමයි. අනතුරුව දෙවන ටෙස්ට් තරගය පැවැත්වුණේ හෙඩින්ග්ලි නුවර දී යි.

එම තරගය පිළිබඳව ජැරඩ් කිම්බර් ලියූ ලිපිය තුළ ඔහු එරංගව හඳුන්වන්නේ මුතු ඇටය ලෙසිනි. මුතු ඇටය හා බැංකු ලිපිකරුවා (The Pearl and The Bank Clerk) යන ශීර්ෂයෙන් ලිපිය ආරම්භ කරන කිම්බර් රංගන හේරත්ව බැංකු ලිපිකරුවා යනුවෙන් ආමන්ත්‍රණය කරන අතර, අඩු පහසුකම් යටතේ ලොව අනෙකුත් රටවල් සමඟ කරට කර තරග වදින ශ්‍රී ලංකාව පිළිබඳව අපූරුවට ඉදිරිපත් කරයි.

ආදරණීය රංගයියේ…

රංගන හේරත්.. අපට ඔහු රංගයියා විය. රංගයියා පළමුවරට කාරයක් මිලදී ගෙන ගමට පැමිණි…

එහි දී පළමු ඉනිමේ එරංගගේ පන්දු යැවීම ගැන කිම්බර්ගේ සටහන මෙසේය..

“එරංග පළමු ඉනිමේ වැඩි කාලයක් ගත කළේ කොතැනකවත් හරි හැටි නොසිටීමෙනි (රිද්මයක් නොමැතිව ). දෝලනය මද වශයෙන් පැවතිය ද එය ප්‍රමාණවත් වූයේ නැත. ඔහු සෑම් රොබ්සන්ට ඉතා හොඳ එල්ලයකින් පන්දු යැවූ නමුත් පන්දුව පිත්තේ දාරයේ දවටා ගැනීමට නොහැකි විය. එංගලන්තය තරගයත් සමඟ තව දුරටත් ඉදිරියට ගියේය. 

දෙවන නව පන්දුව පවා ඔහු වෙනුවෙන් කිසිවක් කළේ නැත. ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බිඳ වැටී තිබුනි. නමුත් ඉන් පසුව ඔවුන්ට ඉයන් බෙල්ගේ කඩුල්ල දවා ගැනීමට ලැබුණි. ඒ කඩුල්ල එරංගගේ ය. ඔහු එයට මොයින් අලිගේ කඩුල්ලත් එක් කළේය. ඊළඟ දිනයේ උදෑසන ඔහුට ක්‍රිස් ජෝර්ඩන් සහ ඇන්ඩර්සන් ද දවා ගන්නට හැකි විය.”

පළමු ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළ ලකුණු 257ට පිළිතුරු වශයෙන් පළමු ඉනිමට ලකුණු 365ක් රැස් කරගන්නට එංගලන්ත පිතිකරුවන් සමත් විය. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 108 ක් ඉදිරියෙන් දෙවන ඉනිමට පිවිසීමට සමත් විය.

නමුත් නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ සහ රංගන හේරත්ගේ අගනා පිතිකරණය නිසා සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 457ක් රැස් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් එංගලන්ත කණ්ඩායමට වඩා ලකුණු 349ක් ඉදිරියෙන් සිටි අතර එංගලන්තයට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 350 ක ඉලක්කයක් හිමි විය.

මුල් තරගය පුරාවටත්, පළමු ඉනිමේ දීත් උපරිම දස්කම් දැක්වුවද, දෙවැනි ඉනිමේ එරංගගේ පන්දු යැවීම ඉතා දුර්වල මට්ටමකට වැටී තිබුණේය. ඒ පිළිබඳව කිම්බර් සටහන් කරන්නේ මෙසේය.

“දෙවන ඉනිමේ දී එරංග තමා තරගාවලියේ යැවූ නරකම පන්දු යැවීම සිදු කළේය. ලෝඩ්ස්හි දී (පෙර තරගයේ) ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම පන්දු යවන්නා විය. හෙඩින්ග්ලි හි දී (මෙම තරගය) පළමු ඉනිමේ කණ්ඩායම පසුබා සිටිය දී ඔහු විසින් කණ්ඩායමට නැවත තරගයට පැමිණීමට අවශ්‍ය දිරිය ලබා දුනි. 

නමුත් දෙවෙනි ඉනිමේ දී තරගය ජය ගැනීමට ඔහුගේ කණ්ඩායමට ඇත්ත වශයෙන්ම ඔහුගේ දායකත්වය අවශ්‍ය වූ විට ඔහුට එය නිවැරදිව ලබා ගැනීමට නොහැකි විය. පන්දු යැවිය යුතු රේඛාව හා පන්දුව පතිත කළ යුතු ස්ථානය ඔහුගේ පාලනයෙන් ගිලිහී තිබුණි. ඔහු පිතිකරුවන්ව පහර එල්ල කිරීමට පෙළඹූයේ නැත. ඉන්පසු ඔහු ජෝර්ඩන්ගේ කඩුල්ල දවාගත් නමුත් එම පන්දුවත් අවසානයේ නිපන්දුවක් බවට පත්විය.”

