දෙවන වටයේ තෙවන සතියේ වෙනස් තරග දෙකක්

793
Rugby Week 10
කොළඹ සටනින් CR ට පහසු ජයක්

CR & FC ක්‍රීඩා සමාජය ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ සහභාගී වූ 3 වන තරගයෙන් උත්සාහක දිනුම් 10ක් සමඟ දැවැන්ත ජයක් වාර්තා කලේ CH & FC කණ්ඩායමට මෙවර තරග වාරයේ 10 වන පරාජයත් උරුම කර දෙමිනුයි.

පසුගිය ලිපි: ඩයලොග් රග්බි ලීග් 10 වැනි සතිය: මහනුවර සහ නාවික හමුදාව අතර ද්වන්ධ සටනක්

CR ක්‍රීඩාංගනයේ පැවති මේ තරගයට සත්කාරක කණ්ඩායම එක්වුණේ වෙනස්කම් 9ක් සමඟිනි. ප්‍රධාන ක්‍රීඩකයන් රැසක් විවේක ගන්වා මේ තරගයට ක්‍රීඩා කරන්නට CR පුහුණුකරු බෙන් මැක්ඩුගල් තීරණය කර තිබීම ඊට හේතුවයි.

CH කණ්ඩායමද වෙනස්කම් 7ක් සිදු කර තිබුණි. තරඟය ආරම්භ කර වැඩි කාලයක් ගත වීමට මත්තෙන් කවිඳු ද කොස්තා CR  කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කරමින් උත්සාහක දිනුමක් ලබා ගන්නට සමත් වූ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (CR 05-00 CH)

CR කණ්ඩායමට කහ කාඩ්පත් දෙකක් ලැබුණු නමුත් එම අවස්ථා දෙකේම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට CH ක්‍රීඩකයන් සමත් වුයේ නැත. පළමු අර්ධය තුල තවත් උත්සාහක දිනුම් තුනක් CR & FC කණ්ඩායමේ ලකුණු පුවරුවට එක් වෙද්දී ඉන් අවස්ථා දෙකක ප්‍රවර්තනද සාර්ථක විය.

පළමු අර්ධයේ ලකුණු තත්ත්වය : CR & FC 24 – CH & FC 00

සුපුරුදු පරිදිම දෙවන අර්ධයේදීත් CR කණ්ඩායමට කිසිදු අභියෝගයක් එල්ල කරන්නට CH ක්‍රීඩකයන් අසමත් වූ අතර ඉන් උපරිම ප්‍රයෝජන ගත් සත්කාරක කණ්ඩායම තවත් උත්සාහක දිනුම් 6කින් තම ලකුණු එකතුව තර කර ගන්නට සමත් විය.

ඒ අතරතුර CH කණ්ඩායමට හැකිවුණේ එක් ඩ්‍රොප් ගෝලයක් වාර්තා කිරීමට පමණි. චරණ සඳනායක දෙවන අර්ධයේ පළමු උත්සාහක දිනුමට හිමිකම් කී අතර එය සාර්ථකව ප්‍රවර්තනය කලේ රීසා මුබාරක් විසිනුයි. (CR 31-00 CH)

මරදාන සාන්ත ජෝසප් ආදි ක්‍රීඩකයන් වන තාරික් සාලි සහ චරණ සඳනායක තරඟයේ 6 වන සහ 7 වන උත්සාහක දිනුම් වලට හිමිකම් කියද්දී ඉන් පළමු අවස්ථාවේ ප්‍රවර්තනය සාර්ථකවත් දෙවැන්න අසාර්කථවත් එල්ල කලේ රීසා මුබාරක් විසින්මයි. (CR 43-00 CH)

55 වන මිනිත්තුවේදී CH කණ්ඩායමට නොසිතු ලෙස ලකුණු 3ක් එක් කරන්නට ෆ්ලයි හාෆ් ක්‍රීඩක රෝහිත රාජපක්ෂ හට හැකියාව ලැබුනේ දර්ශනීය ඩ්‍රොප් ගෝලයක් වාර්තා කරමිනුයි. (CR 43-03)

පළමු වරට මෙවර තරඟ වාරයේ අවස්තාවක් ලද අවිශ්ක හීන්පැල්ල CR කණ්ඩායම් කළමනාකාරීත්වයට තම තොර ගැනීම සාධාරණ බව පෙන්වන්නට හැකි වුනේ ප්‍රතිවාදීන් මුලා කරමින් ලබාගත් උත්සාහක දිනුමක් මාර්ගයෙනුයි. රීසා එයටත් අතිරේක ලකුණු එක් කරන ලදී. (CR 50- 03 CH)

