ධර්මරාජය නිතරගයෙන්ම අර්ධ අවසන් තරගයට

312

ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තකා කොළඹ රාජකීය විද්‍යාලය, මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියට සහභාගී නොවීමට තීරණය කිරීමත් සමඟ මහනුවර ධර්මරාජ විද්‍යාලයට නිතරගයෙන්ම අර්ධ අවසන් පූර්ව වටයෙන් එපිටට යෑමේ වරම හිමි වී ඇත.

මින් සති දෙකකට පෙරාතුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින් ලීග් රග්බි ශූරතාවය දිනාගත් රාජකීය විද්‍යාලය විසින් පසුගිය සතියේ දී බ්‍රැඩ්බි පළිහේ අයිතිය ද තමා සතුකර ගැනීමට සමත් විය. ThePapare.com සමඟින් විශේෂ අදහස් දැක්වීමකට එක්වූ රාජකීය විද්‍යාලයීය විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා මෙසේ පැවසීය.

“ක්‍රීඩකයන් 8 දෙනෙකුට බරපතල ආබාධ තත්වයන් උද්ගතව තිබීම හේතුවෙන් මමත්, රග්බි භාර ආචාර්යතුමාත්, පුහුණුකරුවනුත් එක්වී කතාබහ කොට මේ තීරණය ගනු ලැබුවා. අපි තීරණය කළා තරග නොකොට තරගාවලියෙන් ඉවත් වෙන්න.”

මයිලෝ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ දී මෑතක ලත් ශූරතා ජයග්‍රහණයක් නැතත් රාජකීයයන් සෑම විටම දක්ෂතා අතර සිටි තරගාවලියක් ලෙස මෙම තරගාවලිය සඳහන් කළ හැක. 2014 සහ 2016 වසරවල දී අවසන් තරගයට ක්‍රීඩා කළ රාජකීයයන්, 2015 දී අවසන් පූර්ව තරගය තෙක් පැමිණියේය.

රාජකීය විද්‍යාලය මෙම තරගාවලියෙන් ස්වකැමැත්තෙන් ඉවත්වීමත් සමඟින් ධර්මරාජ විද්‍යාලයට සෘජුවම අවසන් පූර්ව වටයේ ඉඩ විවර විය. වෙස්ලි සහ සාන්ත ජෝසප් කණ්ඩායම් ද්විත්වය අතර පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයන් එහි දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වීමට නියමිතයි.

ලීග් තරගාවලියේ පළමු වටයේ දී තරගකාරී මට්ටමක සිටි ධර්මරාජ විද්‍යාලයට ජයග්‍රහණ ලැබීමේ දී පමණක් අපහසුවක් පැවතිණි. කෙසේ වෙතත් බඳුන තරගාවලිය තුළ දී දෙවන ස්ථානයට පත්වන්නට ඔවුන්ට හැකිවූයේ සාන්ත අන්තෝනි විද්‍යාලය හා සම ලකුණු මට්ටමක සිටිමිනි.

“ලීග් එකේ රැඳෙන්න අවශ්‍ය තරම් ජයග්‍රහණ ලබා ගැනීමට අපට නොහැකි වුනා. ඒත් බඳුන ශූරතා වටයේ දෙවන තැන ගන්නට අපට හැකි වුනා. මේ පාර පිළිමළුන් පිටුදැකීමේ ශූරතාවය මහනුවරට ගෙනයන්න උපරිමයෙන් මහන්සි වෙනවා.” ධර්මරාජ විද්‍යාලයීය රග්බි නායක චාමික පෙරේරා, තරගාවලියට පෙර පැවති මාධ්‍ය හමුවේ දී පැවසුවේය.

ධර්මරාජ විද්‍යාලයීය කණ්ඩායම මෙවර තරගාවලියට එක්වන්නේ අනෙකුත් කණ්ඩායම් වලට සාපේක්ෂව නවක කණ්ඩායමක් ලෙසයි. වාසනාවත් සමඟින් අවසන් පූර්ව වටයේ අසුන් වෙන්කරගත් ඔවුන් තරගාවලියේ අවසානය තෙක් රැඳේවි ද? ඔබේ අදහස් පහතින් දක්වන්න.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට <<