පාපන්දු පිටියේ සුපිරි ප්‍රතිවාදීන්

332

ඕනෑම ක්‍රීඩාවක කණ්ඩායම් දෙකක් අතරෙහි දැඩි ප්‍රතිවාදීත්වයක් ඇතිවිය හැක. එම කණ්ඩායම් දෙක අයත් භූමියෙහි පිහිටීම, විවිධ දේශපාලන කාරණා, සමාජයීය කාරණා ඇතුළු බොහෝ දෑ එලෙස දැඩි ප්‍රතිවාදීත්වයක් ඇතිවීමට හේතු සාධක විය හැක.

ඒ ආකාරයට කණ්ඩායම් දෙකක් අතරෙහි දැඩි ප්‍රතිවාදීත්වයක් ඇති වූ විට එම කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩාලෝලීන් අතර ද විවිධාකාරයේ ගැටුම් දක්නට ලැබීම සුලබ කාරණයකි. එම කණ්ඩායම් අතර පැවැත්වෙන තරග ද ඉතා උණුසුම් මුහුණුවරක් ගන්නා අතර එවැනි තරග බොහෝ දෙනාගේ අවධානය හිමිකර ගැනීමට ද සමත් වේ. යුරෝපයේ පැවැත්වෙන ප්‍රධාන පාපන්දු ලීග වල ක්‍රීඩා කරන සුපිරි කණ්ඩායම් අතරෙහි තිබෙන්නා වූ සුපිරි ප්‍රතිවාදීත්වයන් 10ක් පිළිබඳව මෙම ලිපියෙන් අවධානය යොමු කෙරේ.

10. ආර්සනල් සහ චෙල්සි

“ඩිඩියර් ඩ්‍රොග්බා (වමේ) සහ ෆ්රෑන්ක් ලැම්පාර්ඩ් (දකුණේ)” – (Getty images)

එංගලන්තයේ ලන්ඩන් නගරයේ පාපන්දු කණ්ඩායම් දෙකක් වන ආර්සනල් සහ චෙල්සි කණ්ඩායම් දෙක අතරෙහි පැවැත්වෙන තරග හඳුන්වන්නේ London Derby (එකම නගරයක තිබෙන ඕනෑම කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන තරග හඳුන්වන්නේ එම නගරයේ ඩර්බි ලෙසින්ය) ලෙසින්ය.

මේ වන විට මෙම කණ්ඩායම් දෙක අතරෙහි තරග 195ක් පැවැත්වී ඇත. ඉන් තරග 75ක් ජයගෙන වැඩි ගෞරව හිමිකරගෙන තිබෙන්නේ ආර්සනල් කණ්ඩායමයි. තරග 62ක ජය චෙල්සි කණ්ඩායමට හිමි වී තිබේ. මෙම කණ්ඩායම් දෙක අතර පැවැත්වී ඇති තරග අතරින් විශාලම ජය හිමිකරගෙන තිබෙන්නේ චෙල්සි කණ්ඩායමයි. ඒ 2014 වසරේ දී ඔවුන් විසින් 6-0ක් ලෙසින් ආර්සනල් කණ්ඩායම පරාජය කිරීමත් සමඟයි. එම තරගය හිටපු ආර්සනල් පුහුණුකරු අර්සේන් වෙන්ගර්ගේ 1000 වැනි තරගය වීමත් විශේෂ කරුණකි.

මෙම කණ්ඩායම් දෙක අතර පැවැත්වී තිබෙන තරගවල වැඩිම ගෝල ලාභියා වන්නේ ගෝල 13ක් වාර්තා කර ඇති හිටපු චෙල්සි සුපිරි ක්‍රීඩක, අයිවරි කෝස්ට් හි, ඩිඩියර් ඩ්රොග්බා ය.

9. ඇට්ලටිකෝ මැඩ්රිඩ් සහ රියල් මැඩ්රිඩ්

“2016 චැම්පියන්ස් ලීග් අවසාන මහා තරගයේ දී ඇට්ලටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම පරාජය කරමින් ශූරතාවය දිනූ රියල් මැඩ්රිඩ් කණ්ඩායම” (101greatgoals.com)

Madrid Derby තරගයක් වන මෙය බොහෝ දෙනාගේ අවධානය හිමිකර ගන්නා තරගයකි. විශේෂයෙන්ම පසුගිය කාලය පුරාවටම රියල් මැඩ්රිඩ් කණ්ඩායම ලද සාර්ථකත්වය සහ හිටපු ආර්ජෙන්ටිනා නායක ඩියේගෝ සිමියෝනිගේ පුහුණුකාරීත්වයෙන් ඇට්ලටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම ලද සාර්ථකත්වය නිසා මේ වන විට මෙම තරගයට බොහෝ වටිනාකමක් හිමිව තිබේ. පසුගිය වසර 4 ක කාලයේ දී චැම්පියන්ස් ලීග් අවසාන මහා තරග ද්විත්වයක දී (එම තරග ද්විත්වයේම ජය රියල් මැඩ්රිඩ් කණ්ඩායමට හිමි විය) මෙම කණ්ඩායම් දෙක මුණගැසුන නිසා ප්‍රතිවාදීත්වය තව තවත් තීව්‍ර වී තිබේ. මෙම කණ්ඩායම් දෙක අවසාන වරට මුණගැසුණ අවස්ථාවේ දී ගෝල 1-1ක් ලෙසින් තරගය ජය පරාජයෙන් තොරව නිමා විය. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ රියල් මැඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙන් ද, ඇන්ටොයින් ග්‍රීස්මන් ඇට්ලටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙන් ද ගෝල රැස් කළහ.

8. මැන්චෙස්ටර් යුනයිටඩ් සහ මැන්චෙස්ටර් සිටි

“වේන් රූනි” (Alex Livesey/Getty images)

Manchester Derby තරගය මේ වන විට ඉහලම ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබේ. සාර්ථක මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට අභියෝග කිරීම සඳහා මැන්චෙස්ටර් නගරයෙන්ම කණ්ඩායමක් බිහිවීම සුවිශේෂී කරුණකි.

2011/12 සහ පසුගිය තරග සමයේ දී මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම, එංගලන්තයේ ප්‍රිමියර් ලීගයෙහි දෙවැනි ස්ථානයට ඇද දමා මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ප්‍රිමියර් ලීගයෙහි ශූරයන් වීම මෙම කණ්ඩායම් අතර තිබෙන ප්‍රතිවාදීත්වය වැඩි කිරීමට ඉවහල් විය. කණ්ඩායම් දෙක අතර මේ දක්වා පැවති තරගවල වැඩි සංඛ්‍යාවක් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම විසින් ජයග්‍රහණය කර ඇති අතර දෙපිල අතරෙහි පැවති තරගවල දී වැඩිම ගෝල වාර්තා කර තිබෙන්නේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ හිටපු සුපිරි තරුවක් වූ වේන් රූනි විසිනි. ඒ ගෝල ගණන 11ක්.

7. එවර්ටන් සහ ලිවර්පූල්

“එවර්ටන් සහ ලිවර්පූල් කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩාංගන ඉහළට පෙනෙන අයුරු” (liverpoolecho.co.uk)

මේ වන විට එවර්ටන් කණ්ඩායම ලෝකයේ ඉහළින්ම වැජඹෙන කණ්ඩායමක් නොවූවත් එංගලන්තයේ පළමු පෙළ ලීගයට (English football league/Premier League) වැඩිම වාර ගණනක් සහභාගී වී තිබෙන කණ්ඩායම වන්නේ එවර්ටන් කණ්ඩායමයි. ඒ 114 වතාවකි.

ලිවර්පූල් සහ එවර්ටන් කණ්ඩායම් එංගලන්තයේ මර්සේසයිඩ් ප්‍රදේශයේ කණ්ඩායම් දෙකකි. එම නිසා මෙම කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරග හැඳින්වෙන්නේ Merseyside Derby ලෙසිනි. මේ වන විට පවත්වා ඇති තරගවල වැඩි ගෞරව හිමිකර ගැනීමට ලිවර්පූල් කණ්ඩායම සමත් වී තිබෙන්නේ දෙපිල අතර පැවැත්වී තිබෙන තරග 92ක ජය හිමිකර ගනිමිනි. තරග 66ක ජය එවර්ටන් කණ්ඩායමට හිමි වී ඇත. තරග 73ක් ජය පරාජයෙන් තොරව නිමා වී ඇත. මෙම කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩාංගණ (Home ground) පිහිටා තිබෙන්නේ පෙනෙන තෙක්මානයේ වන අතර එම ක්‍රීඩාංගණ දෙක වෙන්වී තිබෙන්නේ ස්ටැන්ලි උද්‍යානයෙනි.

6. යුවෙන්ටස් සහ ඉන්ටර් මිලාන්

“යුවෙන්ටස් සහ ඉන්ටර් මිලාන් කණ්ඩායම් අතර තරගයක උණුසුම් අවස්ථාවක්” (telegrafi.com)

ඉතාලියේ යුවෙන්ටස් සහ ඉන්ටර් මිලාන් කණ්ඩායම් දෙක අතර තිබෙන ප්‍රතිවාදීත්වය ඉතා සුවිශේෂී එකක් වේ. එයට හේතුව අනෙකුත් බොහෝ දැඩි ප්‍රතිවාදීත්වයන් තිබෙන කණ්ඩායම් මෙන් මෙම කණ්ඩායම් දෙක එකම නගරයක පිහිටා නොතිබීමයි.

එසේ වූවත් යුවෙන්ටස් සහ ඉන්ටර් මිලාන් අතර පැවැත්වෙන තරග හඳුන්වන්නේ Derby d’Italia (Derby of Italy) නමින්ය. මෙම කණ්ඩායම් දෙක අතර දැඩි ප්‍රතිවාදීත්වයක් වර්ධනය වීමට එක් හේතුවක් වූයේ 2005/06 තරග සමයේ දී (සහ 2004/05) යුවෙන්ටස් කණ්ඩායම විසින් ජයග්‍රහණය කරන ලද ඉතාලි ලීග් ශූරතාවය ඔවුන්ට ලබා නොදීමයි. එයට හේතුව වූයේ තරග පාවාදීමේ චෝදනාවට යුවෙන්ටස් කණ්ඩායම ලක්වූ නිසාය. එහි දී යුවෙන්ටස් කණ්ඩායම තරග පාවාදීම් වලට සම්බන්ධ යැයි හඬ නැගූ ප්‍රධානතම කණ්ඩායමක් වූයේ ඉන්ටර් මිලාන් කණ්ඩායමයි. ඒ අනුව 2005/06 වසරේ ඉතාලි ලීග් ශූරතාවය ඉන්ටර් මිලාන් කණ්ඩායම (දෙවැනි ස්ථානයේ සිටි කණ්ඩායම විය) හට පිරිනැමුණ අතර කණ්ඩායම් දෙක අතර පැවති ප්‍රතිවාදීත්වය තවත් වර්ධනය විය.

5. ආර්සනල් සහ ටොටන්හැම් හොට්ස්පර්

“ආර්සනල් සහ ටොටන්හැම් හොට්ස්පර් අතර තරගයක් ආරම්භ වීමට ප්‍රථම” (nbcsports.com)

උතුරු ලන්ඩනයේ තිබෙන ජනප්‍රියතම ක්‍රීඩා සමාජ දෙක වන ආර්සනල් සහ ටොටන්හැම් හොට්ස්පර් කණ්ඩායම් දෙක අතරෙහි පවතින්නේ ඉතා දැඩි ප්‍රතිවාදීත්වයකි. North London derby ලෙසින් හැඳින්වෙන මෙම ප්‍රතිවාදීත්වය, කණ්ඩායම් අතර සහ ක්‍රීඩාලෝලීන් අතර තිබෙන්නා වූ ඉහළම ප්‍රතිවාදීත්වයක් සඳහා හොඳම උදාහරණයකි.

මුල් යුගයේ දී මෙම කණ්ඩායම් දෙක අතරෙහි දැඩි ප්‍රතිවාදීත්වයක් නොතිබී ඇති නමුත් 1913 වසරේ දී ආර්සනල් කණ්ඩායම විසින් ඔවුන්ගේ ක්‍රීඩාංගණය (Home ground) උතුරු ලන්ඩනය වෙත ගෙන ඒමත් සමඟින් මෙසේ දැඩි ප්‍රතිවාදීත්වයක් ඇති වී තිබේ.

ආර්සනල් සහ ටොටන්හැම් හොට්ස්පර් කණ්ඩායම් දෙක අතර මේ වන විට පැවැත්වී තිබෙන තරග ප්‍රමාණය 195කි. ඉන් තරග 81ක ජය ආර්සනල් කණ්ඩායම විසින් ද, තරග 63ක ජය ටොටන්හැම් හොට්ස්පර් කණ්ඩායම විසින් ද ජයගෙන ඇත. තරග 51ක් ජය පරාජයෙන් තොරව නිමවී ඇත.

4. බයර්න් මියුනික් සහ බොරූසියා ඩෝර්ට්මන්ඩ්

“දෙපිල අතර තරගයක් ආරම්භ වීමට පෙර.” (vavel.com)

ජර්මනියේ ප්‍රසිද්ධම ක්‍රීඩා සමාජ දෙක වන්නේ බයර්න් මියුනික් සහ බොරූසියා ඩෝර්ට්මන්ඩ් කණ්ඩායම් දෙකයි. Der Klassiker ලෙසින් හැඳින්වෙන මෙම ප්‍රතිවාදීත්වය බොහෝ දෙනාගේ අවධානයට යොමු වේ.

ජර්මානු ශූරතාවය සඳහා දෙපිල අතර තිබෙන සටනෙහි ප්‍රතිඵලයක් ලෙසින් මෙම ප්‍රතිවාදීත්වය ආරම්භ වී ඇත. අවසන් වරට පැවති ජර්මානු ලීග් ශූරතා (බුන්ඩෙස්ලීගා) 25 අතරින් ශූරතා 21ක්ම ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත්තේ මෙම කණ්ඩායම් දෙකයි. එයට අමතරව 2012/13 චැම්පියන්ස් ලීග් අවසාන මහා තරගයට දෙපිල සුදුසුකම් ලැබීම සහ බයර්න් මියුනික් කණ්ඩායම ඉන් ජය ගැනීම නිසා කණ්ඩායම් දෙක අතර ප්‍රතිවාදීත්වය බොහෝ සෙයින් වර්ධනය විය.

3. ඒ. සී. මිලාන් සහ ඉන්ටර් මිලාන්

“ඉන්ටර් මිලාන් කණ්ඩායමේ නායක මවුරෝ ඉකාර්දී (දකුණේ) සහ ඉවාන් පෙරිසිච් (වමේ)” (en.as.com)

Derby della Madonnina නොහොත් Derby di Milano (Derby of Milan) ඉතාලියේ තිබෙන වඩාත්ම ජනප්‍රිය පාපන්දු ප්‍රතිවාදීත්වය ලෙසින් හැඳින්විය හැක.

1990 සහ විශේෂයෙන්ම 2000 දශකයේ දී මෙම කණ්ඩායම් දෙක අතර පැවති තරග බොහෝ ජනප්‍රිය විය. නමුත් මේ වන විට කණ්ඩායම් දෙකම යම් පසුබෑමක සිටින නිසා පෙර මෙන් අවධානයක් නොලැබුණ ද, තවදුරටත් මෙම කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරග නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මෙන්ම මිලාන් නගරයේ හි ජනප්‍රිය පුද්ගලයන් රාශියක් ද පැමිණෙති.

මෙම කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩාංගණය වන්නේ සැන් සිරෝ ක්‍රීඩාංගණයයි. දෙපිල අතර මේ දක්වා පවත්වා ඇති තරග අතරින්, තරග 78ක ජය ඉන්ටර් මිලාන් කණ්ඩායම ද, තරග 76ක ජය ඒ. සී. මිලාන් කණ්ඩායම ද හිමිකරගෙන ඇත. ඒ. සී. මිලාන් කණ්ඩායම නියෝජනය කළ යුක්‍රේනයේ අන්ඩ්රි ෂෙව්චෙන්කෝ ගෝල 14ක් රැස්කර ගනිමින් මිලානයේ පැවැත්වෙන ජනප්‍රියතම පාපන්දු ප්‍රතිවාදීත්වයේ වැඩිම ගෝල ලාභියා බවට පත්වීමට සමත් වී ඇත.

2. මැන්චෙස්ටර් යුනයිටඩ් සහ ලිවර්පූල්

“තරගයේ අවස්ථාවක්” (kaltim.tribunnews.com)

එංගලන්තයේ ක්‍රීඩා සමාජ අතරින් වඩාත් සාර්ථක කණ්ඩායම් දෙක ලෙසින් මැන්චෙස්ටර් යුනයිටඩ් සහ ලිවර්පූල් කණ්ඩායම් දෙක හැඳින්විය හැක.

එකම නගරයේ කණ්ඩායම් දෙකක් නොවූවද එංගලන්තයේ වයඹ දෙසින් මැන්චෙස්ටර් සහ ලිවර්පූල් පිහිටා ඇති නිසා Northwest Derby ලෙසින් හැඳින්වෙන මෙම ප්‍රතිවාදීත්වය ඉතා දිගු අතීතයකට ද හිමිකම් කියයි. කණ්ඩායම් අතර සහ ක්‍රීඩාලෝලීන් අතර උණුසුම් ප්‍රතිවාදීත්වයක් තිබෙන තවත් එක් ප්‍රතිවාදීත්වයකට Northwest Derby කදිම උදාහරණයකි.

ලිවර්පූල් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක ස්ටීවන් ජෙරාඩ් කිසිදු අවස්ථාවක මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සමඟින් සිය ජර්සිය හුවමාරු කරගෙන නැත. දෙපිල අතර මේ දක්වා පවත්වා තිබෙන තරගවලින්, තරග 80ක ජය මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට ද තරග 65ක ජය ලිවර්පූල් කණ්ඩායමට ද හිමිව ඇත.

1. බාර්සිලෝනා සහ රියල් මැඩ්රිඩ්

“මෙස්සි විසින් රියල් මැඩ්රිඩ් කණ්ඩායමට එරෙහිව ගෝලයක් වාර්තා කිරීමෙන් අනතුරුව” (Oscar Del Pozo/AFP/Getty images)

ලෝකයේ තිබෙන්නා වූ ජනප්‍රියතම පාපන්දු ප්‍රතිවාදීත්වය ලෙසින් El Clasico අවිවාදයෙන්ම හැඳින්විය හැක.

කවදත් ලෝකයේ සිටින සුපිරිතම ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් මෙම කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන සියලුම තරග ඉතා උණුසුම් මුහුණුවරක් ගනී. මෙම කණ්ඩායම් දෙක අතර දැඩි ප්‍රතිවාදීත්වයක් ගොඩනැගීමට ඉවහල් වී තිබෙන දේශපාලන කාරණයක් ද තිබේ. එනම් බාර්සිලොනාව අයත් වන කැටලෝනියා ප්‍රාන්තය, ස්පාඤ්ඤයෙන් නිදහස ඉල්ලා ඉතා දීර්ඝ කාලයක සිට විවිධ අරගල සහ උද්ඝෝෂණ සිදු කරන නමුත් ස්පාඤ්ඤ රජය මේ දක්වාම කැටලෝනියාවට වෙනම පාලනයක් ලබා දෙන්නට එකඟ වී නැත.

මේ වන විට දෙපිල අතර පවත්වා තිබෙන තරගවලින් (තරගකාරී) තරග 95ක ජය රියල් මැඩ්රිඩ් කණ්ඩායම ද, තරග 92ක ජය බාර්සිලෝනා කණ්ඩායම ද හිමිකර ගෙන තිබේ. කණ්ඩායම් දෙක අතර පැවති තරගවල වැඩිම ගෝල ලාභියා වන්නේ සුපිරි ක්‍රීඩක ලියනල් මෙසී ය. මෙසී විසින් ගෝල 26ක් රැස් කරගෙන තිබේ.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<