රොනාල්ඩෝගේ ගෝල ත්‍රිත්වය ස්පාඤ්ඤ සිහින බොඳ කරයි

FIFA ලෝක කුසලානය 2018

714

FIFA ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තවත් තරග තුනක් ඊයේ (15) පැවැත්වුණා. ඉන් පළමු තරගය ප්‍රබල උරුගුවේ කණ්ඩායම හා පෙරළිකාරී ඊජිප්තු කණ්ඩායම අතර A කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වුණු අතර දෙවන තරගය B කාණ්ඩයේ තරගයක් ලෙස මොරොක්කෝව හා ඉරානය අතර පැවැත්වුණා. දිනයේ තෙවන තරගය ලෙස ස්පාඤ්ඤය හා පෘතුගාලය හමු වූ අතර ඊයේ පැවති තියුණුම තරගයත් එය විය. 

සත්කාරක රුසියාවට මංගල තරගයෙන් දැවැන්ත ජයක්

2018 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් එහි මංගල තරගය ලෙස සත්කාරක රුසියාව හා සවුදි අරාබිය…

B කාණ්ඩයේ තරගකාරීම තරගය මෙන්ම සමස්ත පළමු වටයේ තරගකාරීම තරගය විය හැකි තරගය වූ ප්‍රබල ස්පාඤ්ඤය හා පෘතුගාලය සෝචි හි ෆිශ්ට් ක්‍රීඩාංගණයේ දී (Fisht Stadium Sochi)  තරග වැදුනා. ඉතා උණුසුම් හා කරට කර තරගයකට පසු ගෝල 3-3ක් ලෙස තරගය ජයපරාජයෙන් තොරව අවසන් වූ අතර සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් 88 වන මිනිත්තුව තෙක් ස්පාඤ්ඤය සතුව තිබු තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට සමත් වුනා.

ස්පාඤ්ඤ පාපන්දු බලධාරීන් ලෝක කුසලානය ආරම්භයට දිනකට පෙර ස්පාඤ්ඤ ජාතික කණ්ඩායමේ පුහුණුකරු වූ ජූලියන් ලොපෙටෙගි (Julen Lopetegui) එම ධුරයෙන් පහ කර තිබුණි. හිස්වූ නව පුහුණුකරු ධුරයට ෆර්නැන්ඩෝ හිරෙරෝ පත් කර තිබුණු අතර මේ ස්පාඤ්ඤ පුහුණුකරු ලෙස ඔහුගේ පළමු ජාත්‍යන්තර තරගයයි.

(ෆර්නැන්ඩෝ හිරෙරෝ-ප්‍රභවය FIFA.com)

තරගයේ උණුසුම මානව පසක් කරමින් පළමු අර්ධයේම ගෝල ත්‍රිත්වයක් වාර්තා වුනා. තරග ආරම්භයත් සමඟ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාලය ස්පාඤ්ඤ ආරක්ෂකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කළ අතර ස්පාඤ්ඤ ආරක්ෂක ක්‍රීඩක නාචෝ විසින් රොනල්ඩෝට අනවශ්‍ය බාධා කිරීමක් සිදු කළ නිසා තෙවන මිනිත්තුවේ දී විනිසුරු පෘතුගාලයට දඬුවම් පහරක් පිරිනැමුවා. පෘතුගාල කණ්ඩායම වෙනුවෙන් සිය 150 වන ජාත්‍යන්තර තරගයට  ක්‍රීඩා කරන සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ එම දඬුවම් පහර ඉතා පහසුවෙන් දැල තුලට යොමු කරමින් තරගයේ ආරම්භක වෙඩි මුරය තබන්නට සමත් වුනා.

(තරගයේ ආරම්භක වෙඩිමුරය තබන්නට සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ සමත්විය-ප්‍රභවය FIFA.com)

අනතුරුව ක්‍රම ක්‍රමයෙන් තරගයේ ග්‍රහණය තමන් සතු කරගත් ස්පාඤ්ඤය පන්දුව තමන් සතුවම තබා ගනිමින් පෘතුගාලයේ ක්‍රීඩා රටාව සම්පුර්ණයෙන් අඩාල කළ අතර 23 වන මිනිත්තුවේ දී පෘතුගාල ආරක්ෂක ක්‍රීඩකයින් දෙදෙනෙකු සමඟින් තනිවම තරග කළ ඩියෙගෝ කොස්ටා ස්පාඤ්ඤය වෙනුවෙන් විශිෂ්ට ගෝලයක් වාර්තා කරමින් ගෝල සම කළේය.

(ඩියෙගෝ කොස්ටා ස්පාඤ්ඤය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේය -ප්‍රභවය FIFA.com)

25 වන මිනිත්තුවේ දී නැවත වරක් ස්පාඤ්ඤ ක්‍රීඩකයින්ට දඬුවම් පහර චතුරශ්‍රයට මදක් නුදුරෙන් නිදහස් පහරක් හිමි වූ අතර ඉස්කෝ තවත් ගෝලයක් සඳහා අලංකාර පා පහරක් එල්ල කළ ද පන්දුව ගෝල රාමුවේ ඉහළ වැදී ඉවතට විසිවීම නිසා ඉතා අසන්න අවස්ථාවක් ඔවුනට අහිමි විය.

32 වන මිනිත්තුවේ දී අන්ද්රේ ඉනිඑස්ටා පෘතුගාල ආරක්ෂක වළල්ලෙන් මිදී ඉදිරියට ගිය අතර දඬුවම් පහර චතුරශ්‍රය කෙලවරක සිට එල්ල කළ පා පහරෙන් පන්දුව ගෝල රකින්නා ද මගහරිමින්, ගෝල රාමුව ද නූලෙන් මගහරිමින් ඉවතට ගියේය.

අන්ද්රේ 2010 මෙන් මෙවර ජයග්‍රාහී ගෝලය යොමු කරන්නට සූදානමින්

FIFA ලෝක ශ්‍රේණිගත කිරීම්වල සයවැනි ස්ථානයේ සිටින ස්පාඤ්ඤය සිය 11 වන ලෝක කුසලානයට සහභාගී වන්නේ…

පළමු අර්ධය අවසානයට පෙර නැවත වරක් පෘතුගාලය රොනාල්ඩෝ සමඟින් ස්පාඤ්ඤ අර්ධය ආක්‍රමණය කළ අතර 43 වන මිනිත්තුවේදී රොනාල්ඩෝ එල්ල කළ ප්‍රහාරයක් ස්පාඤ්ඤ ගෝල රකින ක්‍රීඩක ඩි ගයා(David De Gea) ගේ අත්වසුමේ වැදී දැල තුලට ගියේ අවාසනාවන්ත ගෝලයක් පෘතුගාලයට මෙන්ම සිය දෙවන ගෝලය සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝට ද හිමිකර දෙමිනි.

පළමු අර්ධය: ස්පාඤ්ඤය 01 – 02 පෘතුගාලය

දෙවන අර්ධයේ ආරම්භය ද පළමු අර්ධයේ ආරම්භය මෙන්ම ඉතා උණුසුම් වූ අතර තරගයේ 55 වන මිනිත්තුවේ දී ස්පාඤ්ඤයට නිදහස් පහරක් හිමි විය. ඉනිඑස්ටා එල්ල කළ නිදහස් පහර හිසෙන් ලබාගෙන සර්ජියෝ බොස්ක්වෙස්ට් (Sergio Busquets) පන්දුව ඩියෙගෝ කොස්ටා හට යොමු කළ අතර විශිෂ්ට පා පහරකින් කොස්ටා සිය දෙවන ගෝලය වාර්තා කළේ සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ සමඟ එකට එක කරමිනි.

(කොස්ටා සිය දෙවන ගෝලයත් සමඟ ගෝල සමකිරීමට සමත් විය – ප්‍රභවය FIFA.com)

දිගින් දිගටම ස්පාඤ්ඤ ක්‍රීඩකයෝ පෘතුගාල අර්ධයේ රැඳී සිටි අතර වැඩි වෙලා යාමට යාමට පෙර 58 වන මිනිත්තුවේ සියලු දෙනා අන්ද මන්ද කරමින් දිගු දුරක සිය පන්දුව නිවැරදිව දැල තුලට එල්ල කරමින් රොනාල්ඩෝ හට දඬුවම් පහරක් ලබා දී කළ වරද නිවැරදි කරගන්නට නාචෝ සමත් විය.
88 වන මිනිත්තුවේ දී පෘතුගාලයට නිදහස් පහරක් හිමි වූ අතර එම දඬුවම් පහර ලබා ගත් සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අති විශිෂ්ට අයුරින් පන්දුව ස්පාඤ්ඤ ආරක්ෂක බැම්මෙන් මුදවා ගෝල රකින්නාට සෙලවෙන්නටවත් මොහොතක් නොතබා දැල තුලට පාකර හරින්නට සමත්වූයේ සියලු දෙනාට හුස්ම ගැනීම පවා අමතක කරවමිනි.

රොනල්ඩෝගේ එම ගෝලයත් සමඟ මිනිත්තු 86ක් ස්පාඤ්ඤය සමඟ තබූ ජයග්‍රහණයේ බලාපොරොත්තු බිඳ දමා තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ඔහු සමත් විය .

(ලොව පුරා ක්‍රීඩාලෝලීන්ට කලකට අමතක නොවන ගෝලයක් වාර්තා කිරීමට රොනාල්ඩෝ සමත් විය – ප්‍රභවය FIFA.com)

අවසාන ලකුණු තත්වය: ස්පාඤ්ඤය 03 – 03 පෘතුගාලය

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

·        ස්පාඤ්ඤය: ඩියෙගෝ කොස්ටා  24’,55’ නාචෝ 58’
·        පෘතුගාලය: ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 4’(PEN), 44’, 88’


උරුගුවේ  හා ඉරානය අවසාන මිනිත්තුවේ දී ජය ගනී

FIFA ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තවත් තරග දෙකක් අද (15) පැවැත්වුණා. ඉන් පළමු තරගය ප්‍රබල උරුගුවේ කණ්ඩායම හා පෙරළිකාරී ඊජිප්තු කණ්ඩායම අතර A කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වුණු අතර දෙවන තරගය B කාණ්ඩයේ තරගයක් ලෙස මොරොක්කෝව හා ඉරානය අතර පැවැත්වුණා. දිනයේ තෙවන තරගය ලෙස ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී (11.30) ප්‍රබල ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර තරගය පැවැත්වීමට නියමිතයි.

මොරොක්කෝ ක්‍රීඩකයින් අවසාන මිනිත්තුවේ දී ඉරානයට ජය පිළිගන්වයි

දිනයේ දෙවන තරගය ලෙස මොරොක්කෝව හා ඉරානය සාන්ත පීටර්ස්බර්ග් ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර අවසාන මිනිත්තුවේ දී මොරොක්කෝ ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අත්වැරදීමකින් ගෝල 1-0ක් ලෙස ඉරානයට ජය හිමි විය.

සයවැනි ලෝක කුසලානය සොයා යන බ්‍රසීලය

ලෝක කුසලාන පාපන්දු වංශකථාවේ බ්‍රසීල කණ්ඩායමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. බ්‍රසීල කණ්ඩායම…

මොරොක්කෝ කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියක් ක්‍රීඩා කරන්නේ වසර 20කට පසුව වීම විශේෂත්වයක්. අවසාන වරට මොරොක්කෝ කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියකට ක්‍රීඩා කළේ 1998 ප්‍රංශයේ පැවති ලෝක කුසලානයේ දීයි. 1998 වසර ඉරානයටත් වැදගත් වන්නේ ඔවුන් අවසන් වරට ලෝක කුසලානයක දී ජයක් වාර්තා කළේ 1998 දී වීම නිසයි.

තරගයේ ආරම්භයේ සිටම මොරොක්කෝ කණ්ඩායම ඉරානයට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට සමත් වූ නමුත් ලද අවස්ථා කිහිපයක්ම සාර්ථක කර ගැනීමට මොරොක්කෝ ප්‍රහාරකයින්ට හැකි වූයේ නැහැ.

(පළමු අර්ධය පුරා මොරොක්කෝ ක්‍රීඩකයෝ ඉරානයට ප්‍රබල පීඩනයක් එල්ල කළහ-ප්‍රභවය FIFA.com )

පළමු අර්ධයේ වැඩි වෙලාවක් පන්දුව තමන් සන්තකයේ රඳවා ගැනීමට මොරොක්කෝ ක්‍රීඩකයින් සමත් වූ අතර 19 වන මිනිත්තුවේ දී මොරොක්කෝ වේ බෙනාශියා (BENATIA) ගෝල චතුරශ්‍රය තුල දී ඉතා අසන්න අවස්ථාවක් උදා කර ගැනීමට සමත්වුවද ඉරාන ආරක්ෂක ක්‍රීඩකයින් එම උත්සාහය ව්‍යර්ථ කිරීමට සමත් වුනා.

30 වන මිනිත්තුවේ දී මොරොක්කෝවේ අමීන් හරිට් ඉරාන ආරක්ෂකයින්ගෙන් මිදෙමින් ගෝලයක් සඳහා පන්දුවට පා පහරක් එල්ල කළ ද, ඉරාන ගෝල රකින්නා ඉතා පහසුවෙන් එම අවස්ථාව නවත්වන්නට සමත් විය.

43 වන ම්නිත්තුවේ දී මොරොක්කෝ ක්‍රීඩකයින්ගෙන් මිදුණු ඉරානයේ සදාර් අස්මොඋන් මොරොක්කෝ ගෝල රකින්නා ඉදිරියටම යාමට සමත් වූ අතර ඔහුගේ පන්දු යොමු කිරීම විශිෂ්ට ලෙස නැවැත්වූ ගෝල රකින ක්‍රීඩක මොනිර් එල් කජෞ ((Monir El Kajoui) නිසැක ගෝල අවස්ථාවක් පළමු අර්ධයට පෙර ඉරානයට අහිමි කිරීමට සමත් විය.

(මොනිර් එල් කජෞ ඉරානයට නිසැක ගෝල අවස්ථා දෙකක් අහිමි කරන්නට සමත්විය – ප්‍රභවය FIFA.com )

පළමු අර්ධය: මොරොක්කෝව 00 – 00 ඉරානය

පළමු අර්ධයේ වැරදි නිවැරදි කරගනිමින් මොරොක්කෝ ක්‍රීඩකයින්ට රිසිසේ ඉරාන දඬුවම් චතුරශ්‍රයට පිවිසීමට ඉරාන ආරක්ෂක ක්‍රීඩකයෝ අවස්ථාව ලබා නොදුන්නත්, අවසාන මිනිත්තුව වන තුරුම ගෝලයක් වාර්තා කිරීමට ඉරාන ක්‍රීඩකයෝ ද සමත් වූයේ නැත.

කණ්ඩායම් දෙකටම ලැබුණු ආසන්න අවස්ථා ගිලිහි ගියත් 90+5 මිනිත්තුවේ දී එක් වාසනාවන්ත අවස්ථාවක් ඉරානයට හිමි විය. හජ්සාෆි එම නිදහස් පහර ලබා ගත් අතර ගෝල රාමුව අසල සිටි මොරොක්කෝ ක්‍රීඩක බෞහාඩ්ඩොවුස් අතින් අවාසනාවන්ත ලෙස පන්දුව දැල තුලට යෑම නිසා අවසාන මිනිත්තුවේ දී ඉරානයට ජය හිමි වූයේ දහසක් මොරොක්කෝ බලාපොරොත්තු බිඳ දමමිනි.

(අවසාන මිනිත්තුවේ මොරොක්කෝ ක්‍රීඩකයෙකු වැරදීමකින් ඉරානයට ජය ගෙනා ගෝලය වාර්තා කෙළ්ය (OG)-FIFA.com)

අවසාන ලකුණු තත්වය: මොරොක්කෝව 00 – 01 ඉරානය

ගෝල ලබාගත් ක්‍රීඩකයින්: බෞහාඩ්ඩොවුස් (Bouhaddouz)(OG) 90+5’

මිනිත්තු අනූවක ඊජිප්තු බලාපොරොත්තු සුන්කරමින් උරුගුවේ ජය ගනී

(FIFA.com)

A කාණ්ඩයේ දෙවන තරගය ලෙස අද (15) රුසියාවේ එකටෙරින්බර්ග් ක්‍රීඩාංගණයේ දී (Ekaterinburg Arena) ප්‍රබල උරුගුවේ දේශය හා ඊජිප්තුව සිය පළමු තරගයට සහභාගී වූ අතර මිනිත්තු 90 ප්‍රබල ඊජිප්තු උත්සාහය බිඳ දමමින් ගෝල 1-0ක ජයක් වාර්තා කිරීමට උරුගුවේ කණ්ඩායම සමත් විය.

ඊජිප්තු කණ්ඩායමක් ලෝක කුසලානයකට සුදුසුකම් ලැබුවේ 1990 ලෝක කුසලානයට පසුව වූ අතර ඔවුන්ගේ ප්‍රධානතම ක්‍රීඩකයා හා ගෝල ලබා ගන්නා ක්‍රීඩකයා වන ලිවර්පූල් කණ්ඩායමේ මොහොමඩ් සලා අද තරගයට ක්‍රීඩා නොකිරීම විශේෂ කරුණක් විය.

(ඊජිප්තුවේ මොහොමඩ් සලාහ් තරගය ක්‍රීඩා නොකළ අතර ආදේශක ක්‍රීඩක බැංකුවට සීමා වීමට ඔහුට සිදු විය- ප්‍රභවය AFP)

පළමු අර්ධය පුරා උරුගුවේ දේශයේ ප්‍රබල ප්‍රහාරකයින් වූ ලුවිස් සුආරෙස් හා එඩින්සන් කවානි ගෝලයක් ලබා ගැනීමට ප්‍රබල උත්සාහයක නිරත වුවත්, ඊජිප්තු ගෝල රකින්නා වූ මොහොමඩ් එල්ශේනවී (Mohomad Elshenawy) ගේ දක්ෂතා නිසා එම සියලු උත්සාහයන් ව්‍යර්ථ විය.

බාසිලෝනා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක ලුවිස් සුආරෙස් අද දිනය පුරා උත්සහ කළ අවස්ථා කිසිවක් සාර්ථක නොවුණු අතර 24 වන මිනිත්තුවේ දඬුවම් පහර කොටුවේ ගෝල රකින්නා පමණක් සිටිය දී ලද ඉතා වාසනාවන්ත අවස්ථාවක් ඔහුගේ පාදයෙන් ගිලිහිණි.

පළමු අර්ධයේ මෙන්ම තරග පුරාම අවස්ථා පහකට අධික සංඛ්‍යාවක් සුආරෙස් අතින් ගිලිහිණ.

පළමු අර්ධය: උරුගුවේ 00 – 00 ඊජිප්තුව

දෙවන අර්ධය ද පළමු අර්ධයට වැඩා විශාල වෙනසක් නොපෙන්වුණු අතර 70 වන මිනිත්තුවෙන් පසු උරුගුවේ ක්‍රීඩකයෝ ජයග්‍රහණය සොයා ඊජිප්තු ආරක්ෂකයින්ට ප්‍රබල පීඩනයක් යොදමින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණි.

72 වන මිනිත්තුවේ ද කවානි විසින් සුආරෙස් වෙතට පන්දුව යොමු කරනු ලදුව ගෝල රකින්නා ද නොසිටි දැල වෙතට පන්දුව යොමු කරගැනීමට සුආරෙස් අසමත් වූයේ සියලු දෙනාම වික්ෂිප්ත කරවමිනි.

82 වන මිනිත්තුවේ දී දඬුවම් චතුරශ්‍රය කොනේ සිට කවානි පන්දුව ඉතා වේගයෙන් ගෝල රකින්නා නොසිටි දැලේ දකුණු පස වෙත යොමු කරත් විශිෂ්ට පියාසර කිරීමක නිරත වූ මොහොමඩ් එල්ශේනවී එම ගෝලය කවානිට අහිමි කරන්නට සමත් විය.

87 වන මිනිත්තුවේ දී කවානිට හිමි වූ දඬුවම් පහරක් ගෝල රාමුවේ වැදී ඉවතට විසි වූයේ ඊජිප්තු බලාපොරොත්තු තව දුරටත් ඉහළ දමමිනි.

(උරුගුවේ ක්‍රීඩකයින්ගේ ප්‍රහාරයන් රැසක් ව්‍යර්ථ කිරීමට උරුගුවේ ගෝල රකින්නා සමත් විය – ප්‍රභවය AFP)

89 වන මිනිත්තුවේ දී ‘corner’ අවස්ථාවක් උරුගුවේ කණ්ඩායමට හිමි වූ අතර පිටිය කොනේ සිට ඉහළින් පැමිණි පන්දුව සිය හිසෙන් දැල වෙතට යොමු කළ ගිමෙන්ස් (Gimenez) මිනිත්තු අනූවක ඊජිප්තු බලාපොරොත්තු සුන් කරමින් ජයග්‍රාහී ගෝලය වාර්තා කරන්නට සමත්විය.

අවසාන ලකුණු තත්වය: උරුගුවේ 01 – 00 ඊජිප්තුව

ගෝල රැස්කළ ක්‍රීඩකයින්

·        උරුගුවේ: ගිමෙන්ස් 89’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<