රන්දිත වර්ණපුර සහ සහ අනුරාධ හේරත් CR කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරද්දී ඉන් අවසන් අවස්ථාව සාර්ථක කර ගන්නට ප්‍රවර්තන වගකීම භාර ගත් කුමාර සැමුවෙල්ට හැකියාව ලැබුණි. (CR 62-03 CH)

අවසන් ලකුණු තත්ත්වය: CR & FC 62  – CH & FC 03

ThePapare.com තරගයේ වීරයා: චරණ සඳනායක (CR & FC)

ලකුණු ලබාගත් ක්‍රීඩකයන්

CR & FC:

  • උත්සාහක දිනුම් – කවිඳු ද කොස්තා, රන්දිත වර්ණපුර (2) සමීර් ෆජුදීන්, රෙහාන් සිල්වා, චරණ සඳනායක (2), තාරික් සාලි, අවිශ්ක හීන්පැල්ල, අනුරාධ හේරත්
  • ප්‍රවර්තන – රීසා මුබාරක් (5), කුමාර සැමුවෙල් (1)

CH & FC:

  • ඩ්‍රොප් ගෝල – රෝහිත රාජපක්ෂ  (1)

අවසන් මොහොතේ පොලිස් ගැටයෙන් ගැලවුණු ගුවන් හමුදාව

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගනයේ පැවති දෙවන වටයේ තරඟයෙන් අවසන් මොහොතේ තියුණු ජයක් ලබන්නට සත්කාරක ගුවන් භටයන් සමත් විය. තරඟයේ අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ 15 – 13 ක් ලෙසින්.

මේ තරඟයේ පළමු මිනිත්තු 20 ගෙවී ගියේ ලකුණු සටහන් කරුවන්ට කිසිදු බාධා කිරීමකින් තොරවයි. කෙසේ වෙතත් පළමු අර්ධය තුලදීම තම ආධිපත්‍ය පතුරවන්නට පොලිස් ක්‍රීඩකයන් සමත් විය. ආරම්භයේ සිටම තරඟකාරී ක්‍රීඩා විලාශයකට පිවිසීමට නොහැකිව සටන් වැදුණු ගුවන් හමුදා කණ්ඩායමට 22 වන මිනිත්තුවේදී ක්‍රීඩකයෙක් අහිමි වුනේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක නුවන් පෙරේරා කහ කාඩ්පතක් ලැබීම හේතුවෙන්.

පොලිස් කණ්ඩායම තරඟයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කල අතර එය හිමි වුනේ රාජිත සන්සෝනි නිවැරදිව එල්ල කල දඬුවම් පහරක් මගිනුයි. (පොලිස් ක්‍රී. ස. 03 – ගුවන් හමුදා ක්‍රී. ස. 00)

ගුවන් හමුදා ක්‍රීඩකයන්ගේ නිමක් නොමැති දුර්වල ක්‍රීඩා විලාශයන්ගෙන් අවසානයේ ප්‍රයෝජනයක් ගන්නට පොලිස් ක්‍රීඩකයන් සමත් විය. ඒ මොහොමඩ් අබ්සාල් තම වේගය මනාව උපයෝගී කරගෙන වාර්තා කල උත්සාහක දිනුමකින්. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට ඔවුන් හට නොහැකි විය. (පොලිස් ක්‍රී. ස. 08 – ගුවන් හමුදා ක්‍රී. ස. 00)

ගුවන් හමුදාව පළමු අර්ධය අවසන් භාගය වන විට තම තරග රිද්මයට අවතීර්ණ වී සිටියද ඔවුන්ගේම දුර්වලතා හේතුවෙන් උත්සාහක දිනුම් රේඛාව පසු කරන්නට අසමත් විය. පොලිස් කණ්ඩායමටද තම වාසිය වර්ධනය කර ගැනීම සඳහා ලැබුණු අවස්තාවක් ගිලිහී ගියේ රාජිත සන්සෝනි හට නිවැරදිව එල්ල කිරීමට නොහැකි වූ දඬුවම් පහරක් හේතුවෙනුයි.

පළමු අර්ධය: පොලිස් ක්‍රී. ස. 08 – ගුවන් හමුදා ක්‍රී. ස. 00

දෙවන අර්ධය ආරම්භ වීමත් සමඟ ගුවන් හමුදා කණ්ඩායමෙන් ප්‍රබල ආරක්ෂක උපක්‍රම දක්නට ලැබුනද පොලිස් කණ්ඩායම නැවතත් උත්සාහක දිනුම් රේඛාව සොයා ගන්නට සමත් විය.

තරඟයේ 42 වන මිනිත්තුවේදී වාර්තා වූ මේ උත්සාහක දිනුමේ අයිතිය හිමි වුනේ රොමේෂ් ආරච්චිගේ හටයි. ඒ සමඟින් ලකුණු 13ක වාසියක් පොලිස් කණ්ඩායමට හිමි වුවත් ගුවන් භටයන් තරඟය අත් හැරීමට සූදානම්ව සිටියේ නැත. (පොලිස් ක්‍රී. ස. 13 – ගුවන් හමුදා ක්‍රී. ස. 00)

ගුවන් හමුදාව පළමු වරට තරගයට අභියෝගාත්මකව අවතීර්ණ වුනේ දෙවන අර්ධයේදී ආදේශක ක්‍රීඩකයකු ලෙස පිටියට පිවිසි සුපුන් මධුශංක වාර්තා කල උත්සාහක දිනුමක් මාර්ගයෙන්. එහි ප්‍රවර්තනයද සාර්ථක විය. (පොලිස් ක්‍රී. ස. 13 – ගුවන් හමුදා ක්‍රී. ස. 07)

ඊට මිනිත්තු 7කට පමණ පසු ඔවුන් හට මීටර් 40ක් පමණ දුරින් නමුත් පහසු කෝණයකින් හිමිවූ දඬුවම් පහරක්ද නුවන් පෙරේරා විසින් ගෝල කණු අතරින් එල්ල කලේ ලකුණු පරතරය තවත් ලකුණු 3කින් අඩු කරමිනුයි. (පොලිස් ක්‍රී. ස. 13 – ගුවන් හමුදා ක්‍රී. ස. 10)

ගුවන් හමුදාව දිගින් දිගටම එල්ල කල පීඩනය හමුවේ පොලිස් කණ්ඩායම කැළඹීමකට මුහුණ දී සිටි අතර එහි අවසන් ප්‍රතිඵලය වුනේ 77 වන මිනිත්තුවේදී ඔවුන් ගුවන් හමුදාවට දඬුවම් පහරක් ලබා දීමයි. කෙසේවෙතත් ලකුණු සම කිරීම සඳහා ලැබුණු මේ අගනා අවස්තාව නුවන් පෙරේරාට ගිලිහී යන ලදී.

එම අහිමිවීමෙන් පවා තරඟය අත්හැරීමට සූදානම් නොවූ ගුවන් භටයන් අවසන් මොහොත දක්වා තරඟයේ රැඳී සිටි අතර එහි ප්‍රතිඵලයක් ලෙස පොලිස් කණ්ඩායම අත තිබු පන්දුව සොරාගෙන විනිසුරුගේ තරඟ අවසන් සංඥාව නිකුත් වීමට ඔන්න මෙන්න තිබියදී උත්සාහක දිනුම් රේඛාව පසු කරන්නට දිනේෂ් වීරරත්න සමත් විය. කෙසේ වෙතත් අවසන් තත්ත්පරය තෙක් සටන අත් නොහැර පරාජයේ මරු කටින් ජයග්‍රහණය සොරා ගැනීමේ ගෞරවය සමස්ත ගුවන් හමුදා කණ්ඩායමටම හිමි විය යුතුයි.

අවසන් ලකුණු තත්ත්වය: පොලිස් ක්‍රී. ස. 13 – ගුවන් හමුදා ක්‍රී. ස. 15

ThePapare.com තරගයේ වීරයා – රදීෂ සෙනෙවිරත්න (පොලිස් ක්‍රී. ස.)

ලකුණු ලබාගත් ක්‍රීඩකයන්

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය:

  • උත්සාහක දිනුම්: සුපුන් මධුශංක – 1, දිනේෂ් වීරරත්න – 1
  • ප්‍රවර්තන: නුවන් පෙරේරා – 1
  • දඬුවම් පහර: නුවන් පෙරේරා – 1

පොලිස් ක්‍රීඩා සමාජය

  • උත්සාහක දිනුම්: මොහොමඩ් අබ්සාල් – 1, රොමේෂ් ආරච්චිගේ -1
  • දඬුවම් පහර: රාජිත සන්සෝනි -1

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට