ලොව සටන් ක්‍රීඩා ප්‍රියකරන සහ ඊට ගරු කරන සියලු දෙනාම ඉතා උනන්දුවෙන් බලා සිටින UFC ට එරෙහි බොක්සිං සටන තවත් සතියක කාලයකින් ඇරඹීමට නියමිතයි. එය වඩාත් විශේෂිත වන්නේ MMA ප්‍රේක්ෂකයන් නියෝජනය කරමින් කොනර් මැක්ග්‍රෙගර් සහ බොක්සිං ප්‍රේක්ෂකයන් නියෝජනය කරමින් ෆ්ලොයිඩ් මේවෙදර් යන සටන් ශූරයන් දෙදෙනා බොක්සිං වළල්ලට පිවිසීම නිසයි. ලෝක වාසීන්ගෙන් වැඩි දෙනෙක් නොඉවසිල්ලෙන් බලා සිටින තරගය 2017 අගෝස්තු 26 වැනිදා පැවැත්වෙන්නේ ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ පැරඩයිස් නගරයේදීයි.      

MMA, එසේත් නැත්නම් “මිශ්‍ර සටන් කලා” ඉසව් ශ්‍රී ලාංකිකයන්ට තවදුරටත් අලුත් අත්දැකීමක් නොවේ. තමන් කැමති සටන් කලා කිහිපයක එකතුවක් යොදා ගෙන යම් සුළු නීති රීති ප්‍රමාණයක් යටතේ මාරාන්තික සටන්වල යෙදීමේ ඉසව්වක් ලෙස එය සඳහන් කළ හැකිය. WWE, එසේත් නැත්නම් “ප්‍රදර්ශනාත්මක රෙස්ලින්” වල ආධිපත්‍ය පරයමින් හිස ඔසවන UFC යනු ප්‍රමුඛ පෙළ මිශ්‍ර සටන් කලා ඉසව් පාලනය කරන ධනවත් ආයතනයයි. එහි ලයිට් වෙයිට් ශූරයා වන්නේ අයර්ලන්ත ජාතික කොනර් මැක්ග්‍රෙගර් ය.

බොක්සිං ක්‍රීඩාව මෙරට තුළත් ලොව තුළත් බොහෝ කාලයක් මුළුල්ලේ ජනප්‍රිය ක්‍රීඩාවකි. ශ්‍රී ලංකාවෙන් බොක්සිං ශූරයන් ලෙස සුමිත් ප්‍රසන්න, අනුරුද්ධ රත්නායක වැනි ක්‍රීඩකයන්ද ශූරියක ලෙස අනුෂා කොඩිතුවක්කුද ලෝක මට්ටමේ දස්කම් දක්වා ඇත. ඇමරිකානු ජාතික ෆ්ලොයිඩ් මේවෙදර් ජූනියර්, එහි ලෝක මට්ටමේ සම්මේලන 5ක ලෝක ශූරතාවයන් 15ක් දිනා ඇති, වෘත්තීය මට්ටමේ අපරාජිත බොක්සිං ශූරයෙකි.

සටනට මුල පිරීම

courtsey thesun.co.uk
courtsey thesun.co.uk

ආත්ම වර්ණනාවෙන්, රංගනයෙන් සහ සටන් දස්කම්වලින් සන්නද්ධ දෙදෙනාම ලෝකයේ කතාබහට ලක්වන සටන්කරුවන් දෙදෙනෙකි. දෙදෙනාටම ඇත්තේ අනෙකාට යටත් නොවන, වහසි දොඩන චරිත ස්වභාවයකි. MMA සහ බොක්සිං ක්‍රීඩා දෙක ක්‍රීඩා කරන දෙපල එක් බොක්සිං වළල්ලකට නංවන මූලාරම්භය සිදුවූයේ කොනර්ගේ අභියෝගයක් සමඟයි.

අටපට්ටමක හැඩැති MMA කවයේ තම ආධිපත්‍යය තහවුරු කරගත් කොනර් කුඩාකල සිටම වෘත්තීය බොක්සිං ක්‍රීඩකයෙකු වීම ගැන සිහින මැව්වෙකි. ශූරයෙකු නම් තමන් හා සටන් කරන්නැයි 40 හැවිරිදි අපරාජිතයාට ඔහු ප්‍රසිද්ධියේ අභියෝග කරන්නට පෙර සිටම නොයෙක් පණිවුඩ යවා තිබිණි. වරෙක මේවෙදර්ගේ පුහුණුකරුද ඇමතූ කොනර් කියා සිටියේ මේවෙදර්ට පුහුණුවන්නට කාලය එළඹ ඇති බවයි.

ඊට ප්‍රතිචාර දැක්වූ මේවෙදර් පසුගිය මාර්තු මාසයේදී කියා සිටියේ කතා වැඩක් නැති බවත් එකඟතා ලිපි අත්සන් කිරීමට කොනර් පැමිණිය යුතු බවත් ය. එමෙන්ම විශ්‍රාම ගොස් සිටින තමන් නැවත බොක්සිං වළල්ලට පිවිසීමට නම් කොනර්ගේ පැමිණීම අනිවාර්ය වන බවත් ඔහු කියා සිටියේය.

2017 මැයි 18 වැනිදා මේවෙදර් සමඟ බොක්සිං තරගයකට සහභාගී වන බවට කොනර් ගිවිසුම් අත්සන් කළේය.

මුදල් ආකරයක්

UFC සහ වෘත්තීය බොක්සිං ක්‍රීඩාව යන දෙකම මුදල් ආකරයන් ය. තම ජීවිතය අවදානමෙහි හෙලිය හැකි අන්තයටම හෙලමින් කළ යුතු මේ ක්‍රීඩාවන් සඳහා අනේකවිධ දුක් කම්කටොළු දිනපතා භාර ගත යුතුය. ලැබෙන මුදල් ඒ වෙනුවෙනි.

උක්ත තරගය සඳහා ෆ්ලොයිඩ් මේවෙදර් හට ඇමරිකානු ඩොලර් මිලියන 100කට ආසන්න මුදලක් සහ කොනර් මැක්ග්‍රෙගර් හට ඇමරිකානු ඩොලර් මිලියන 75කට ආසන්න මුදලක් ලැබෙන බැව් ප්‍රකට වුවත් දෙදෙනාටම ඒ පිළිබඳ මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීමට දෙපලගේම ප්‍රවර්ධකයින් විසින් සීමා පනවා ඇත.

ෆ්ලොයිඩ් මේවෙදර්

courtsey therichestimages.com
courtsey therichestimages.com

40 හැවිරිදි මේවෙදර්ගේ අන්වර්ථ නාමය “මනී” (Money) ය. එනම් ඔහු ප්‍රවර්ධකයින්ට එතරම් වටිනා සම්පතකි. මෙතෙක් වෘත්තීය බොක්සිං කවය තුළ අපරාජිත නාමය රැකගෙන සිටින මේවෙදර් 1996 ඔලිම්පික් ලෝකඩ පදක්කම් ලාභියෙකි. 1996 වසරේ අගභාගයේදීම තම වෘත්තීය බොක්සිං දිවිය ඇරඹි ඔහු එහිදී කිසිවෙකුට පරාජය වී නැත.

සාර්ථක ආරක්ෂණ පද්ධතියක් සහ ප්‍රතිවාදියාගේ දුර්වල ස්ථානයන්වලට පහර දීමේ මනා හැකියාවකින් යුත් ඔහු කතාබහට ලක්වන්නේ බොක්සිං දක්ෂතා නිසා පමණක් නොවේ. ඇමරිකානු රියැලිටි වැඩසටහන් සහ WWE වේදිකාවේද ඉඩ ඔහුට වෙන්වී ඇත. එමෙන්ම නොයෙක් චෝදනා ඔහු හට එල්ලවන්නේ ඔහුගේ ආකල්පමය ගැටලු කිහිපයක් හේතුවෙනි.

එළඹෙන සටනේදී ඔහුට ජයග්‍රහණය සඳහා වැඩි ඉඩකඩක් ඇතැයි විවේචකයන් කල්පනා කරයි. ඒ, සටන බොක්සිං සටනක් වීම සහ බොක්සිං පිටිය ඔහුට හොඳින් හුරුපුරුදු තැනක් වීම හේතුවෙන් පමණක් නොව මේ ශූරයා සැබෑම කපටි ශූරයෙක් වන නිසයි.

“මං ඇවිදින කාලෙ ඉඳන් බොක්සිං ග්ලවුස් දෙක තිබුණේ මගෙ අතේ. මුළු ජීවිතේ පුරාම මං හිටියේ ජිම්වල” සටනට පෙර මේවෙදර් පසුවන්නේ එවන් විශ්වාසයකින්.

කොනර් මැක්ග්‍රෙගර්

courtsey thesun.co.uk
courtsey thesun.co.uk

කොනර් මැක්ග්‍රෙගර් හඳුන්වන්නේ “නොටෝරියස්” (Notorious) ලෙසයි. එනම් ඔහුගේ දරුණුකම ගැන ඔහු ලොව පුරා ප්‍රචලිතය. දැනට UFC ෆෙදර් වෙයිට් සහ ලයිට් වෙයිට් යන ශූරතා බඳපටි දෙකම තමන් සතුකරගෙන සිටින ඔහු එවැන්නක් කළ ලොව පළමු MMA (මිශ්‍ර සටන් කලා) ක්‍රීඩකයා යි.

2013 වසරේදී UFC ක්ෂේත්‍රය වෙත පැමිණි ඔහු තවමත් පසුවන්නේ 29 වැනි වියෙහියි. එක් පහරකින් තරගයක් අවසන් කළ හැකි නොක් අවුට් ශක්තියෙන් හෙබි මොහු ෆෙදර් වෙයිට් ශූරතාවය සඳහා ජොසේ ඇල්ඩෝ බිමහෙළුවේ තත්පර 13ක් තුළයි. සටන් පිටියේ දක්ෂ ශිෂ්‍යයෙකු ලෙසයි ඔහුව සැලකෙන්නේ. ඕනෑම කෙනෙකුගෙන් උගත හැකි යමක් ඉගෙනීමට පසුබට නොවන නමුත් ප්‍රතිවාදීන් ඉදිරියේ විවිධ රංගනයන් පෑමටද ඔහු සමතෙකි.

එහෙත් වසර 20කට වැඩි ජාත්‍යන්තර වෘත්තීය බොක්සිං අත්දැකීම් සහිත මේවෙදර් සමඟින් ඔහුට සටන් වදින්නට සිදුවන්නේ සුපුරුදු MMA ශෛලියෙන් නොවේ. බොක්සිං ක්‍රීඩකයෙකු ලෙසයි. ඒ සඳහා මේ දිනවල ඔහු සාර්ථකව පුහුණුවීම්වල යෙදෙන බවයි වාර්තා වන්නේ.

“මමයි ජේසුතුමයි හොඳ යාළුවෝ. හැම දෙවියෙක්ම මගේ යාළුවෙක්. දෙවියන් තමයි දෙවියන්ව තේරුම්ගන්නේ.”

සටනට පෙර කොනර් පසුවන්නේ තමන් ගැන දැඩි විශ්වාසයකිනි.

නොඉවසිල්ල

ඉතින් “මුදලින් වැසුණු සටනක්” (Money fight) ලෙස හැඳින්වෙන මෙම සටන මේ වන විටත් සටන් කලා ප්‍රේක්ෂකයන් සහ ශිල්පීන් යන සෑම කෙනෙකුගේම අවධානය දිනාගෙන අවසන්. දෙදෙනා සහභාගී වූ මාධ්‍ය හමු සියල්ලම අවසන් වූයේ උණුසුම් අයුරින්. කුමන ක්‍රීඩකයා ජය ගනීවිද? සියල්ල එළඹෙන 26 වැනිදා විසඳෙනු ඇති.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට