ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන සති අන්තයේ පැවති තරග වල ප්‍රතිඵල වලට අනුව මෙවර තරගාවලිය බලාපොරොත්තු වූ මට්ටමටත් වඩා විවෘත ස්වභාවයකට පත්ව තිබේ. ඒ ගුවන් හමුදා කණ්ඩායම විසින් ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය පරාජය කිරීම හේතුවෙනුයි.

පසුගිය ලිපි: ඩයලොග් රග්බි ලීග් – පෙර විපරම – 2වන සතිය

වසර 33කට පසු ගුවන් හමුදාව ලැබූ මෙම වාර්තා ගත ජයග්‍රහණය හේතුවෙන් සති 16ක් පුරා මහනුවර කණ්ඩායම රැකගෙන සිටි ලීග් රග්බි ශූරතා ලකුණු සටහනේ පළමු ස්ථානයද ඔවුන්ට අහිමිව ගිය අතර ඉදිරි සති දෙකක කාලය මෙවර ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ තීරණාත්මක කාල පරිච්ඡේදයක් බවටද පත්ව තිබේ.

යුද හමුදා ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර තරගය

• දිනය – නොවැම්බර් 18 වන සිකුරාදා
• ආරම්භක වේලාව – පස්වරු 4.00
• ස්ථානය – තුරග තරග රග්බි ක්‍රීඩාංගනය – කොළඹ 07

Army Sports Club vs Kandy Sports Club

ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ලද අනපේක්ෂිත පරාජය හේතුවෙන් ශූරතා ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයද පූජා කිරීමට සිදුවූ මහනුවර ක්‍රීඩකයන් මෙම තරගයේදී තම සැලසුම් පිලිබඳ නැවත සිතා බලනු ඇත. කෙසේ වෙතත් යුද හමුදා කණ්ඩායම මෙම තරගයට එක්වන්නේ පසුගිය සතියේදී CH&FC කණ්ඩායමට එරෙහිව වාර්තා කල අගනා ජයග්‍රහණයෙන් ලද මානසික පිබිදීමේ වාසියද සමගයි.

2015/16 තරග වාරයේ ප්‍රතිඵල

  • පළමු වටය : මහනුවර ක්‍රී.ස. 44 – 08 යුද හමුදාව (නිත්තවෙල ක්‍රීඩාංගනයේදී)
  • දෙවන වටය : මහනුවර ක්‍රී.ස 19 – 08 යුද හමුදාව (රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගනයේදී)

පසුගිය වසරේ යුද හමුදා කණ්ඩායමේ ප්‍රබලතම තුරුම්පුවක් වූ ගයාන් සාලින්ද යලිත් ඔහුගේ සුපුරුදු දස්කම් අතරට පැමිණෙමින් සිටින බව තහවුරු වූයේ CH&FC කණ්ඩායමට එරෙහිව ඔහු සාර්ථක කරගත් දඬුවම් පහර සහ ප්‍රවර්තන ත්‍රිත්වය හේතුවෙනුයි. කෙසේවෙතත් මහනුවර කණ්ඩායමේ වේගවත් ධාවකයන් සමඟ ක්‍රීඩා කිරීමට සිදුවීම සාලින්ද හට මේ තරගයේ දී අතිරේක අභියෝගයක් වනු ඇත.

යුද හමුදා කණ්ඩායමේ පසුගිය සතියේ වීරයා වූ චමීර සිල්වා හට මෙම තරගයේදීත් තම කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙනයාම වෙනුවෙන් විශාල වගකීමක් පැවරී තිබේ. පසුගිය සතියේ උත්සාහක දිනුම් දෙකක් ලබාගත් චමීර මෙම සතියේදීත් ලකුණු ලැයිස්තුවට තම නම ඇතුලත් කර ගැනීමටත් තම කණ්ඩායම ජයග්‍රාහී අවසානයක් වෙත ගෙන යාමටත් මහත් බලාපොරොත්තුවෙන් පසුවනු නොඅනුමානය.

මහනුවර කණ්ඩායම පසුගිය තරගය පරාජය වුවද එහිදී ෆාසීල් මරීජාගේ දායකත්වය කැපී පෙනුණු කරුණකි. උත්සාහක දිනුම් දෙකක් සඳහාම සිය සක්‍රීය දායකත්වය ලබාදුන් මරීජා මේ වනවිට ආබාධයෙන් සුවය ලබා කණ්ඩායමට එක්ව සිටීම මහනුවර කණ්ඩායමට මහත් ශක්තියකි.

ගුවන් හමුදාව සමග තරගයේදී තම සුපුරුදු දස්කම් අතරට පිවිසීමට නොහැකි වූ රිචර්ඩ් ධර්මපාල මෙම තරගය තම රිද්මයට අවතීරණ වීමේ තෝතැන්නක් කරගැනීමේ බලාපොරොත්තුවෙන් යුද හමුදා සටනට එක්වනු ඇත.

WATCH LIVE: ARMY SC V KANDY SC

Police SC vs Air Force SC

පොලිස් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

• දිනය – නොවැම්බර් 18 වන සිකුරාදා
• ආරම්භක වෙලාව – පස්වරු 4.00
• තරගය පැවැත්වෙන ස්ථානය – පොලිස් ක්‍රීඩාංගනය – බම්බලපිටිය

මහනුවර කණ්ඩායම පරාජය කරමින් අහස උසට ගොඩනැගුණු මානසික ශක්තිය ද සමගින් ගුවන් හමුදාව පොලිස් බලකොටුව වෙත ළඟා වන්නේ නොකඩවා දෙවන ජයග්‍රහණයත් වාර්තා කිරීමේ බලාපොරොත්තුව ඇතිවයි. පසුගිය තරග වාරයේදී දෙවරක්ම ගුවන් හුදාව පරාජය කල පොලිස් කණ්ඩායම මෙවර තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමේ අරමුණ ඇතිව මේ තරගයට පිවිසෙනු ඇත.

2015/16 තරග වාරයේ ප්‍රතිඵල

  • පළමු වටය : පොලිස් ක්‍රී. ස. 24 – 07 ගුවන් හමුදා ක්‍රී. ස.
  • දෙවන වටය : පොලිස් ක්‍රී. ස. 24 – 12 ගුවන් හමුදා ක්‍රී. ස.

ගුවන් හමුදා කණ්ඩායම මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව ලද ඉතිහාසගත ජයග්‍රහණයේ නියමුවා බවට පත් වූ  අශෝක් විජේකුමාර්, තරගයේ මුළු මිනිත්තු 80 පුරාම ස්ක්‍රම් හාෆ් ස්ථානයේ සිට තරගය පාලනය කලේ ඉතා විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමිනුයි. කෙසේවෙතත් පොලිස් කණ්ඩායම සමඟ ඔවුන්ගේ සත්කාරක ක්‍රීඩාංගනයේ තරග වැදීමේදී එම ක්‍රීඩාංගනයේ තත්ත්වයන්ට හැඩගැසෙමින් තම සුපුරුදු දස්කම් වෙත ලඟා වීම ඔහු හමුවේ ඇති අභියෝගයයි.

පසුගිය තරගයේදී වැඩිම ලකුණු ලාභියා වූ රාම්දාස් රුමේෂ් ගේ දස්කම් ද මෙම තරගයේදීත් එලෙසම පවතිනු ඇතැයි ගුවන් හමුදා කණ්ඩායම බලාපොරොත්තුවෙන් පසුවනු නොඅනුමානයි.

පොලිස් කණ්ඩායමේ ප්‍රබලතම තුරුම්පුව ලෙස සැලකෙන රදීෂ සෙනෙවිරත්න මෙම තරගය පොලිස් භටයන්ගේ පළමු ජයග්‍රාහී අත්දැකීම බවට පත් කරන්නට තම දස්කම් උපරිමයෙන් භාවිත කල හැකි ක්‍රීඩකයෙකි. ඔහුට ඉදිරි පෙළ ක්‍රීඩකයෙක් ලෙස මෙන්ම ත්‍රී-ක්වාටර් ක්‍රීඩකයෙකු ලෙසත් ලබා දිය හැකි දායකත්වය පසුගිය තරගයේදී පෙන්නුම් කලේ අංක 8 සහ ස්ක්‍රම් හාෆ් යන ස්ථාන දෙකේම ක්‍රීඩා කරමිනුයි.

සෙන්ටර් ක්‍රීඩක චූලා සුසන්ත හට පසුගිය සතියේ  තරගය එතරම් සුන්දර මතකයක් නොවූ නමුත්, මෙම තරගයේදී තම වේගවත් ධාවන කුසලතා ගුවන් හමුදාවට එරෙහිව යොදා ගැනීමේ නොඉවසිල්ලකින් පසු වනු ඇත.

හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ CR & FC ක්‍රීඩා සමාජය අතර තරගය

• දිනය – නොවැම්බර් 19 වන සෙනසුරාදා
• ආරම්භක වෙලාව – පස්වරු 6.30
• තරගය පැවැත්වෙන ස්ථානය – හැව්ලොක් ක්‍රීඩාංගනය – කොළඹ

Havelock SC vs CR & FC

කොළඹ නගරයේ සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් මෙවර තරගාවලියේ පලමු වරට එකිනෙකා මුණ ගැසෙන්නේ මෙවර තරගාවලියේ පළමු රාත්‍රී තරගයේදීයි. ඩයලොග් අන්තර් සමාජ ලීග් ශූරතා ලකුණු සටහනේ පෙරමුණේ පසුවන හැව්ලොක් ක්‍රීඩකයන්, තවමත් රිද්මය සොයමින් සිටින CR & FC කණ්ඩායමේ දුර්වල ස්ථාන වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ දරනු ඇති.

2015/16 තරග වාරයේ ප්‍රතිඵල

  • පළමු වටය : හැව්ලොක් ක්‍රී. ස.    34 – 18  CR & FC ක්‍රී. ස.
  • දෙවන වටය : හැව්ලොක් ක්‍රී. ස  26 – 21 CR & FC ක්‍රී. ස.

දුලාජ් පෙරේරා සෙන්ටර් ස්ථානයේ සිට ෆ්ලයි හාෆ් ස්ථානය දක්වා ස්ථාන මාරුවක් ලබා ගැනීම ඉතා හොඳ තීරණයක් බව පසුගිය සතියේදී තහවුරු විය. දුලාජ් එහිදී ප්‍රවර්තන 4ක් සහ දඬුවම් පහර 3ක් සාර්ථකව එල්ල කරන්නට සමත් විය. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් දෙකම නියෝජනය කරන ඔහු මෙම සති අන්තයේදීත් තම දස්කම් ඒ අයුරින්ම රඳවා ගැනීමට උත්සාහ දරනු ඇත.

හැව්ලොක්  ත්‍රී ක්වාටර් සැකසුම් ප්‍රහේලිකාවේ ගිලිහුණු කොටස වී සිටි චාමර දාබරේ පසුගිය තරගයේදී මීටර් 60 ක පමණ විශිෂ්ට ධාවනයකින් උත්සාහක දිනුමක් වාර්තා කල අතර ඔහුගේ වේගය CR කණ්ඩායමට එරෙහිව කෙසේ භාවිත කරයිද යන්න බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙන කරුණකි.

කවදත් CR&FC කණ්ඩායමේ ස්ථාවර ක්‍රීඩකයා වන රීසා මුබාරක් මේ තරගය තුළදීත් තම නොවරදිනසුළු පා පහරේ සවිය ලෝහිත බලකායට සපයන්නේ පසුගිය සතියේ පරාජයෙන් නැවත නැගී සිටීමේ බලාපොරොත්තුවද සමගින්. මුබාරක් පසුගිය සති අන්තයේදීත් දඬුවම් පහර දෙකක් සහ ප්‍රවර්ථනයක් නිවැරදිව එල්ල කළද එම තරගයේ ජය හිමිවුණේ නාවික හමුදා කණ්ඩායමටයි.

CR නායක ෂේන් සම්මන්දපෙරුම පළමු සති අන්තයේ දැක්වූ දස්කම් අතරට නැවත පිවිසෙමින් සිය කණ්ඩායම දෙවන ජයග්‍රහණය වෙත මෙහෙයවීමේ පෙරමුණ ගනු ඇති.

WATCH LIVE: HAVELOCK SC V CR&FC

Navy SC vs CH & FC

නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ CH&FC ක්‍රීඩා සමාජය අතර තරගය

• දිනය – නොවැම්බර් 20 වන ඉරිදා
• ආරම්භක වෙලාව – පස්වරු 4.00
• තරගය පැවැත්වෙන ස්ථානය – නාවික හමුදා ක්‍රීඩාංගනය – වැලිසර

සාර්ථක සති දෙකක ගමනකින් පසු නාවිකයන් තෙවන සති අන්තය තුළදීත් අපරාජිතව සිටීමේ අරමුණ ඇතිව මෙම තරගයට පිවිසෙන අතර  CH&FC කණ්ඩායම මෙවර තරග වාරයේදීත් සැලකිය යුතු දස්කම් අතරට පිවිසීමට නොහැකිව සිටීම හේතුවෙන් නාවික හමුදා කණ්ඩායමට මෙම තරගය එතරම් අභියෝගයක් නොවනු ඇත.

2015/16 තරග වාරයේ ප්‍රතිඵල

  • පළමු වටය   : නාවික හමුදා ක්‍රී. ස.  67 – 06   CH & FC ක්‍රී. ස.  
  • දෙවන වටය : නාවික හමුදා ක්‍රී. ස.  76 – 13   CH & FC ක්‍රී. ස.

නාවික හමුදා හුකර් ක්‍රීඩක දුලංජන විජේසිංහ පසුගිය තරගයේදී ස්ක්‍රම් අවස්ථා සහ ලයින් අවුට් වලදී පන්දුව පිටිය තුලට යොමු කිරීමේ ඉහල දස්කම් පෙන්වූ අතර මෙම තරගයේදීත් නාවික හමුදා ඉදිරි පෙළ ශක්තිමත් කිරීමට ඔහුගෙන් හිමිවන දායකත්වය පිලිබඳ ඉහල අවධානයක් යොමුව තිබේ.

ලොක් ෆොර්වඩ් ක්‍රීඩක නිවංක ප්‍රසාද් නාවික හමුදාවට වැදගත් ක්‍රීඩකයෙක් වන්නේ ඔහුගේ වේගය සහ ප්‍රතිවාදී සැලසුම් විනාශ කල හැකි ශක්තිය හේතුවෙනුයි. ප්‍රතිවාදී කණ්ඩායම් වලින් පන්දුව ඩැහැ ගැනීමේ උපක්‍රම වර්ධනය කර ගැනීම සඳහා මෙම තරගය ඔහුට හොඳ අවස්තාවක් වෙයි.

පසුගිය වසරේ  CH & FC කණ්ඩායමේ කැපී පෙනුණු ක්‍රීඩකයා වූ ජනිත් චන්දිමාල් මම තරගයේදී උත්සාහ දරනු ඇත්තේ තම කණ්ඩායම ගෞරවනීය ලකුණු තත්ත්වයක් වෙත ගෙන යන්නටයි.

දැවැන්ත නාවික හමුදා ඉදිරි පෙළ ක්‍රීඩකයන් පාලනය කිරීමේ වගකීම ඉටු කිරීම සඳහා CH කණ්ඩායමට නැවත එක්ව සිටින රිෆ්කාන් සිද්ධික් හට තම ක්‍රීඩා විලාශය හැකි ඉක්මනින් යථා තත්ත්වයට වර්ධනය කර ගන්නට සිදු වනු ඇති.