හෂිකගේ සුපිරි ඉනිම ධර්මරාජ බලාපොරොත්තු සුන් කරයි

1286

113 වැනි වරටත් පැවති මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර “කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය” අද (16) ජය පරාජයෙන් තොරව අවසන් විය. හෂික ගමගේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ධර්මරාජයෙන් ජයග්‍රහණයේ බලාපොරොත්තු ඉවතට රැගෙන ගියේ දෙවන දිනයේ ගෞරව සියල්ල කිංග්ස්වුඩ් විද්‍යාලයට හිමි කර දෙමිනි.

කෙසේ වෙතත් තරගයේ පළමු දිනය සුපිරි ලෙස ක්‍රීඩා කළ ධර්මරාජ ක්‍රීඩකයෝ 113 වැනි සුලෝහිත සංග්‍රාමයේ පළමු ඉනිම ජය ගැනීමට සමත් වූ අතර දෙවන දිනයේ දී ධර්මරාජ පන්දු යවන්නන්ට එතරම් සාර්ථක වීමට හැකි වූයේ නැත.

ධර්මරාජ නායකයා සුපිරි ඉනිමක් සමඟින් ජයග්‍රහණයේ බලාපොරොත්තු දල්වයි

ශ්‍රී ලංකාවේ පාසල් මහා ක්‍රිකට් තරග අතරින් පැරණිතම එකක් වන මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර පැවැත්වෙන “කන්ද උඩරට සුලෝහිත…

දෙවන දිනය ආරම්භ වන විට ධර්මරාජ පළමු ඉනිමේ ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු දෙකකට ලකුණු 125ක් ලෙසයි. නායක සචින්ත නොදැවී ලකුණු 71ක් රැස් කරගෙන සිටියේය.

කෙසේ වෙතත් අද දිනයේ උදෑසනම සිය කඩුලු දඩයම ආරම්භ කළ කිංග්ස්වුඩ් මහත්වරු සචින්ත සේනානායක ලකුණු 77කට නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් විය. ලක්මාල් ද සිල්වා එම කඩුල්ල සිය කණ්ඩායමට ලබා දෙද්දී ලකුණු දෙකක් තුළ ඔවුන්ගේ දෙවන කඩුල්ලත් බිඳ වැටුණේ මිතිල ගයාශාන් සිව්වැනි කඩුල්ල ලෙස ලකුණු නොලබා ක්‍රීඩාගාරයට යාමත් සමඟයි.

Photos: Dharmaraja College vs Kingswood College – 113th Battle of the Maroons – Day 2

අනතුරුව කිංග්ස්වුඩ් නායක දීඝායු බණ්ඩාර හා ලක්මාල් ද සිල්වා තරගයට පිවිසුණේ ධර්මරාජ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරමිනි. යසිත සමරරත්න දීඝායුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් නැවත ක්‍රීඩාගාරයට ගිය අතර කසුන් ගුණවර්ධන පිටියෙන් ඉවත් වූයේ දීඝායුගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.

දිවා ආහාරය සඳහා තරගය නවත්වන විට ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 7 කට ලකුණු 212ක් ලෙසයි.

නවිඳු දිල්ශාන් හත්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වෙද්දී අටවැනි කඩුල්ල සඳහා පිටියේ එක්වූ ධනුක මාරසිංහ හා විරාජිත් ඇහැළේපොළ ධර්මරාජ ලකුණු පුවරුව ලකුණු 246ක් දවා ඉදිරියට ගෙන ගියේ කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් ලකුණු 104කින් පසුපසට ඇද දමමිනි.

(T. B තෙන්නකෝන් කුසලානය 1958 වසරෙන් පසුව 61 වැනි වතාවටත් ධර්මරාජ කන්දේම තබා ගන්නට ධර්මරාජ කණ්ඩායම සමත් විය.)

ලක්මාල් ද සිල්වාගේ පන්දුවක් හමුවේ විරාජිත් ලකුණු 40කට ක්‍රීඩාගාරයට යද්දී ධර්මරාජ නායක සචින්ත සේනානායක ධර්මරාජ පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර ඒ වන විට කඩුල්ලේ නොදැවී සිටි ධනුක මාරසිංහ ලකුණු 32ක් රැස්කර ගෙන සිටියේය.

ධර්මරාජ විද්‍යාලයේ පළමු ඉනිම 246 – 8 (78.5) සචින්ත සේනානායක 77, විරාජිත් ඇහැලේපොල 40, දුලාජ් බණ්ඩාර 37, ධනුක මාරසිංහ 32*, දීඝායු බණ්ඩාර 3/68, ලක්මාල් ද සිල්වා 4/72

දිවා ආහාරයෙන් පැයකට භාගයකට පමණ පසුව කිංග්ස්වුඩ් පිතිකරුවන් සිය දෙවන ඉනිම ආරම්භ කළේ ලකුණු 104ක් පසුපසින් සිටිමිනි. ධර්මරාජ ක්‍රීඩකයින්ගේ අපේක්ෂාව වූයේ කිංග්ස්වුඩ් ඉනිම හැකි ඉක්මනින් අවසන් කර තරගය ජය ගැනීම වූවත් ධර්මරාජ බලාපොරොත්තු සුනුවිසුනු කරමින් හෂික ගමගේ සුපිරි ඉනිමක් දියත් කළේ ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමිනි.

