ධර්මරාජ නායකයා සුපිරි ඉනිමක් සමඟින් ජයග්‍රහණයේ බලාපොරොත්තු දල්වයි

113 වන කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය

450

ශ්‍රී ලංකාවේ පාසල් මහා ක්‍රිකට් තරග අතරින් පැරණිතම එකක් වන මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර පැවැත්වෙන “කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය” අද (15) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. 113 වැනි වරටත් පැවැත්වෙන කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ධර්මරාජ විද්‍යාලය කඩුලු දෙකකට ලකුණු 125ක් රැස් කර ගෙන සිටියි.

කන්ද උඩරට සුලෝහිත කුසලානය ලේක්වීව් කන්දට ද? පැවිලියන් පාරට ද?

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය අතර 113 වැනි වරටත් පැවැත්වෙන කන්ද උඩරට…

කාසියේ වාසිය දිනා ගත් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ නායක සචිත්න සේනානායක ප්‍රතිවාදීන්ට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ආරම්භ කළේ ඔහුගේ ප්‍රබල පන්දු යැවීමේ බලඇණිය පිළිබඳ තිබූ දැඩි විශ්වාසය නිසාවෙනි. ධර්මරාජ පන්දු යවන්නෝ කිංග්ස්වුඩ් ඉනිම ලකුණු 142කට සීමා කළ අතර ධර්මරාජ ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 8 දී බිඳ වැටීමෙන් අනතුරුව ධර්මරාජ නායක සචින්ත සේනානායක හා දුලාජ් බණ්ඩාර ලකුණු 100 අනගි සබඳතාවක් ගොඩ නැගුවේ තරගය සම්පූර්ණයෙන්ම කිංග්ස්වුඩ් විද්‍යාලයෙන් ඉවතට රැගෙන යමිනි.  

ධර්මරාජ නායකයාගේ විශ්වාසය මදකට සලිත කරමින් කිංග්ස්වුඩ් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන විනුක පුස්සපිටිය හා හෂික ගමගේ පළමු පන්දුවේ සිටම ප්‍රබල ප්‍රහාරයක් දියත් කළේ පළමු කඩුල්ලට ලකුණු 49ක් එකතු කරමිනි.

ලකුණු 50හේ සබඳතාව පෙනෙන මානයේ සිටි කිංග්ස්වුඩ් ආරම්භක පිතිකරුවන්ගෙන් උපේන්ද්‍ර වර්ණකුලසූරියගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූයේ ලකුණු 21ක් රැස්කර ගෙන සිටි හෂික ගමගේ ය.

අනතුරුව පිටියට පිවිසි දුමිඳු ධනිෂ්ක දැවැන්ත පහරක් සමඟින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළත් පන්දු පහක් තුළ ලකුණු හයකට ඔහුව නැවත ආපසු ක්‍රීඩාගාරයට හරවා යවන්නට තුෂාන් හේරත් සමත් විය. අනතුරුව පිටියේ එකතු වූ විනුක හා හර්ෂණ වික්‍රමසිංහ ලකුණු පුවරුව ලකුණු 83ක් දක්වා ඉනිම ගෙන එන්නට සමත් වූ නමුත් කෙටි කාලසීමාවක් තුළ ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වූ ධර්මරාජ දඟපන්දු යවන්නෝ ලකුණු 16ක් තුළ කිංග්ස්වුඩ් කඩුලු හතරක් දවා ගන්නට සමත් විය. විනුක පුස්සපිටිය කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 30ක් රැස් කරද්දී, යසිත් සමරරත්න ඔහුව නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් විය.

Photos: Dharmaraja College vs Kingswood College – 113th Battle of the Maroons | Day 1

යසිත්ගේ දෙවන කඩුල්ල ලෙස ඉසුරු දයානන්ද අතට උඩ පන්දුවක් ලබා දුන් දේවින්ද දිසානායක ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූ අතර උපේන්ද්‍ර වර්ණකුලසූරිය යැවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් අගනා ලකුණු 21කට පසු හර්ෂණ වික්‍රමසිංහට ආපසු ක්‍රීඩාගාරයට හැරී යන්නට සිදු විය.

දිවා ආහාරය සඳහා තරගය නවත්වන විට ධර්මරාජ විද්‍යාලය තරගයේ වැඩි වාසි දිනාගෙන සිටියේ ලකුණු 98කට කිංග්ස්වුඩ් කඩුලු පහක් දවා ගනිමිනි. නැවත තරගය ආරම්භ වීමෙන් අනතුරුව හයවැනි කිංග්ස්වුඩ් කඩුල්ල බිඳ වැටුණේ අචල බෝගොඩවත්ත ලකුණු 13කට පිටියෙන් ඉවත් කිරීම සමඟයි. කඩුල්ල අසල පන්දු රකින්නන් සිව්දෙනෙක් රැඳවූ ධර්මරාජ නායකයා සිය දඟපන්දු යවන්නන්ගෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ කිංග්ස්වුඩ් කණ්ඩායමට උපරිම පීඩනයක් එල්ල කරමිනි.

කෙසේ වෙතත් හත්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසුණු කිංග්ස්වුඩ් නායක දීඝායු බණ්ඩාර වේගවත් ඉනිමක් දියත් කළේ පිටිය පුරා ලකුණු රැස් කරමිනි. ඔහු හා එක්වූ කේෂාන් කෙවින් කිංග්ස්වුඩ් ලකුණු පුවරුව ලකුණු 100 සීමාවෙන් එපිටට රැගෙන ඒමට සමත් විය.

තුෂාන් හේරත්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව කේෂාන් පිටියෙන් ඉවත් වූයේ ලකුණු 14කටයි. දීඝායුටත් දීඝායු වළඳන්නට තුෂාන් ඉඩක් ඉතිරි නොකළ අතර දුලාජ් පෙරේරාගේ අනර්ඝ පන්දු රැකීමක් නිසා දිඝායු වටිනා ලකුණු 19කට පසු පිටියෙන් ඉවත් විය.

අවසන් කඩුලු ද්විත්වය ලකුණු දහයක් තුළ දැවී ගිය අතර උපේන්ද්‍ර වර්ණකුලසූරියගේ පන්දුවක් හමුවේ තුෂාන් අතට උඩ පන්දුවක් ලබා දුන් ලක්මාල් ද සිල්වා ලකුණු නොලබා පිටියෙන් ඉවත් වෙද්දී, අවසන් කඩුල්ල දවා ගැනීමට පැමිණි විරාජිත් ඇහැළේපොළගේ අතටම උඩ පන්දුවක් ලබා දී උත්පල ජයලත් ලකුණු 9කට පිටියෙන් ඉවත් විය.

අගනා පන්දු යැවීමක නිරත වූ ධර්මරාජ දඟපන්දු යවන්නන් තිදෙනා, උපේන්ද්‍ර වර්ණකුලසූරිය, තුෂාන් හේරත් හා යසිත් සමරරත්න කඩුලු තුන බැගින් දවා ගන්නට සමත් විය.

ධර්මරාජ පළමු ඉනිම ආරම්භ කිරීම සඳහා පිටියට පිවිසුණේ නායක සචින්ත සේනානායක හා ඉසුරු දයානන්ද යි. කිංග්ස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රබල වේගපන්දු යවන්නන් දෙදෙනා වන හර්ෂණ වික්‍රමසිංහ හා උත්පල ජයලත් පළමු පන්දුවාර කිහිපයේ දී ප්‍රබල පීඩනයක් එල්ල කළ අතර නායක දීඝායු බණ්ඩාර ධර්මරාජ ආරම්භක පිතිකරු ඉසුරු දයානන්ද එක් ලකුණකට නැවත ක්‍රීඩාගාරයට හරවා යැව්වේ අලංකාර පන්දු යැවීමක නිරත වෙමිනි.  

නායක සචින්ත සේනානායක හා පිටියේ එක්වූ දුලාජ් බණ්ඩාර කිංග්ස්වුඩ් පන්දු යවන්නන් සම්පූර්ණයෙන්ම සියතට ගනිමින් සෙමෙන් සෙමෙන් ඉනිම ගොඩ නැගුවේ කිසිදු කලබලයකින් තොරවයි.

නායක සචින්ත සේනාරත්න ලකුණු 27ක් රැස් කර ගෙන සිටිය දී මහදුල් එදිරිවීරගේ පන්දුවකට ලබා දුන් පහසු උඩ පන්දුවක් කඩුලු රකින ක්‍රීඩක අචල බෝගහවත්ත අතහැරියේ අවාසනාවන්ත ලෙසයි. ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් සචින්ත අලංකාර හතරේ පහර 7ක් සමඟින් ලකුණු පනහේ සීමාව ඉක්මවා ගියේ ඉතා ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමිනි. සේනාරත්නගේ ඉවසිලිවන්ත ඉනිමට අනගි සහයක් ලබා දුන් දුලාජ් බණ්ඩාර දිනයේ අවසන් පන්දු වාරයේ දී ලකුණු 37කට දැවී ගියේ අවාසනාවන්ත ලෙසයි.

කිංග්ස්වුඩ් පන්දු යවන්නන්ට සිත්සේ පහර දුන් ධර්මරාජ නායක සචින්ත දිනය අවසානයේ ලකුණු 71ක් රැස්කර ගෙන සිටියේ කණ්ඩායමේ ජයග්‍රහණ බලාපොරොත්තු දල්වමිනි. දිනය නිමා වන විට ධර්මරාජ පළමු ඉනිම දැක්වූයේ කඩුලු දෙකක් දැවී ලකුණු 125ක් ලෙසයි.  

කිංග්ස්වුඩ් පළමු ඉනිම 142 – 10 (50.3) විනුක පුස්සපිටිය 30, හෂික ගමගේ 21, හර්ෂණ වික්‍රමසිංහ 21, දිඝායු බණ්ඩාර 19, දීඝායුතුෂාන් හේරත් 29/3, උපේන්ද්‍ර වර්ණකුලසුරිය 44/3, යසිත් සමරරත්න 27/3

ධර්මරාජ පළමු ඉනිම 125 -2 (41.5) සචින්ත සේනානායක 71*, දුලාජ් බණ්ඩාර 37, දීඝායු බණ්ඩාර 1/25, දේවින්ද 1/25       

කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ දෙවන දිනය හෙටත් (16) සජීවීව ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<