එරංගගේ පන්දු යැවීම එසේ වුවත් ධම්මික ප්‍රසාද්ගේ අගනා පන්දු යැවීම නිසා තරගය තමා වෙත හරවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම කෙසේ හෝ සමත් විය. තරගයේ හතර වැනි දිනය නිමා වන විට ලකුණු 350ක ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්ත කණ්ඩායම ලකුණු 54කට කඩුලු 5ක් දැවී ගොස් ඉතා අසීරු අඩියකට වැටී සිටියේය. තවත් කඩුලු 5ක් පමණක් අතැතිව ක්‍රීඩා කළ ඔවුන්ට පරාජයෙන් ගැලවීම කළ නොහැකි කාරණයක් බව සියල්ලන්ගේම පිළිගැනීම විය

© Sky Sports

නමුත් පස්වැනි දිනයේ දී විශිෂ්ට ශතකයක් ද සමඟින් අගනා ඉනිමක් ක්‍රීඩා කළ මොයීන් අලී පසුපෙළ පිතිකරුවන් හා එක්ව තරගයේ අවසන් පන්දුවාරය දක්වාම එංගලන්තය පරාජයෙන් ගලවා ගැනීමේ සටනේ නිරත විය.

කිම්බර් සඳහන් කරන ආකාරයටම දෙවැනි ඉනිමේ එරංගගේ පන්දු යැවීමේ කිසිදු රිද්මයක් තිබුණේ නැත. දිනය පුරාවටම කඩුල්ල ආරක්ෂා කරගෙන පිතිහරඹයේ යෙදුණ මොයීන් අලී අනෙක් අන්තයට වී බලා සිටින විට අවසන් පන්දුවාරයට මුහුණ දීමට සිදු වූයේ එංගලන්ත අවසන් පිතිකරු ජේම්ස් ඇන්ඩර්සන් හට ය. ඒ වන විට පන්දු 50කට සාර්ථකව මුහුණ දී තම කඩුල්ල ආරක්ෂා කරගෙන සිටි ඇන්ඩර්සන් හට තවත් පන්දු හයකින් බේරීම එතරම් අපහසු නොවෙතැයි මොයීන් අලී පවා නොසිතන්නට ඇත.

අනෙකුත් පන්දු යවන්නන්ගේ අසාර්ථක භාවය  නිසා අවසන් පන්දුවාරය යැවීමේ අවස්ථාව එරංගට හිමි වූ බව කිම්බර් විශ්වාස කරයි. ඒ පිළිබඳව ඔහු ගේ සටහන මෙසේ යි.

“එරංගගේ පළමු ඕවර 23.4 පමණක් විශිෂ්ට නොවීය. අන්තිම ඕවරය ඔහුට ලැබීම බොහෝ දුරට වාසනාවකි. ධම්මික ප්‍රසාද් අවසන් ඕවරයට පෙර පන්දු ඕවරය යැවීය. හේරත්ට ඇන්ඩර්සන්ව පරාජය කිරීමට නොහැකි විය. ප්‍රදීප් බොහෝ වෙහෙසට පත්වූ බවක් පෙනුනි. ඇන්ජලෝ මැතිව්ස්ට ඔහුගේ පළමු ඉනිමේ දස්කම් අහිමි විය.ඉතිරි වූයේ එරංග පමණි.”

© Sportzwiki

වෙනත් විකල්පයක් නොමැති නිසාවෙන් නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් තුරුම්පුව වූයේ එරංගයි. වසර ගණනාවක අත්දැකීම්වලින් පරිපූර්ණ වූ වෘත්තීය ක්‍රිකට් තරුවක් වන ජේම්ස් ඇන්ඩර්සන් වේගපන්දු යවන්නන් අතරින් හය වන තැනට පත්වූ හලාවතින් පැමිණි වේගපන්දු යවන්නෙකු (එරංග) හමුවේ පරාජයට පත් වූ ආකාරයත්, ඒ පරාජයට කුරුණෑගලින් පැමිණි තරබාරු, මන්දගාමී පුද්ගලයෙකු (රංගන හේරත්) දායක වූ අයුරුත් ජැරඩ් කිම්බර් විස්තර කරන්නේ මෙසේය.

“ඇන්ඩර්සන් වයස අවුරුදු 21 වන විට එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියේය. ඔහු වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ප්‍රතිමූර්තියකි. ලන්ඩනයේ බස් රථවල පිටුපස ඔබට ඔහුගේ මුහුණ දැක ගත හැකිය. ඔහු පන්දුවෙන් ලොව පුරා තරඟ ජයග්‍රහණය කර ඇත. ඔහු පිතිකරණයෙන් තරග බේරා ගෙන ඇත. 

අද ඔහු පන්දු 54 කට මුහුණ දුන්නේ ඕනෑම එක් අත්වැරැද්දකින් සහ ඔහුගේ කණ්ඩායම ටෙස්ට් තරගයත්, තරගාවලියත් පරාජයට පත් වී ලෝකය ඉදිරියේ විහිළුවක් බවට පත්වන බැවිනි. එහෙත් ඔහු සෑම පන්දුවක්ම පාහේ ස්ථීරව හොඳින් ක්‍රීඩා කළේය. ශ්‍රී ලංකාව තරගය අතහැර දමන්නට ආසන්න වන තුරුම එසේ කළේය.

55 වැනි පන්දුවේ දී වයඹ පළාතෙන් පැමිණි හයවැනි වේගවත්ම පන්දු යවන්නා විසින් ලෝක මට්ටමේ වෘත්තීය ක්‍රීඩකයෙකු වෙත බවුන්සර් පන්දුවක් යොමුකර උඩපන්දුවකට පෙළඹූ අතර කුරුණෑගලෙන් පැමිණි මන්දගාමී ක්‍රීඩකයෙකු විසින් එම උඩ පන්දුව අල්ලා ගන්නා ලදි. මුතු ඇටය සහ බැංකු ලිපිකරුවා. ශ්‍රී ලංකාව විශේෂ ස්ථානයකි.”

Espncricinfo.com ඇසුරිනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<