එංගලන්තය දණ ගැස්වීමට තිබූ අවස්ථාව අයර්ලන්තයට අහිමි වෙයි!

212

ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත ස්වභාවය මැනවින් විදහා දැක්වූ තරගයක් ඊයේ (03) ඩබ්ලින් නුවර “ද විලේජ්” පිටියේ දී ක්‍රියාත්මක වූයේ ප්‍රබල එංගලන්තය සහ අයර්ලන්ත කණ්ඩායම අතරයි.

දෙරට අතර ක්‍රියාත්මක වූ ප්‍රථම සහ එකම එක්දින තරගය වූ මෙහි අවසන් ජයග්‍රාහකයා බවට පත්වූයේ අයර්ලන්ත කණ්ඩායම සතුව තිබූ ජය උදුරා ගත් එංගලන්ත කණ්ඩායමයි. කෙසේ වෙතත් එංගලන්ත පසුපෙළ පිතිකරුවන් දැක්වූ ඉවසිලිවන්ත පිතිකරණ රටාව නොවන්නට ඊයේ අයර්ලන්ත ක්‍රිකට් ඉතිහාසයේ තවත් ස්වර්ණමය දිනයක් ලෙස සනිටුහන් වන්නට ඉඩ තිබුණි.

රබාඩාට ආබාධයක්

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඔහුගේ…

ඊයේ ඩබ්ලින් නුවරට ඇද හැලුණු වර්ෂාව නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට අවස්ථාවක් උදා වූයේ නැත. එබැවින් දෙපිළේ ක්‍රීඩකයින් පමාවී ක්‍රීඩාංගණයට පිවිසියේ පන්දුවාර 45ක තරගයක් වෙනුවෙන් සටනක් ලබා දීමටයි. මෙහි දී විනිසුරුවරුන් ලෙස කටයුතු කළේ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක කුමාර් ධර්මසේන සහ පෝල් රෙනෝල්ඩ්ස් යන විනිසුරුවරුන් දෙදෙනායි.

මෙය ලෝක කුසලානයට පෙර ලැබෙන ජාත්‍යන්තර තරග අවස්ථා කිහිපය අතරින් එකක් වන නිසා දෙපිළම නවක ක්‍රීඩකයින් තිදෙනා බැගින් අත්හදා බැලීමට තීරණය කර තිබුණි. එංගලන්තය වෙනුවෙන් එම අවස්ථාවන් 3ට හිමිකම් කීවේ ඩේවිඩ් මාලන්, බෙන් ෆෝක්ස් සහ ජොෆ්රා ආචර් යන ක්‍රීඩකයින් තිදෙනායි. අයර්ලන්තය වෙනුවෙන් ජොශුවා ලිට්ල්, ලෝකන් ටකර් සහ මාර්ක් අඩේර් තම මංගල එක්දින ජාත්‍යන්තර තරග අත්දැකීමට සූදානම්ව සිටියහ.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට තීරණය කළ ද ප්‍රතිවාදීන්ට ආරම්භයේ සිටම පීඩනයක් එල්ල කිරීමට ඔවුන්ට හැකි වූයේ නැත. ඒ අත්දැකීම් සහිත අයර්ලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ නායක පොටර්ෆීල්ඩ් සහ පෝල් ස්ටර්ලින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක් එක්කළ බැවිනි. එහි දී පන්දු 44කට මුහුණ දෙමින් ලකුණු 33ක් රැස්කළ ස්ටර්ලින් හතරේ පහර 5ක් ඊට අන්තර්ගත කළේය. විලියම් පොටර්ෆීල්ඩ් ලකුණු 17යි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නව නිල ජර්සියේ ප්‍රබල වෙනස්කමක්

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින විට අඳිනු ලබන නිල ක්‍රීඩා ඇඳුම සහ….

කෙසේ වෙතත් මෙම ආරම්භක සබඳතාවය බිඳ වැටීමෙන් අනතුරුව අයර්ලන්ත පිතිපෙළ ශීඝ්‍රයෙන් කඩා වැටුණු අතර ලකුණු 77ක් වෙද්දී ඔවුන්ගේ මුල්පෙළ කඩුලු 4ක් දැවී ගියේ ඔවුන්ගේ සාර්ථක ආරම්භය ඵල රහිත කරමිනි. හොඳින් තරගයට අවතීර්ණ වූ එංගලන්ත වේග පන්දු බල ඇණිය අයර්ලන්ත පිතිකරුවන්ව තම මව්බිමේ දී ම අසරණ කරනු පෙනෙන්නට තිබුණි. මැදපෙළ පිතිකරුවන් අතරින් තරමක් සාර්ථක වූ ඇන්ඩි බැල්බර්නි පමණක් ලකුණු 29ක් ලබා ගත්තේය.

කෙසේ වෙතත් ලකුණු 150කට පමණ නිමා වන්නට තිබූ අයර්ලන්ත ඉනිම ලකුණු 198ක් දක්වා ඉහළ ඔසවන්නට අයර්ලන්ත පසුපෙළට හැකි විය. ඒ අත්දැකීම් සහිත තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ජෝජ් ඩොක්රල් ලබා ගත් ලකුණු 24ත් තම මංගල තරගයට ක්‍රීඩා කරන මාර්ක් අඩේර් රැස්කළ ලකුණු 32ත් නිසාවෙනි. ටිම් මර්ටා ලකුණු 12යි. පන්දු යැවීමේ දී කලකට පසු සුපිරි දස්කම් අතරට පිවිසි ලියාම් ප්ලන්කට් ලකුණු 35ට කඩුලු 4ක් බිඳ හෙලද්දී ටොම් කරන් කඩුලු 3ක් බිඳ දැමීය.

වත්මන් එංගලන්තය පිළ සතු සුපිරි පිතිකරණ බල ඇණිය නිසා මෙම ලකුණු සංඛ්‍යාව ඔවුන් පහසුවෙන්ම හඹා යනු ඇතැයි බොහෝ දෙනා අනාවැකි පළ කළ ද ඔවුන්ගේ මුල් කඩුලු 6ම ලකුණු 101ක් තුල බිඳ වැටුණේ අයර්ලන්තයට විශිෂ්ට එක්දින ජයග්‍රහණයක ඉඟියක් ලබා දෙමිනි.

​ශ්‍රී ලංකාව ලෝක විස්සයි විස්ස ශූරයන් අභිබවා ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (3) නිකුත් කරන ලද නවතම විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලේඛනයට …

ඊයේ දිනයේ සුපිරි එංගලන්ත පිතිකරුවන් වන ජෝ රූට් සහ ඔයින් මෝගන් වැනි ක්‍රීඩකයින් ද තනි ඉලක්කමේ ලකුණු වලට සීමා විය. කඩුලු 6ක් බිඳ වැටුණු මොහොතේ පිටියේ ඉතිරි වූයේ තම මංගල තරගයට ක්‍රීඩා කරන බෙන් ෆෝක්ස් සහ යොවුන් ක්‍රීඩක ටොම් කරන් පමණි.

එංගලන්තය වෙනුවෙන් මීළඟට පිටියට පැමිණෙන්නට සිටියේ අඩිල් රශීඩ් වූ නිසාත් ජයග්‍රහණයට ඔවුන් ලකුණු 98ක් පිටුපසින් සිටි නිසාත් මෙම සබඳතාවය බිඳ දැමුවා නම් අයර්ලන්තයට ජයග්‍රහණයේ දොරටු විවර වන්නට බොහෝ ඉඩකඩ පැවතුනි. කෙසේවෙතත් දෛවයේ සරදමකට මෙන් තරග නිමාව දක්වාම මෙම සබඳතාවය බිඳ දැමීමට ඔවුන්ට ඉඩක් ලැබුනේ නැත. අවසානයේ අයර්ලන්තය අත තිබූ තරගය උදුරා ගත් එංගලන්ත පිළ පන්දුවාර 3ක් ඉතිරිව තිබිය දී ම තරගය ජය ගැනීමට සමත් විය.

තම මංගල එක්දින තරගයේ දීම සුපිරි ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කළ බෙන් ෆෝක්ස් ඊයේ නොදැවී ලකුණු 61ක් ලබා ගත්තේ පන්දු 76කට මුහුණ දෙමිනි. ඔහුගේ අංග සම්පූර්ණ ඉනිම හතරේ පහර 3කින් සහ එක් හයේ පහරකින් හැඩවිය. ඔහුට විශිෂ්ට සහයක් ලබා දුන් ටොම් කරන් ලකුණු 47ක් නොදැවී ලබා ගත්තේ හතරේ පහර 5ක් එල්ල කරමිනි. පන්දු යැවීමේ දී අයර්ලන්තයට ජය අත්කර දීමට වෙහෙස මහන්සි වූ ජොශුවා ලිට්ල් කඩුලු 4ක් දවා ගත්තේය. මෙම තරගයේ දී දස්කම් දැක්වූ බොහෝමයක් දෙනා තම මංගල තරගයට ක්‍රීඩා කළ අය වූ බැවින් මෙය “නවකයින්ගේ සටනක්” ලෙස හැඳින්විය හැකිය.

අයර්ලන්තය – සියල්ලන්ම දැවී ලකුණු 198 (පන්දුවාර 43.1): පෝල් ස්ටර්ලින් 33, මාර්ක් අඩේර් 32, ඇන්ඩි බැල්බර්නි 29, ජෝර්ජ් ඩොක්රල් 24, විලියම් පොටර්ෆීල්ඩ් 17, ටිම් මර්ටා 12, ලියාම් ප්ලන්කට් 4/35, ටොම් කරන් 3/35, ජෝ ඩෙන්ලි 1/24.

එංගලන්තය – කඩුලු 6ක් දැවී ලකුණු 199 (පන්දුවාර 42): බෙන් ෆෝක්ස් 61*, ටොම් කරන් 47*, ඩේවිඩ් මාලන් 24, ඩේවිඩ් විලී 20, ජේම්ස් වින්ස් 18, ජොශුවා ලිට්ල් 4/45, ටිම් මර්ටා 1/29.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<