කවිඳුට ගෝලයක් වාර්තා කරගන්න තිබුණා – පකීර් අලි

79
FIFA World Cup Qualifiers Sri Lanka vs North Korea

2022 FIFA ලෝක කුසලානය හා 2023 ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලියේ දෙවන වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන තරගය ඊයේ (10) උතුරු කොරියානු කණ්ඩායම සමඟින් කොළඹ තුරඟ තරග පිටියේ දී පැවති අතර ඉතා තියුණු තරගයකින් අනතුරුව ගෝල 0-1ක් වශයෙන් තරගය ජයග්‍රහණය කරන්නට උතුරු කොරියාව සමත් විය. 

සුජාන්ගේ වීර ක්‍රියා හමුවේ උතුරු කොරියාවට නොසිතූ අභියෝගයක්

2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියට හා 2023 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට..

මෙම වටයේ පසුගිය දා පැවති පළමු තරගය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගෝල 2-0ක් වශයෙන් පරාජයට පත්වූ අතර ඒ හේතුවෙන් මෙම තරගයේ තීරණය ඔවුන්ට අතිශය වැදගත් විය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ප්‍රබල උතුරු කොරියානු කණ්ඩායමට තියුණු තරගයක් ලබා දුන්නත් තරගයේ 67 වැනි මිනිත්තුවේ දී Jang Kuk Chol වාර්තා කළ ගෝලයත් සමඟින් තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්නට උතුරු කොරියාව සමත් විය. 

කෙසේ නමුත් එහි දී ශ්‍රී ලංකා ගෝල රකින ක්‍රීඩක සුජාන් පෙරේරා සහ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රදර්ශනය කළ සටන්කාමී ක්‍රීඩා විලාශය ක්‍රීඩාලෝලීන්ගේ පැසසුමට ලක්වන්නට විය. 

තරගය අවසානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු නිසාම් පකීර් අලි ප්‍රකාශ කර සිටියේ;

“අද පැවැත්වුණේ අපට ගොඩක් අමාරු තරගයක්. නමුත් අපිට සැලැස්මක් තිබුණා. ක්‍රීඩකයින් ඒ සැලැස්මට අනුව ක්‍රීඩා කළා. කලින් තරගයේ ක්‍රීඩා කළ ආරම්භක සංචිතයට මේ තරගයේ දී අපි වෙනස්කම් කිහිපයක් සිදු කළා. ඉතින් ක්‍රීඩකයින් මේ තරගයේ හොඳින් ක්‍රීඩා කළා. අපි අපේ උපරිමයෙන් උත්සාහ කළා. අපිට ගෝල වාර්තා කරගන්න අවස්ථාවන් කිහිපයක්ම හිමි වුනා. නමුත් ඒවා ගෝල බවට පරිවර්තනය කරගන්න අපිට බැරි වුනා.“

“නමුත් දිනෙන් දින කණ්ඩායමේ ක්‍රීඩකයින් සිය දක්‍ෂතා වැඩිදියුණු කරගන්නවා. මේ තරග දෙකේ දීත් ඒක දැකගන්න ලැබුණා. ඒ ගැන මට සතුටු වෙන්න පුළුවන්. විශේෂයෙන් කලින් තරගයේ ඉඳලා මේ තරගයට එද්දී අපි සිදු කළ වෙනස්කම් එක්ක ක්‍රීඩකයින් ක්‍රීඩා කළ ආකාරය ගැන මට සෑහීමකට පත්වෙන්න පුළුවන්.”

“මම නිදහසට කරුණු කියනවා නෙමෙයි. උතුරු කොරියාව කියන්නේ FIFA පාපන්දු ලෝක කුසලානය ක්‍රීඩා කළ කණ්ඩායමක්. ඊට සාපේක්ෂව අපි අලුත්. අපිට ඒ වගේ අත්දැකීම් නැහැ. අපි අපේ උපරිමයෙන් උත්සාහ කරනවා. ඒ නිසා ඉදිරියේ දී අපිට හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.”

ශ්‍රී ලංකාව ටර්ක්මෙනිස්තානය හමුවේ අසාර්ථක වෙයි

2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියට හා 2023 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට..

තරගය ආරම්භයේ පටන් උතුරු කොරියානු ක්‍රීඩකයින් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් දියත් කරද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරමින් ඉක්මන් අවස්ථාවන් හරහා ගෝලයක් වාර්තා කරගන්නට උත්සාහ දරන ස්වරූපයක් දිස්විය. 

අනතුරුව තරගයේ දෙවන අර්ධයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අනුගමනය කළ ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශය තවත් දැඩි කළ සේයාවක් දිස්වූ අතර එම තත්වය උතුරු කොරියාවේ ගෝලය වාර්තා වන තෙක්ම දැක ගත හැකි විය. මේ පිළිබඳව අදහස් දක්වමින් පකීර් අලි ප්‍රකාශ කර සිටියේ;

“සමාවෙන්න, නමුත් අපි තරගය පුරාවට අනුගමනය කළේ ආරක්ෂාකාරී ක්‍රීඩා රටාවක් නෙමෙයි. අපි අපේ සැලැස්මට අනුව තමයි ක්‍රීඩා කළේ. අපි අපේ අන්තයේ දී ආරක්‍ෂාකාරීව ක්‍රීඩා කරලා ඉක්මන් අවස්ථාවන් හරහා ගෝල වාර්තා කරගන්න උත්සාහ කළේ. ප්‍රතිවාදීන් පීඩනයක් එල්ල කරමින් ඉදිරියට එනකොට අපේ පසුපෙළ ක්‍රීඩකයින් පිටුපසට යනවා තමයි. ඒක තරගයේ කොටසක්. නමුත් ඔබ දකින්න ඇති දෙවන අර්ධයේ දී, විශේෂයන්ම එහි පළමු මිනිත්තු 20න් පස්සේ අපි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරන්න යොමුවුණා. ඒ වගේම අපිට අවස්ථාවන් කිහිපයක්ම හිමි වුනා. විශේෂයෙන් කවිඳුට ඔහුට ලැබුණු අවස්ථාවේ දී පහර එල්ල කරලා ගෝලයක් වාර්තා කරගන්න තිබුණා.”

පළමු තරගයට පෙර සූදානම ගැන පකීර් අලී අදහස් දක්වයි

2022 දී කටාර් රාජ්‍ය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නියමිත FIFA පාපන්දු ලෝක කුසලාන..

“මම හැමතිස්සේම මගේ ක්‍රීඩකයින්ට කියන්නේ තරගයේ පළමු මිනිත්තු 20 සහ දෙවන අර්ධය ආරම්භ වුනාට පස්සේ පළමු මිනිත්තු 20 තමයි තරගයේ භයානකම කාලසීමාව කියලා. ඔවුන් ක්‍රීඩා කරන්නේ ඒකට අනුව.”   

පකීර් අලි තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ඔහු පුහුණුවීම් සිදු කිරීමේ දී ආරක්‍ෂාකාරීව ක්‍රීඩා කිරීමට පමණක් ම අවධානය යොමු නොකරන බවයි. 

“අපි ‘defence’ එක ගැන විතරක් නෙමෙයි පුහුණුවීම්වල දී අවධානය යොමු කරන්නේ. අපි හැමවෙලේම හොඳ සංයුක්ත පුහුණුවීම් රටාවක් තමයි අනුගමනය කරන්නේ. සමහර දවස්වල දී අපි ‘defence’ කරන විදිහ පුහුණු කරනවා. තවත් දවස්වල දී ‘shooting’ පුහුණු වෙනවා. ඒ වගේම ශාරීරික යෝග්‍යතාවය වගේම ‘conditional training’ වගේ පුහුණුවීමුත් සිදු කරනවා.” 

ඒ අනුව ප්‍රබල උතුරු කොරියානු කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හමුවේ ඔවුන් බලාපොරොත්තු නොවූ අභියෝගයකට මුහුණ දීමට සිදුවූ අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් උතුරු කොරියානු පුහුණුකරුවන් ප්‍රකාශ කර සිටියේ;

“ශ්‍රී ලංකාව තරගය පුරාවටම ‘attack’ කරනවා වෙනුවට ‘defence’ කරන්න තමයි යොමුවුණේ. ඒ නිසා තරගය තුළ අපිට ගෝල වාර්තා කරගන්න අවස්ථාවන් ගොඩක් නිර්මාණය කරගන්න පුළුවන් වුනත් වාර්තා කරගන්න පුළුවන් වුනේ එක ගෝලයක් පමණයි. ඔවුන් අනුගමනය කළ ආරක්‍ෂාකාරී ක්‍රීඩා විලාශය නිසා අපිට අපි තරගයට කලින් සැලසුම් කරලා තිබුණ විදිහට ක්‍රීඩා කරන්න බැරි වුනා. ඒ නිසා පළමු අර්ධයෙන් පසුව අපිට වෙනස්කම් කිහිපයක්ම සිදු කරන්න වුනා.”

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<