පිතිකරණ පුහුණුකරු ධූරය හෂාන් තිලකරත්නට

419

ඉදිරියේ දී ඉන්දියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන හෂාන් තිලකරත්න මහතා පත්කර ඇත. තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය එළඹෙන බදාදා (26) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනු ඇත.

50 වන වියේ පසුවන තිලකරත්න, පසුගිය දා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළේය. ඔහුව පසුගිය වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් තරුණ පිතිකරුවන්ගේ දක්‍ෂතාවන් ඉහළ නැංවීම සඳහා විශේෂ පිතිකරණ පුහුණුකරුවෙක් ලෙස බඳවා ගන්නා ලදි. ඉන් අනතුරුව ග්‍රැහැම් ෆෝඩ් මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් පුහුණු කිරීමට විශාල කැපවීමකින් කටයුතු කළේය.  

“හෂාන් ටෙස්ට් පිටියේ දී ලබාගෙන තිබෙන අත්දැකීම් අපිට ගොඩක් වැදගත් වෙයි. විශේෂයෙන් පීඩනයට සාර්ථකව මුහුණ දෙන විදිහ ගැනත්, දිගු ඉනිමක් ක්‍රීඩා කරන ආකාරය පිළිබඳවත් ක්‍රීඩකයින්ට ඔහුගෙන් හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. ඔහු මේ වන විට ක්‍රීඩකයින් සමඟ ගොඩක් කැපවීමෙන් කටයුතු කරනවා.”  

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා අද ‘Cricbuzz’ වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් එසේ පැවසීය.

එමෙන්ම චම්පක රාමනායක මහතා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ එම ධූරය සඳහා පසුගිය සතියේ දී චමින්ද වාස්ව පත්කිරීමට ද කටයුතු කරන ලදි

  තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න