කන්ද උඩරට සුලෝහිත කුසලානය ලේක්වීව් කන්දට ද? පැවිලියන් පාරට ද?

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය අතර 113 වැනි වරටත් පැවැත්වෙන කන්ද උඩරට සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 16 සහ 17 දෙදින…

හෂික ගමගේ හා විනුක පුස්සපිටිය ඉනිම ආරම්භ කිරීමට පිටියට පැමිණියත් විනුක හට පිටියේ ස්ථාවර වීමට ධර්මරාජයේ ප්‍රධානතම පන්දු යවන්නා උපේන්ද්‍ර ඉඩක් ඉතිරි කළේ නැත. විනුක ලකුණු 16කට දැවී ගිය අතර දුමිඳු ධනිෂ්ක ලකුණු නොලබා ආපසු හැරී ගියේ තුෂාන් හේරත්ගේ පන්දුවක් හමුවේ ලකුණු පුවරුව 35කට කඩුලු දෙකක් බවට පත් කරමිනි.

කිංග්ස්වුඩ් කණ්ඩායම වැටුණු පීඩනයෙන් ගොඩ ගත් හෂික අලංකාර පහරවල් වලින් කිංග්ස්වුඩ් ලකුණු පුවරුව ලකුණින් ලකුණ ඉදිරියට ගෙන ගියේ ධර්මරාජ පන්දු රකින්නන් පිටියේ වෙහෙසට පත් කරමිනි.

(හෂික තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ධර්මරාජයේ ජයග්‍රහණ බලාපොරොත්තු සිය පිත්තෙන් සුනුවිසුනු කරමින්)

ඔහුට අනගි සහයක් වෙමින් හර්ෂණ වික්‍රමසිංහ ලකුණු 44ක් රැස් කළේ හෂික හා එක්ව ලකුණු 110ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නගමිනි. අවාසනාවන්ත ලෙස ශතකය පෙනෙන මානයේ හෂික ලකුණු 87කට දැවී ගියත් ඔහු පිටියෙන් පිටවන විට ඔහුත් සමඟම ධර්මරාජයේ සියලු ජයග්‍රහණ බලාපොරොත්තු පිටියෙන් ඉවතට රැගෙන යාමට ඔහු සමත් විය. එක් හයේ පහරක් හා හතරේ පහර හතකින් ඔහුගේ ඉනිම වර්ණවත් වූ අතර ඔහුට ශතකය අහිමි කිරීමට උපේන්ද්‍ර වර්ණකුලසූරිය සමත් විය.

ධර්මරාජ කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 246ක් රැස් කරමින් කිංග්ස්වුඩ් කණ්ඩායමට ලබා දුන් ලකුණු 104ක අභියෝගය සාර්ථකව ජය ගන්නට සමත් වූ ඔවුන් තවත් ලකුණු 74ක් ලකුණු පුවරුවට එක් කළේ දිනය නිමා වෙද්දී ලකුණු පුවරුව 182කට කඩුලු හතරක් බවට පත් කරමිනි.

සිව්වැනි කඩුල්ල ලෙස හර්ෂණ වික්‍රමසිංහ දැවී යද්දී තරගය නවතා දැමුණේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරමිනි. ඒ අනුව 113 වැනි කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර වත්මන් ශූර ධර්මරාජ විද්‍යාලයටම T. B තෙන්නකෝන් අනුස්මරණ කුසලානය හිමි විය.

(කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ දෙවන දිනයේ සියලු ගෞරව දිනාගත්තේ සුපිරි පිතිහරඹයක් සමඟින්)

තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ තරගයේ දිශාව සම්පූර්ණයෙන් වෙනස් කළ කිංග්ස්වුඩ් විද්‍යාලයේ ආරම්භක පිතිකරු හෂික ගමගේ ය. තරගයේ දක්ෂතම පිතිකරුවා, පළමු ඉනිමේ ලකුණු 77ක් රැස් කළ ධර්මරාජ විද්‍යාලයේ නායක සචින්ත සේනානායක සම්මාන දිනා ගනිද්දී, දක්ෂතම පන්දුයවන්නා වූයේ තරගය පුරා කඩුලු හයක් බිඳ දැමූ ධර්මරාජ විද්‍යාලයේ උපේන්ද්‍ර වර්ණකුලසූරියයි. දක්ෂතම පන්දු රකින්නා කිංග්ස්වුඩ් විද්‍යාලයේ හර්ෂණ වික්‍රමසිංහ.

කිංග්ස්වුඩ් පළමු ඉනිම 142 – 10 (50.3) විනුක පුස්සපිටිය 30, හෂික ගමගේ 21, හර්ෂණ වික්‍රමසිංහ 21, දිඝායු බණ්ඩාර 19, තුෂාන් හේරත් 29/3, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 44/3, යසිත් සමරරත්න 27/3

ධර්මරාජ විද්‍යාලයේ පළමු ඉනිම 246 – 8 (78.5) සචින්ත සේනානායක 77, විරාජිත් ඇහැළේපොළ 40, දුලාජ් බණ්ඩාර 37, ධනුක මාරසිංහ 32*, දීඝායු බණ්ඩාර 3/68, ලක්මාල් ද සිල්වා 4/72

කිංග්ස්වුඩ් විද්‍යාලය දෙවන ඉනිම 182 – 4 හෂික ගමගේ 87, හර්ෂණ සේනානායක 44, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 2/58

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<