අලි යුගලය එංගලන්තය ගෙදර යවයි; කුසලානය ආසියාවට!

208

ශ්‍රී ලංකාවට එරෙහිව අවසන් පූර්ව තරගයේ දී ඉතාමත් අපහසුවෙන් ජයග්‍රහණයක් අත්පත් කර ගත් පාකිස්තානු කණ්ඩායම ඊයේ (15) ජාත්‍යන්තර විචාරක අදහස් සියල්ල කණපිට හරවමින් පෙරළිකාර ජයක් හිමි කර ගත්හ. ඒ ශූරයින්ගේ කුසලානය දිනා ගැනීමේ වැඩිම අවස්ථාව ඇති බවට කියැවුණු සත්කාරක එංගලන්ත කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කරමිනි.

පන්දු රකින්නන්ගේ දෑත් අතරින් ශූරයින්ගේ කුසලානය බිම වැටෙයි

2017 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිළේ ගමන අවසන් කරමින් අද (12) කාඩිෆ් හිදී පැවති තරගයෙන් පාකිස්තානු කණ්ඩායම කඩුලු 3ක තියුණු ජයක් හිමිකර ගැනීමට සමත් වූහ.

මෙම අනපේක්ෂිත ජයග්‍රහණයේ පෙරගමන්කරුවන් බවට පත්වුණු හසන් අලි සහ අසාර් අලි පාකිස්තානු ප්‍රේක්ෂකයින් අතර වීරයින් බවට පත්විය. එංගලන්ත පරාජයත් සමඟින් ශූරයින්ගේ කුසලානය අනිවාර්යයෙන්ම පාකිස්තාන, ඉන්දියාව හෝ බංගලාදේශය යන ආසියානු රටවල් 3න් එකකට හිමි වනු ඇත.

කාඩිෆ් ක්‍රීඩාංගණයේ දී අතිශයින්ම වැදගත් වන සාධකයක් වන කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානු නායකයා මෙවරත් තීරණය කරන්නේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි. මීට පෙර ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයේ දී ද සෆ්රාස් අහමඩ් මේ අයුරින්ම ක්‍රියා කරමින් සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට සමත් විය. මෙම අතිශයින්ම වැදගත් අවසන් පූර්ව තරගයට එක්වන පාකිස්තානු කණ්ඩායමේ ප්‍රබල වෙනසක් සිදු කරමින් 25 හැවිරිදි රුමාන් රයිස් අත්හදා බැලීමට පාකිස්තානු කළමනාකාරිත්වය තීරණය කර තිබුණි. රයීස් මීට පෙර ක්‍රීඩා කර තිබුණේ අන්තර්ජාතික විස්සයි විස්ස තරග 2ක් පමණි. මීට අමතරව මූලික වටයේ තරග සඳහා සහභාගි නොවුණු ජොනී බේස්ට්‍රෝ ඊයේ එංගලන්ත කණ්ඩායමට එක්විය.

දින දෙකකට පෙර නිමාවුණු ශ්‍රී ලංකා තරගය සිහියට නගා ගත් පාකිස්තානු වේග පන්දු යවන්නන් ඊයේ දිනයේදීත් ඉහළ දක්ෂතා අතරට පැමිණීමට සමත් විය. ඒ වියළී, ඉරි තැලී ගිය කාඩිෆ් තණතීරුවෙන් ලබා ගත හැකි සුළු වාසියත් උකහා ගනිමිනි. ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයට බොහෝ සමානකම් දැක්වූ මෙම තරගයේ දීත් එංගලන්තය හොඳ ආරම්භයක් ලබා ගත්ත ද මැදපෙළ නොසිතූ පරිදි බිඳ වැටීමත් සමඟ පාකිස්තානු කණ්ඩායමට තරගයේ වැඩි වාසි හිමි විය. ආරම්භක පිතිකරු වශයෙන් අත්හදා බැලූ ජොනී බේස්ට්‍රෝ ඊයේ ලකුණු 43ක් ලබා ගත්ත ද එය පන්දු 57ක් වැ යවුණු තරමක් මන්දගාමී එකක් විය. අනෙක් අන්තයෙන් ඉනිම ඇරඹූ ඇලෙක්ස් හේල්ස් අවාසනාවන්ත ලෙස ලකුණු 13 දී දැවී ගියේය.

ඕනෑම ප්‍රතිවාදියෙකු හමුවේ ඕනෑම අවස්ථාවකට හැඩ ගැසී එංගලන්තයේ ගෞරවය රැක ගන්නා ජෝ රූට් ඊයේත් ලකුණු 46ක් රැස්කළ නමුත් ශදාබ් කාන්ගේ පන්දුවක් හමුවේ විශාල ඉනිමක් කරා යා නොහැකිව දැවී ගියේය. එම අවස්ථාවේ නායක ඔයින් මෝර්ගන් සහ බෙන් ස්ටෝර්ස් යම්කිසි සටනක් දීමට උත්සාහ කළ ද නැවත වතාවක් ක්‍රියාත්මක වුනු හසන් අලි ඔවුන් දෙදෙනාවම නැවතත් ක්‍රීඩාගාරයට හරවා යවමින් එංගලන්තයට දැවැන්ත හිසරදයක් බවට පත්විය. පාකිස්තානු කණ්ඩායමට මෙම තරගාවලිය පුරා තම වේග පන්දුවෙන් අපරිමිත මෙහෙවරක් ඉටු කළ ඔහු ඊයේ ජෝස් හැස්ල්වුඩ් අභිබවා යමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට ද පත්විය.

[rev_slider ct17-dsccricket]

එංගලන්තයේ අවසන් බලාපොරොත්තුව බවට පත්වූ ප්‍රහාරක පිතිකරු ජෝස් බට්ලර් ලකුණු 4කටත්, කණ්ඩායමේ තම මෙහෙවර වටහා නොගත් මොයින් අලිව ලකුණු 11කටත් දවා ගත් ජුනයිඩ් කාන් පාකිස්තානුවන්ට අවසන් තරගයට පිවිසීමට අවශ්‍ය අඩිතාලම දමා දුන්නේය. තම මව්බිමේ දී ම පාකිස්තානු වේග පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකාවටත් වඩා අසරණ වූ එංගලන්තය ඊයේ රැස්කළේ ලකුණු 211ක් පමණි. පන්දු යැවීමේ දී හසන් අලි කඩුලු 3ක් ද, රුමාන් රයීස් සහ ජුනයිඩ් කාන් කඩුලු 2 බැගින් ද දවා ගත්හ.

පන්දු යවන්නන් ලබා දුන් මෙම සාර්ථක ආරම්භය ජයග්‍රහණයකින් කෙළවර කළ පාකිස්තානු පිතිකරුවන් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 215ක් ලබා ගනිමින් එංගලන්තයට දරුණු පරාජයක් අත්කර දුන්හ. එහි දී ආරම්භක පිතිකරුවන් දෙපළ පළමු කඩුල්ල වෙනුවෙන්ම ශතක සබඳතාවයක් පිහිටුවීමට ද සමත් විය. තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණු අසාර් අලි පන්දු 100කින් ලකුණු 76ක් රැස් කළේය. ඒ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟිනි. අසාර්ට වඩා ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන ෆකාර් සමන් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57යි.

මෙම ආරම්භය ඉතාමත් පහසු ජයග්‍රහණයක් කරා පරිවර්තනය කළ බාබර් අසාම් (38*) සහ මොහොමඩ් හෆීස් පන්දුවාර 37යි එක් පන්දුවක් අවසානයේ ජයග්‍රහණය තහවුරු කළේ අනර්ඝ හතරේ පහරක් ආධාරයෙනි. තරගයේ වීරයා සම්මානය විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් එංගලන්තයට එරෙහිව පළමු වෙඩිමුරය දියත් කළ හසන් අලි දිනා ගත්තේය. ඒ අනුව පාකිස්තානු කණ්ඩායම අද (15) තරගය ජය ගන්නා කණ්ඩායමට එරෙහිව ලබන 18 වැනිදා ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් ඕවල් පිටියේ දී තරග වදිනු ඇත. අද තරගයෙන් ඉන්දියානු කණ්ඩායම ජය ගතහොත් 2007 වර්ෂයෙන් අනතුරුව මෙම සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් දෙදෙනා අතර ICC අවසන් මහා තරගයක දී ඇති වන සීතල යුද්ධයක් දැක බලා ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදාවනු ඇත.

එංගලන්තය – සියල්ලන්ම දැවී ලකුණු 211 (පන්දුවාර 49.5): ජෝ රූට් 46, ජොනී බේස්ට්‍රෝ 43, බෙන් ස්ටෝක්ස් 34, ඔයින් මෝර්ගන් 33, ඇලෙක්ස් හේල්ස් 13, මොයින් අලි 11, හසන් අලි 3/35, ජුනයිඩ් කාන් 2/42, රුමාන් රයීස් 2/44.

පාකිස්තානය – කඩුලු 2ක් දැවී ලකුණු 215 (පන්දුවාර 37.1): අසාර් අලි 76, ෆකාර් සමන් 57, බාබර් අසාම් 38*, මොහොමඩ් හෆීස් 31*, ජේක් බෝල් 1/37, අඩිල් රශීඩ් 1/54.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට