අඛණ්ඩව තෙවන වසරටත් ශූරතාවය ජෝසප්වරුන්ට

1006

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර අද (13) කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවති වයස අවුරුදු 18න් පහළ සමස්ත ලංකා අන්තර් පාඨශාලීය පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණය කළ සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම අඛණ්ඩව තෙවන වසරටත් මෙම තරගාවලියේ ශූරතාවය හිමිකර ගන්නට සමත් විය

දැවැන්ත ප්‍රහාරයක් සමඟින් සහිරා විද්‍යාලයට ප්‍රබල ජයක්

මරදාන සහිරා විද්‍යාලය සහ යාපනය කින්නියා මධ්‍ය මහා විද්‍යාලය අතර අද (13) කොළඹ සුගතදාස පාපන්දු…

සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් අවසන් පූර්ව තරගයේ දී කින්නියා මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම හමුවේ ගෝල 4-0ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරගනිමින් අවසන් තරගයේ සිය ස්ථානය වෙන්කරගත් අතර අනෙක් පසින් රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගනු ලැබුවේ අවසන් පූර්ව වටයේ දී ප්‍රබල සහිරා විද්‍යාලයීය කණ්ඩායම තරගයේ සම්පූර්ණ කාලය අවසානයේ ලකුණු තත්වය ගෝල 1-1ක් ලෙස සම තත්වයේ පසුවීමෙන් අනතුරුව ඔවුන්ව දඬුවම් පහර වටයේ දී පරාජයට පත්කරමිනි.

සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගය ආරම්භයේ පටන් පන්දුව ඔවුන් සතුව රඳවා ගනිමින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට වූ අතර අනෙක් පසින් සහිරා රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයින් ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් දියත් කරන අතරතුර ඉක්මන් අවස්ථාවන් හරහා ගෝලයක් රැස්කිරීමට උත්සාහ දැරීය. කෙසේ නමුත් තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ දෙපිළේම ක්‍රීඩකයින් ගෝල රැස්කර ගැනීමට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගන්නට සමත් වූයේ නැත.

රාජකීය ක්‍රීඩකයින් අවසන් පූර්ව තරගයේ දී සහිරා කණ්ඩායම නවතාලූ ආකාරයටම දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා රටාවක නිරත වෙමින් මෙම තරගයේ දී ජෝසප්වරුන් ද නවතාලීමට උත්සාහ දැරූ අතර ජෝසප්වරුන් ද පැහැදිලි අවස්ථාවන් නිර්මාණය කරගැනීමට අපොහොසත් වූයේ ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වෙමිනි.

ප්‍රබල සහිරාවන් පරදා රාජකීයයන් අවසන් මහා තරගයට

වයස අවුරුදු 18න් පහළ සමස්ත ලංකා පාසල් පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලිය යටතේ මරදාන සහිරා විද්‍යාලය…

කෙසේ නමුත් සාන්ත ජෝසප් විද්‍යාලයේ සසුන් රශ්මින් ද හට ගෝල රාමුව ආසන්නයේ සිට පහරක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවක් හිමිවුවත් එහි දී ඔහු එල්ල කළ පහර ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයෙකුගේ දැවටීම නිසා එහි වේගය අඩාල වූ අතර ඒ අනුව එය පහසුවෙන් රැකගන්නට රාජකීය විද්‍යාලයීය ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් අසාද් සමත් විය.

ඉන් අනතුරුව ඔවුන්ට ගෝල රාමු කලාපය ආසන්නයේ නිදහස් පහර අවස්ථාවක් හිමිවුවත් එහි දී එය ලබාගත් එස්. මොහොමඩ් එල්ල කළ පහර ගෝල රාමුවට ඉහතින් ඇදී ගියේය.

පළමු අර්ධය අවසන් වන්නට මත්තෙන් රාජකීය කණ්ඩායමට නිදහස් පහර අවස්ථාවක් හිමි වූ අතර දුර සිට එල්ල කරනු ලබන නිදහස් පහරවල් සඳහා නමක් දිනා සිටින ඔවුන්ගේ නායක සිෂාන් ප්‍රබුද්ධ ලබාගත් එම පහර ගෝල රාමුවට ආසන්නයෙන් ඉවතට ඇදී ගියේය

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 00 – 00 රාජකීය විද්‍යාලය

තරගයේ දෙවන අර්ධයට ප්‍රබල ආරම්භයක් ලබාගත් ජෝසප්වරුන් 50 වැනි මිනිත්තුවේ දී සිය පළමු ගෝලය වාර්තා කරගනිමින් ඉදිරියට පැමිණෙන්නට සමත් විය. එහි දී ප්‍රබුද්ධ විසින් ගෝල රාමු කලාපය තුළ දී ශෙනාල් සංදේශ් හමුවේ කරන ලද ‘foul’කිරීමක් වෙනුවෙන් ජෝසප්වරුන්ට දඬුවම් පහර අවස්ථාවක් පිරිනමන්නට විනිසුරුවරයා තීරණය කළ අතර සංදේශ් විසින්ම එය ලබාගනිමින් පන්දුව ගෝල රාමුව තුළට යොමුකරන්නට සමත් විය.

ඊට පිළිතුරු ලෙස රාජකීය ක්‍රීඩකයින් ද වහාම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරන්නට වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 58 වැනි මිනිත්තුවේ දී ඔවුන් තරගයේ සිය පළමු ගෝලය වාර්තා කරගනිමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය. එහි දී මොහොමඩ් මනෆ්දීන් ලබා දුන් දීර්ඝ පන්දුවක් ගෝල රාමු කලාපය ඉතා ආසන්නයේ දී ලබාගත් මොහොමඩ් අමීන් ඉතා දක්ෂ ලෙස එය ගෝල රාමුව තුළට යොමුකරමින් එම ගෝලය වාර්තා විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ දෙපිළේම ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් තරගයේ පෙරමුණ ගන්නට උත්සාහ දැරීය. ඒ හරහා දෙපිළේම ක්‍රීඩකයින් ගෝල රැස්කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කර ගැනීමට සමත් වුවත් ඒව ගෝල බවට පරිවර්තනය කරගන්නට ඔවුන් සමත් වූයේ නැත. කෙසේ නමුත් එහි දී රාජකීය විද්‍යාලයේ අසාද්ගේ මෙන්ම සාන්ත ජෝසප් විද්‍යාලයේ සසිදු ජයසිංහගේ ගෝල රැකීම කැපී පෙනෙන්නට විය.

නමුත් 90 වැනි ක්‍රියාත්මක වූ කාවින්ද්‍ය රූපසිංහ විසින් පැතුම් ගිම්හාන් පිටියේ දකුණු අන්තයේ සිට ලබා දුන් පන්දුවකට හිසින් පහරක් එල්ල කරමින් පහසුවෙන් එය ගෝල රාමුව තුළට යොමුකිරීමට සමත් වූයේ සාන්ත ජෝසප් කණ්ඩායම නැවතත් තරගයේ ඉදිරියට රැගෙන යමිනි. එම ගෝලය වාර්තා කරගැනීමට මග පාදනු ලැබුවේ රාජකීය විද්‍යාලයේ දුර්වල ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශය යි.

කින්නියා අභියෝගයට ජෝසප්වරුන්ගෙන් ප්‍රබල පිළිතුරක්

වයස අවුරුදු 18න් පහළ සමස්ත ලංකා පාසල් පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලිය යටතේ මරදාන සාන්ත…

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කරගනිමින් ලකුණු තත්වය සම කිරීමට දැඩි උත්සාහයක් දැරුවත් ජෝසප්වරුන් ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක කරගැනීමට අවස්ථාවක් ලබා දුන්නේ නැත.

ඒ අනුව ඉතා උණුසුම් තරගයකින් අනතුරුව මෙම තරගයේ ජයග්‍රහණය හිමිකරගත් සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම අඛණ්ඩව තෙවන වසරටත් මෙම තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: සාන්ත ජෝසප් විද්‍යාලය 02 – 01 රාජකීය විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – කාවින්ද්‍ය රූපසිංහ (සාන්ත ජෝසප් විද්‍යාලය)

ගෝල ලාභීන්

  • සාන්ත ජෝසප් විද්‍යාලය – ශෙනාල් සංදේශ් 50’(P), කාවින්ද්‍ය රූපසිංහ 90’
  • රාජකීය විද්‍යාලය – මොහොමඩ් අමීන් 58’

කහ කාඩ්පත්

  • සාන්ත ජෝසප් විද්‍යාලය – සචින්තන පෙරේරා 44’, කාවින්ද්‍ය රූපසිංහ 90+3’
  • රාජකීය විද්‍යාලය – සිශාන් ප්‍රබුද්ධ 77’

විශේෂ සම්මාන

  • රන් සපත්තුව – ශෙනාල් සංදේශ් (සාන්ත ජෝසප් විද්‍යාලය)
  • රන් අත්වැසුම – මොහොමඩ් අසාද් (රාජකීය විද්‍යාලය)
  • රන් පන්දුව – ශෙනාල් සංදේශ් (සාන්ත ජෝසප් විද්‍යාලය)

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<