ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නායක ඇන්ජෙලෝ මැතිව්ස් හට ICC ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති පළමු තරගය පාදයේ ආබාධයක් නිසා අහිමි වූ අතර ඔහු මීළඟට මෙම මස (ජූනි) 08 වන දින ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගයට සහභාගී වීම සඳහා යහපත් සෞඛ්‍ය තත්වයක පසුවන බව වාර්තා වේ.

පසුගිය ලිපි:  පරාජයත් සමඟින් තහංචියක්

මැතිව්ස් අද (සඳුදා) සවස් වරුවේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ පුහුණු සැසියට පෙර පැවති යෝග්‍යතා පරීක්ෂණය සමත් විය. ඉන් අනතුරුව මැතිව්ස් පුහුණුවීම් කටයුතුවල ද නිරත වූ අතර එහි දී ඔහු නික් පෝතස් සමඟ පන්දු රැකීමේ පුහුණුවීම් කටයුතුවල මෙන්ම පිතිකරණ පුහුණුවීම් කටයුතුවල ද නිරත වී ඇත.

“මම දැන් සම්පූර්ණයෙන්ම වගේ සුවය ලබලා තිබෙන්නේ. නමුත් මට පන්දු යවන්න හැකිවෙන එකක් නැහැ. පසුගිය මාස හයක, අටක පමණ කාලය මට ගොඩක් අපහසු කාලයක් වුනා. මම පුළුවන් ඉක්මනින් නැවතත් සාමාන්‍ය තත්වයට එන්න උපරිමයෙන් උත්සාහ කළා. මගේ ශරීරය ඒකට හොඳින් ප්‍රතිචාර දැක්වූවා. ඔය වගේ දේවල් සාමාන්‍යයෙන් සිදු වෙනවා. ඒ වගේ අභියෝග වලට මුහුණ දෙන්න ඕන. දැන් මගේ ඉලක්කය මගේ කාර්යභාරය උපරිමයෙන් ඉටු කරන එක. කලින් තරගයට සහභාගී නොවී සිටීම අපහසු කාර්යයක් වුනා. නමුත් තිබුණු අවදානම් තත්වය නිසා කණ්ඩායම් කළමනාකාරිත්වය මාව ක්‍රීඩා කරවලා අවදානමක් නොගෙන ඉන්න තීරණය කළා.” මැතිව්ස් පැවසීය.

[rev_slider ct17-dsccricket]

දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයේ දී අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන් එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ උපුල් තරංග හට තරග දෙකක තරග තහනමක් පැනවීමට ICC ය තීරණය කළ අතර ඒ අනුව මැතිව්ස් ඔහු වෙනුවට කණ්ඩායමට එක්වෙනු ඇත. පසුගිය තරගයේ දී 6 වැනි ස්ථානයේ ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා මීළඟ තරගයේ දී නිරෝෂන් දික්වැල්ල සමඟින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරනු ඇත.

“ඒක කණගාටුදායක සිදුවීමක්. ඒකට කිසිම සමාවක් ලබා දිය නොහැකියි. මුළු කණ්ඩායම ම ඒකෙ වගකීම භාර ගත යුතුයි. කණ්ඩායමේ නායකයා කවුරු වුණත් ඔහු සමඟ සිටිමින් පන්දු රැකීමේ දී කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් ඔහුට සහාය විය යුතුයි. කණ්ඩායමේ නායකයාට වගකීම් රාශියක් පැවරිලා තිබෙනවා. මේ ගැටලුව අපිට අතීතයේ දීත් ඇතිවෙලා තිබෙනවා. නැවතත් එම ගැටලුවට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා. උපුල්ට ඊළඟ තරග දෙක අහිමි වීම කණ්ඩායමට ලොකු පාඩුවක්. ඔහු කණ්ඩායමට ඉතා වැදගත් ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු දකුණු අප්‍රිකාව සමඟ තරගයේ දීත් හොඳින් පන්දුවට පහර දුන්නා. මේ වගේ දෙයක් නැවත නොවෙන්න අපි වග බලා ගත යුතුයි.” ඔහු යටතේ උප නායකත්වය දරන උපුල් තරංග හට තරගාවලියේ මීළඟ තරග දෙක අහිමි වීම සම්බන්ධයෙන් මැතිව්ස් එසේ අදහස් දැක්වීය.

30 වන වියේ පසුවන මැතිව්ස් අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කළේ 2016 වසරේ අගෝස්තු මාසයේ දී ය. ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති තරගාවලියේ දී ය. කෙසේ වුවත් නැවතත් ඔහු කණ්ඩායමට එක්වීම තුළින් ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් වනු ඇත. එමෙන්ම අනිවාර්යයෙන් ජය ගත යුතු ඉන්දියාවට එරෙහි තරගයේ දී ඔහුගේ අත්දැකීම් අතිශය වැදගත් වනු නොඅනුමානය.

  • එංගලන්තයේ සිට එසැණින් පුවත් රැගෙන ඒම ThePapare.com හි දමිත් වීරසිංහ විසිනි –

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<