මාස 9 කට පෙර ජාවා ලේන් කණ්ඩායම ඔවුන්ගේ ක්‍රීඩා සමාජ ඉතිහාසයේ අඩුම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින් Dialog ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතරින් පහතට වැටුණු නමුත් ඉන් මාස 9 කට පසුව මේ වන විට ඔවුන් ඔවුන්ගේ ක්‍රීඩා සමාජ ඉතිහාසයේ ප්‍රථම FA කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් වී ඇත. ඔවුන්ට තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට නම් අවසන් මහා තරගයේ දී ප්‍රබල යුද හමුදා ක්‍රීඩා සමාජය සමඟ සටන් වැදීමට සිදු වනු ඇත.

යුද හමුදාව සහ ජාවා ලේන් අවසන් මහා තරගයට

FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් තරග දෙකම ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර එහි දී ..

ඒ අනුව මෙවර FA කුසලානයේ අවසන් මහා තරගය සඳහා තේරී පත්වී ඇත්තේ තරගාවලිය ආරම්භයේ දී අන්ත දෙකක සිටි කණ්ඩායම් ද්විත්වයකි. යුද හමුදා කණ්ඩායම තරගාවලිය සඳහා පිවිසියේ ශූරතාවය දිනා ගැනීමට ප්‍රබල අභියෝගයක් එල්ල කළ හැකි කණ්ඩායමක් ලෙසයි. Dialog ශූරයින්ගේ කුසලානයේ දී ඔවුන්ගේ සුපුරුදු ක්‍රීඩා විලාශයට පැමිණීමට ඔවුන් අපොහොසත් වූ අතර මෙම වසරේ දී ශූරතා කුසලානයක් ජයග්‍රහණය කිරීමට ඔවුන් ඉදිරියේ තිබුණු හොඳම අවස්ථාව FA කුසලානයයි. අනෙක් පසින් ජාවා ලේන් කණ්ඩායම Dialog ශූරයින්ගේ කුසලානයේ දී නොසිතූ ලෙස අසාර්ථක වීමෙන් පසු මෙම තරගාවලිය සඳහා පිවිසියේ ඔවුන් තවමත් ප්‍රබල කණ්ඩායමක් බව රටටත්, ඔවුන්ගේ ක්‍රීඩාලෝලීන්ටත් පෙන්වීමේ අභිප්‍රාය සහිතවයි.

අවසන් මහා තරගයට පැමිණි ගමන්මග

කණ්ඩායම් දෙක අවසන් මහා තරගය සඳහා පැමිණි ගමන්මග ද එකිනෙකට වෙනස් විය. යුද හමුදා කණ්ඩායම ඊට පෙර සහභාගී වූ සෑම තරගයක් සඳහාම පිවිසියේ තරගය ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් ඇති කණ්ඩායම ලෙසයි. අර්ධ අවසන් තරගයේ දී පමණක් කොළඹ FC කණ්ඩායම ඔවුන්ට යම්තරමක අභියෝගයක් එල්ල කිරීමට සමත් වූ අතර එසේ වූයේ ද යුද හමුදා ක්‍රීඩකයින් තරගයේ මුල් භාගය තුළ ලැබුණු අවස්ථා කිහිපයක්ම ගෝල බවට පරිවර්තනය කර ගන්නට අපොහොසත් වූ හෙයිනි.

  • කොළඹ FC 3-2 (අර්ධ අවසන් වටය)
  • සුපර් සන් SC 12-1 (අර්ධ අවසන් පූර්ව වටය)
  • නාවික හමුදා කණ්ඩායම 4-1 (අවසන් 16 දෙනාගේ වටය)
  • ඊස්වරන් SC 20-0 (4 වන වටය)

අනෙක් පසින් ජාවා ලේන් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව තරගයේ දී මෙන්ම අර්ධ අවසන් තරගයේ දී ද තරග බිමට පිවිසියේ ඔවුන්ට වඩා ප්‍රබල කණ්ඩායම් දෙකකට එරෙහිවයි. එමෙන්ම ජාවා ලේන් ක්‍රීඩකයින් ඊට පෙර සහභාගී වූ තරගවල දී ක්‍රීඩා කළ ආකාරයෙන් ද ඔවුන් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබනු ඇතැයි ඉඟියක් ලැබුණේ නැත. නමුත් සහභාගී වූ සෑම තරගයක දී ම ප්‍රතිවාදීන්ට තර්ජනයක් එල්ල කළ හැකි ආකාරයට උපක්‍රම වෙනස් කරමින් ක්‍රීඩා කරන්නට ජාවා ලේන් ක්‍රීඩකයින් සමත් වූ අතර ඒ තුළින් ප්‍රබල කණ්ඩායම් පවා පරාජයට පත්කරන්නට ඔවුන් සමත් විය.  

  • සෝන්ඩර්ස් SC 1-1 (5-3) අර්ධ අවසන් වටය)
  • රිනවුන් SC 3-1 (අර්ධ අවසන් පූර්ව වටය)
  • ක්‍රිස්ටල් පැලස් 2-0 (අවසන් 16 දෙනාගේ වටය)
  • කිරුළපන යුනයිටඩ් 5-1 (4 වන වටය)

වැදගත් ක්‍රීඩකයින්

තරගාවලිය පුරාවට ජාවා ලේන් කණ්ඩායම ක්‍රීඩා කර ඇත්තේ ඔවුන්ගේ පසුපෙළ ක්‍රීඩකයින් කෙරෙහි වැඩි විශ්වාසයක් රඳවමිනි. තරගාවලිය ආරම්භයේ සිටම ඔවුන්ගේ පසුපෙළ ශක්තිමත් කිරීමට ෆහීම් නිසම්දීන් සමත් වූ අතර තරග තහනමක් නිසා තරගාවලියේ අර්ධ අවසන් තරගය අහිමි වූ චාමර ද සිල්වා ද ඔවුන්ගේ පසුපෙළ ශක්තිමත් කිරීමට මෙම තරගයේ දී එක්වනු ඇත.

ජාවා ලේන් කණ්ඩායමේ සැබෑ ශක්තිය රැඳී ඇත්තේ ඔවුන්ගේ මැදපෙළ තුළයි. රිස්කාන් ෆයිසර් සහ ජානක චමින්ද තරගාවලිය පුරාවට ඔවුන්ගේ සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙමින් ක්‍රීඩා කිරීමට සමත් වූ අතර ‘Right Wing’ ස්ථානයේ ක්‍රීඩා කරන අබ්දුල්ලා ද ප්‍රතිවාදීන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට සමත් විය. නවීන් ජූඩ් ගෝල රාමුව ඉදිරිපිට දී ගෝල රකින්නන් අසරණ කරමින් සෑම තරගයක දී ම ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර ජාවා ලේන් කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩකයින්ට පැවරී ඇති කාර්යය වන්නේ නවීන් හට අවස්ථාවන් නිර්මාණය කරදීම පමණි. නවීන් ජූඩ් ජාවා ලේන් කණ්ඩායම අවසන් මහා තරගය කරා පැමිණි ගමන්මගේ දී ගෝල රැසක් වාර්තා කර ගන්නට සමත් වූයේ ඉතා තරුණ වයසක දී ඔහුගේ දක්ෂතාවන් ප්‍රදර්ශනය කරමිනි.

තරගාවලියේ අවසන් මහා තරගය දක්වා පැමිණීමේ දී යුද හමුදා කණ්ඩායමේ වැඩි වගකීමක් දරා ඇත්තේ ඔවුන්ගේ ශක්තිමත් ඉදිරිපෙළ ක්‍රීඩකයින්ය. ‘Wing’ ස්ථාන වල ක්‍රීඩා කරන මදුෂාන් ද සිල්වා සහ පුන්සර තිරුණ තරගාවලිය පුරාවට ප්‍රතිවාදීන්ට පන්දුව ඉදිරියට රැගෙන ඒමේ දී ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් වූ අතර එමනිසා සංඛ ධනුෂ්ක හට ඉදිරිපෙළ ක්‍රීඩා කරන ඉසදීන්ට හා සජිත්ට ගෝල රැස්කිරීමට අවස්ථාවන් නිර්මාණය කරදීම එතරම් අපහසු කාර්යයක් නොවීය. මොහොමඩ් ඉසදීන් කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින්ගේ ද සහාය ඇතිව මෙම තරග වාරයේ දී ගෝල රැසක් වාර්තා කරන්නට සමත් වූ අතර එයට ඔහු අර්ධ අවසන් තරගයේ දී කොළඹ FC කණ්ඩායමට එරෙහිව ලබාගත් ගෝල ත්‍රිත්වය ද ඇතුළත් වේ. යුද හමුදා කණ්ඩායමේ අනෙක් කතාබහ කළ යුතු ක්‍රීඩකයා වන්නේ තිවංක චන්ද්‍රසේකර යි. ඔහුව තරගයට ආදේශ කිරීමෙන් පසු ප්‍රතිවාදීන් හට දැඩි පීඩනයක් එල්ල කිරීමට ඔහු සමත් වී ඇති අතර ඉසදීන් හා ඔහු එක්වූ විට යුද හමුදා කණ්ඩායමේ ඉදිරිපෙළ තවත් ශක්තිමත් වේ.

තරගයේ දී කුමක් බලාපොරොත්තු විය හැකි ද?

ජාවා ලේන් කණ්ඩායමේ පුහුණුකරු නසාර්, ප්‍රබල රිනවුන් සහ සෝන්ඩර්ස් කණ්ඩායම්වල ට සාර්ථකව මුහුණ දිය හැකි ආකාරයට ජාවා ලේන් ක්‍රීඩකයින්ව උපක්‍රමශීලීව පුහුණු කිරීමට සමත් වූ අතර මෙම තරගයේ දී ද යුද හමුදා කණ්ඩායමට ගැළපෙන ආකාරයට ඔවුන්ගේ උපක්‍රම වෙනස් කරන්නට ඔහු නිසැකවම කටයුතු කරනු ඇත. යුද හමුදා කණ්ඩායමේ ‘wing’ ක්‍රීඩකයින් පාලනය කිරීම සඳහා ජාවා ලේන් ක්‍රීඩකයින්ට කටයුතු කිරීමට සිදුවනු ඇති අතර ඒ වෙනුවෙන් පෙර තරගයේ දී මෙන් මෙම තරගයේ දී ද ජාවා ලේන් කණ්ඩායමේ අබ්දුල්ලාට සහ මාලක පෙරේරාට වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට සිදු වේ. එමෙන්ම චාමරට හෝ ෆහීම්ට තරගාවලිය පුරාවට විශිෂ්ට අන්දමින් ක්‍රීඩා කළ යුද හමුදා කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩා කරන ඉසදීන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වේ.  

යුද හමුදා කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමේ දී මෙතෙක් අනුගමනය කළ සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවම මෙම තරගයේ දී ද අනුගමනය කරනු ඇතැයි විශ්වාස කළ හැක. තරගාවලිය පුරාවට ඉතා උපක්‍රමශීලීව ක්‍රීඩා කළ ජාවා ලේන් කණ්ඩායමේ නවීන් ජූඩ් කෙරෙහි අසිකූර් රහුමාන් හට සිය අවධානය යෙදවීමට සිදු වේ. ජාවා ලේන් කණ්ඩායම පළමු අර්ධයේ දී මර්දනය කර ගැනීමට යුද හමුදා ක්‍රීඩකයින්ට නොහැකි වුවහොත් ඔවුන් දෙවන අර්ධයේ දී නිසැකවම තිවංක චන්ද්‍රසේකරව තරගයට ආදේශ කරනු ඇත. තරගාවලිය පුරාවට ඔහුව පාලනයට නතුකර ගැනීමට ප්‍රතිවාදී කණ්ඩායම් අපොහොසත් වූ අතර ඔහුව මෙම තරගයේ දී ද යුද හමුදා කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇත.

අවසාන වශයෙන්

ගියවර FA කුසලානයේ ශූරතාවය දිනා ගත් යුද හමුදා කණ්ඩායම මෙවර ද අවසන් මහා තරගයට පිවිසෙන්නේ තරගය ජයග්‍රහණය කිරීමේ වැඩි වාසි සහිතවයි. ඒ අනුව කණ්ඩායම් දෙක සංසන්දනය කළ විට වඩාත් ප්‍රබල කණ්ඩායම වන්නේ යුද හමුදා කණ්ඩායමයි. අනෙක් පසින් ජාවා ලේන් කණ්ඩායම ද අවසන් මහා තරගය දක්වා පැමිණීමේ දී තම කණ්ඩායමට වඩා ප්‍රබල කණ්ඩායම් කිහිපයක්ම අභිබවා යන්නට සමත් වූ අතර මෙම තරගය ජයගෙන ඔවුන්ගේ ප්‍රථම FA කුසලාන ශූරතාවයට හිමිකම් කියන්නට නම් ඔවුන්ට මෙහි දී පෙර තරග වලට වඩා හොඳින් ක්‍රීඩා කිරීමට සිදු වේ.

තරගය අවසානයේ කුමක් වෙයි ද? ශ්‍රී ලංකාවේ පැරණිම කණ්ඩායම් අතරින් එකක් වන ජාවා ලේන් කණ්ඩායම තම ප්‍රථම FA කුසලානයට හිමිකම් කියන්නට සමත් වෙයි ද? නැතහොත් ශ්‍රී ලංකාවේ ප්‍රබලතම පාපන්දු කණ්ඩායමක් වන යුද හමුදා කණ්ඩායම අඛණ්ඩව දෙවන වසරටත් FA කුසලානය ජයග්‍රහණය කරන්නට සමත් වෙයි ද? තරගයේ තීරණය දැන ගැනීම සඳහා ThePapare.com සමඟ රැඳී සිටින්න. FA කුසලානයේ උද්වේගකර අවසන් මහා තරගය සජීවීව ඔබ වෙත සමීප කරන්නට අපි සූදානම්.

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට