මගේ උපරිමය යොදනවා – උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර

340
Sri Lanka athlete Manjula Wijesekara

මංජුල කුමාර විඡේසේකර යනු පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම උස පැනීමේ ශූරයා බවට විවාදයක්‌ නොවන්නේය. ඒ ඔහු එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව කිහිප වතාවක්‌ම අලුත් කළ නිසා පමණක්‌ම නොවේ.

අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය විසින් ඔලිම්පික්‌ තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා වන පරිසාධන මට්‌ටම හඳුන්වාදීමෙන් පසු උස පැනීමේ ඉසව්වෙන් ඒ සඳහා සුදුසුකම් ලැබූ ප්‍රථම සහ එකම ක්‍රීඩකයා වන්නේ ද මංජුල වේ. හෙතෙම 2004 වසරේ මීටර 2.27 ක උසක්‌ තරණය කරමින් තමන්ගේම ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළ අතර එම දක්‌ෂතාවය 2004 වසරේ ඇතැන්ස්‌හි පැවැති ඔලිම්පික්‌ තරගාවලිය නියෝජනය කිරීමට තරම් අවශ්‍ය පරිසාදන මට්‌ටම සපුරාලීමක්‌ද විය.

කලක්‌ මංජුලගේ පුහුණුකරු ලෙස කටයුතු කරන ලද්දේ 1952 සහ 1956 වසරවල ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික්‌ උළෙල නියෝජනය කරන ලද නාගලිංගම් එතිර්වීරසිංහම් මහතාය. ඔහුගෙන් පසු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලට සහභාගිවූ එකම ශ්‍රී ලාංකික උස පැනීමේ ක්‍රීඩකයා වන්නේ මංජුල කුමාරයි. කෙසේ වෙතත් ඇතැන්ස්‌ ඔලිම්පික්‌ උළෙලට පසු 2008 සහ 2012 ඔලිම්පික්‌ සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්‌ටමට ළඟාවීමට මංජුල දැරූ උත්සාහයන් කිහිප විටක්‌ම ව්‍යර්ථ වූයේ සෙන්ටිමීටර කිහිපයකින් වීම මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ නිරන්තර කතාබහට ලක්‌වන මාතෘකාවක්‌ බවට පත්විය.

මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න

2012 මලල ක්‍රීඩා ලීග තරගාවලියකදී ඔළිම්පික්‌ පරිසාදන මට්‌ටම වන මීටර 2.28 ක උස තරණය කිරීමේදී තිරස්‌ දණ්‌ඩ ඇද වැටෙන්නේ මංජුලගේ වම්පාදය යන්තම් වැදීම නිසාය.

එතිර්වීරසිංහම් පැවැසූ ආකාරයට ඔලිම්පික්‌ උළෙල සඳහා අවශ්‍ය පරිසාදන මට්‌ටමට නැවත ළඟාවීමේ හැකියාව හොඳින්ම පවතින බවත්, ඒ සඳහා වූ මංජුලගේ කිසිදු තාක්‌ෂණික හෝ හැකියාවක අඩුපාඩුවක්‌ නොමැති බවත්ය. මෙහිදී ඔහුට බාධකයක්‌ පවතින්නේ නම් ඒ මානසික බාධකයක්‌ ජය ගැනීමට පමණක්‌ බවද එතිර්වීරසිංහම් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මංජුල විසින් තම ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරමින් පරිසාධන මට්‌ටමට ළඟාවීමට උත්සාහ දරන බොහෝ අවස්‌ථාවන්හිදී ඒ සඳහා විවිධ බාධා පැමිණීමද මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ මාතෘකාවට බඳුන්වී තිබෙන සිදුවීමකි. පසුගිය වසරේ ජාතික ශූරතා තරගතාවලියේදී ඔහු තම අවසන් ප්‍රයත්නයන් සිදුකරන ලද්දේ අඳුර වැටී තිබෙන අවස්‌ථාවකය. එහිදී මංජුලගේ පිහිටට සිටියේ සෙසු ක්‍රීඩකයන්ගේ ජංගම දුරකථනවල ආලෝකය පමණක්‌ බව අවස්‌ථාවට සහභාගිවූ බොහෝ දෙනාගේ මතකයේ තවමත් රැඳී පවතියි.

ආසියානු ශූරතා රන් පදක්‌කම් දෙකක්‌, දකුණු ආසියානු ක්‍රීඩා උළෙල රන් පදක්‌කම් තුනක්‌ සහ ආසියානු ගෘහස්‌ථ ශූරතාවලියේ ලෝකඩ පදක්‌කමකට (2016 මීටර 2.24) හිමිකම් කියන මංජුල තම ඔලිම්පික්‌ උත්සාහයන් අතහැර නොතිබීම ශ්‍රී ලාංකික මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයට අස්‌වැසිල්ලක්‌ වන්නේ රියෝ ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙල සඳහා පරිසාදන මට්‌ටමට තවමත් පැමිණ තිබෙන්නේ මළල ක්‍රීඩකයන් තිදෙනෙක්‌ පමණක්‌ වීම නිසාවෙනි.

ලබන ජුලි මාසයේදී පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය මංජුලට පමණක්‌ නොව ඔලිම්පික්‌ පරිසාදන මට්‌ටම අසලට පැමිණ තිබෙන අතලොස්‌සක්‌ වූ අනිකුත් ක්‍රීඩකයන් හටද සිය දක්‌ෂතා පෙන්වීමට ලැබෙන අවසාන අවස්‌ථාව වේ.

මේ අතර තම ඔලිම්පික්‌ අභිලාෂයන් පිළිබඳ දිවයිනකරන ලද විමසීමකදී අදහස්‌ දක්‌වා සිටි මංජුල, ජාතික ශූරතාවලියේදී ඔලිම්පික්‌ පරිසාදන මට්‌ටමට ළඟාවීම සඳහා තම උපරිම උත්සාහය දරන බව සඳහන් කර සිටියේය. පිරිමි උස පැනීමේ ඉසව්ව සඳහා ඔලිම්පික්‌ පරිසාදන මට්‌ටම වන්නේ මීටර 2.29 කි.

තවත් පුවත් සඳහා මුල් පිටුවට පිවිසෙන්න