Skip to main content
විරල දේ අතර පුදුම දේ කළ චමින්ද වාස්

විරල දේ අතර පුදුම දේ කළ චමින්ද වාස්

Chamila Athukorala
14/05/2019

පිට පිට පන්දු 3ක දී කඩුලු 3ක් දවා ගන්නවා හෙවත් කඩුලු ත්‍රිත්වයක්, එහෙමත් නැත්නම් ක්‍රිකට් භාෂාවෙන් 'හැට්‍රික්' එකක් ගන්නවා කියන්නේ ලේසි පහසු දෙයක් නොවෙයි. එය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නම් සැලකෙන්නේ අතිශයින්ම අමාරු කර්තව්‍යයක් විදියට. එක්දින තරග ආරම්භ දශක 4කටත් වැඩි කාලයක් ගතවී තිබෙන මේ වකවානුවේ දී ලෝකයෙන්ම හැට්‍රික් වාර්තා වෙන්නේ 46ක් විතරයි. ඒකෙන්ම පේනවා හැට්‍රික් එකක් ගන්න කොච්චර අමාරු ද කියලා.

ක්‍රිකට් වෙනස් වුණු ලෝක කුසලානේ සංධිස්ථාන

දිනෙන් දින ලෝකය දියුණුවට පත්වනවා සේම ක්‍රිකට් ක්‍රීඩාව ද අදහා ගත නොහැකි පරිවර්තනයකට ලක්වී...

වාර්තාවලට අනුව නම් එක්දින තරග ආරම්භය සිද්ධ වෙලා තියෙන්නේ ලෝක කුසලාන තරගාවලියේ ආරම්භයත් එක්කම. ඒ කියන්නේ 1975 වසරේ ඉඳලා මේ දක්වා පැවති ලෝක කුසලාන තරගාවලි 11දීත් හැට්‍රික් අරන් තියෙන්නේ අවස්ථා 9ක දී විතරයි. ඒ 9න් 3කටම හිමිකම් කියන්නේ ශ්‍රී ලාංකික පන්දු යවන්නන් යුගලයක්. ඉන් දෙකකටම හිමිකම් කියන්නේ ලසිත් මාලිංග. අනිත් එක්කෙනා තමයි චමින්ද වාස්.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භය ළං වෙත්ම ගෙන එනු ලබන ලෝක කුසලාන ප්‍රත්‍යාවලෝකන ලිපි පෙළින් අපි මීට කලින් පිට පිට පන්දු 4ක දී මාලිංග දවා ගනු ලැබූ කඩුලු 4ක වාර්තාගත පන්දු යැවීම පිළිබඳව ගෙන ආවා. ඒ අනුව ඒ ලිපි පෙළේ 09 වැන්න ලෙසින් සටහන් තැබෙන මේ ලිපියෙනුත් සටහන් තැබෙන්නේ මාලිංග විසින් පිහිටුවනු ලැබූ ඒ සුවිශේෂී වාර්තාව වගේම සුවිශේෂී වාර්තාවක් පිළිබඳව.

මේකෙ කතා නායකයා වෙන්නේ වෙන කවුරුත් නොවෙයි චමින්ද වාස්. වාස්ගේ නම කිව්ව ගමන්ම මතක් වෙන්නේ, ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර බිහි වුණු විශිෂ්ටතම වේගපන්දු යවන්නා විදියටයි. එයාගේ දක්ෂතා ජාත්‍යන්තරයට සංසන්දනය කළාම වාස් දෙවැනි වන්නේ ක්‍රිකට් ලොව මෙදා තුර බිහි වූ විශිෂ්ටතම වමත් වේගපන්දු යවන්නා විදියට සැලකෙන පාකිස්තානයේ වසීම් අක්‍රම්ට විතරයි.

[caption id="attachment_2336217" align="alignleft" width="153"]Image removed. කඩුලු ත්‍රිත්වය ලබා ගැනීම වෙනුවෙන් යවන ලද පන්දුවක්[/caption]

එක්දින තරගවල දී ලෝකෙ වැඩිම කඩුලු ලබා ගත්ත පන්දු යවන්නා බවට පත්වෙලා ඉන්න අක්‍රම් කඩුලු 502ක් බිඳ හෙළලා වැඩිම කඩුලු ලාභීන් අතර ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවෙනවා. කඩුලු 534ක් දවාගෙන මුත්තයියා මුරලිදරන් පළවැනියා බවට පත්වෙලා ඉන්න ඒ ලැයිස්තුවේ වාස් ඉන්නේ සිව්වැන්නා විදියට. ඒ කඩුලු 400ක් දවා ගෙන.

වේගපන්දු යවන්නකු ගොඩක් වෙලාවට කඩුලු දවා ගන්න තම තුරුම්පුව විදියට යොදා ගන්නේ පන්දුවේ වේගය. වේගපන්දු යවන්නෙකු වුනත් කඩුලු දවා ගැනීමේ දී වාස් උපයෝගී කරගත්තේ ඔහුටම ආවේණික ක්‍රමයක්. ඒ දෝලනය ද සහිත වූ උපක්‍රමශීලීත්වය. ඒ දක්ෂතාවය නිසාම පළමු පන්දුවාරය තුළ කඩුලු ලබා ගැනීමට සමත් පන්දු යවන්නන් අතර වාස්ට තිබුණේ සුවිශේෂී ස්ථානයක් කියලා කිව්වොත් වැරදි නෑ. මොකද තරගයක මුල් පන්දුවාරයේ දී ඔහු අනිවාර්යයෙන්ම ප්‍රතිවාදී කඩුල්ලක් දවා ගැනීමට සමත් වන නිසා.

[caption id="attachment_2336220" align="aligncenter" width="750"]Image removed. කඩුලු ත්‍රිත්වයේ සතුටු කණ්ඩායම සමඟ බෙදා ගනිමින්[/caption]

මාලිංග වගේ වාස් පිට පිට පන්දු 4ක දී කඩුලු 4ක් දවා ගැනීමට සමත් නොවුනත් ඔහුගේ නම ඉදිරියෙන් සටහන් වී තිබෙන කඩුලු ත්‍රිත්වයත් ලෝක වාර්තාවක් විදියට අදටත් නොබිඳී පවතිනවා කිව්වොත් නිවැරදියි. ඒ දක්ෂතාව සටහන් වෙලා තියෙන්නේ තරගයක යවන ලද පළමු පන්දුවාරයේ පළමු පන්දු 3ක දී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමක් විදියට. කවුරු හරි සම කළොත් හැරෙන්නට ඒ කාටවත් බිඳ හෙළිය නොහැකි වාර්තාවක් විදියටයි ඒ වාර්තාව සටහන් වෙලා තියෙන්නේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු කඩුලු ත්‍රිත්වය ලබා ගත් පන්දු යවන්නන් අතර ප්‍රමුඛයා වන වාස්ට ඒ සුවිශේෂී වාර්තාවට හිමිකම් කීමට අවස්ථාව උදාවන්නේ 2003 වසරේ දී දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී. පෙබරවාරි 10 වැනිදා බංග්ලාදේශයත් එක්ක පීටර්මැරිට්ස්බර්ග්හි පැවති එම තරගයේ දී ශ්‍රී ලංකාව තරග වැදුණේ සනත් ජයසූරියගේ නායකත්වය යටතේ.

[caption id="attachment_2336221" align="aligncenter" width="750"]Image removed. කඩුලු ත්‍රිත්වයේ සතුට කණ්ඩායම සමග බෙදා ගනිමින්[/caption]

විනිසුරුගේ සංඥාවත් සමඟ පළමු පන්දුව යොමු කළ වාස්, ලෝක වාර්තාවකට හිමිකම් කියන ලද කඩුලු ත්‍රිත්වයේ පළමු ගොදුර විදියට දවා ගන්නේ ආරම්භක පිතිකරුවා වූ හන්නන් සර්කාර්ව. සිතා ගත නොහැකි තරමට වූ දෝලනයක් එක්ක  ආ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා සර්කාර්ට පිටියෙන් ඉවත් වන්නට සිදු වුනා.

අනතුරුව පිටියට ආවේ එවකට බංග්ලාදේශ පිලේ විශ්වාසවන්තම පිතිකරුවා වූ මොහොමඩ් අශ්රාෆුල්. ළාබාල වයසේ පසුවූ ක්‍රීඩකයෙකු වුනත්, ඒ වන විටත් සැලකිය යුතු මට්ටමේ දක්ෂතා දැක්වීමට සමත් වීම නිසා අශ්රාෆුල් ගැන බංග්ලාදේශය ගොඩක් බලාපොරොත්තු තබා තිබුණා. තියුණු ලෙසින් ඇඟ වෙතට දෝලනය වී ආපු වාස්ගේ දෙවැනි පන්දුවට කරකියාගත දෙයක් නොහැකි වූ අශ්රාෆුල් කළ හැකි එකම දෙය වුණේ පිත්ත හුවා දැක්වීම පමණයි. අවාසනාවන්ත විදියට ඒක උඩ පන්දුවක් විදියට වාස් විසින්ම රැක ගත්ත නිසා බංග්ලාදේශයට දෙවැනි කඩුල්ලත් අහිමි වුනා.

පළමු පන්දු 2 දී නොසිතූ අර්බුදයකට මුහුණ දීම නිසා ඊළඟට පන්දුවට පහර දෙන්න ආපු එසනුල් හක්ගේ හිතේ තිබුණේ කොහොම හරි කඩුල්ල ආරක්ෂා කරගෙන වාස්ට කඩුලු ත්‍රිත්වය ලබා ගැනීම අහුරන එක. ඒත් වාස් ඇතුළු කණ්ඩායම නම් කඩුලු ත්‍රිත්වය ලබා ගැනීමේ අදහස අත ඇරලා තිබුණේ නෑ. ඔවුන් කළේ පළමු පන්දු දෙකට සකසා තිබුණු පිටිය වෙනුවට තවත් පීඩනය යොමු වන ආකාරයට පිටිය සකස් කරන එක. ඒක නිසා ස්ලිප් ස්ථානයට පන්දු රකින්නන් තිදෙනෙකු සහ ගලී ස්ථානයට එක් පන්දු රකින්නකු යෙදවීමට ජයසූරිය කටයුතු කළා.

[caption id="attachment_2336222" align="alignright" width="201"]Image removed. සිව්වැනි පිතිකරුවා වූ සන්වාර් හොසේන් දවා ගැනීම වෙනුවෙන් කරන ලද ඉල්ලීම[/caption]

පිට ඉන්නට මදක් ඈතට වන සේ යොමු කරපු පන්දුව පැමිණි මාවතට අවතීර්ණ නොවී පිත්ත පමණක් හුවා දැක්වීම නිසා ජයසූරිය-වාස් දෙදෙනා එළපු දැලේ හක් අහු වුණේ ඔහුවත් නොදැන. පිටත දාරයේ වැදුණු පන්දුව උඩ පන්දුවක් විදියට දෙවැනි ස්ලිප් හි පන්දු රකිමින් සිටි මහේල ජයවර්ධන රැක ගැනීම නිසා පළමු පන්දු තුනේ දී කඩුලු ත්‍රිත්වයක්‌ ලබා ගත් ලොව පළමු පන්දු යවන්නා විදියට ලෝක වාර්තාවක් තියන්න වාස්ට අවස්ථාව උදා වුනා.

එපමණක් නොවෙයි. පළමු පන්දු 3 දී කඩුලු 3ක් දවා ගත්තා මදිවට එම පන්දුවාරයේ පස්වැනි පන්දුවටත් තවත් කඩුල්ලක් දවා ගනිමින් වාස් බංග්ලාදේශය අන්ත අසරණ කරලා දැම්මා. ඒ අවස්ථාවේ දී වාස්ගේ පන්දු හමුවේ දැවී ගියේ සන්වාර් හොසේන්. මුහුණ දුන්න පළමු පන්දුවටම හතරේ පහරකින් වාස්ට සංග්‍රහ කළ සර්කාර් පස්වැනි පන්දුවේ දී කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව දැවී යන විට බංග්ලාදේශ ඉනිම සටහන් වුනේ පන්දුවාරයක දී ලකුණු 5කට කඩුලු 4ක් විදියට.

[caption id="attachment_2336223" align="aligncenter" width="750"]Image removed. බංග්ලාදේශයට එරෙහිව ක්‍රියාත්මක කරන ලද වාර්තාගත පන්දුවාරයෙන් අනතුරුව ලකුණු පුවරුව සටහන් වූ ආකාරය[/caption]

ඒ තරගයේ දී පන්දුවාර 9කුත් එක් පන්දුවක් යවන චමින්ද වාස්ගේ පන්දු යැවීම සටහන් වුණේ නිලකුණු පන්දුවාර 2කුත් එක්ක ලකුණු 25කට කඩුලු 6ක් විදියට. එම සුපිරි පන්දු යැවීම නිසා බංග්ලාදේශ ඉනිම පන්දුවාර 31.1ක දී ලකුණු 124කට සීමා වුනා. කෙසේ වෙතත් එම තරගයෙන් කඩුලු 10ක ජයක් අත්කර ගන්න ශ්‍රී ලංකාවට හැකි වුනා.

මේ කඩුලු ත්‍රිත්වයට ලබා ගැනීමට පෙරත් වාස් එක්දින තරගවල දී වාස්ගේ නම ඉදිරියෙන් කඩුලු ත්‍රිත්වයක් ලියැවිලා තියෙනවා. ඒ 2001 වසරේ දී සිම්බාබ්වේ පිලට එරෙහිව ලබා ගත්ත කඩුලු ත්‍රිත්වය.  

ජාත්‍යන්තර තරගවල දී ශ්‍රී ලංකා පන්දු යවන්නකු විසින් දවා ගත් පළමු කඩුලු ත්‍රිත්වය වෙන්නෙත් ඒ කඩුලු ත්‍රිත්වය. කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවති එම තරගයේ දී 11 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ වාස් තෙවැනි, සිව්වැනි සහ පස්වැනි පන්දුවල දී එම සුවිශේෂී කඩුලු ත්‍රිත්වයට හිමිකම් කියනවා. ස්ටුවර්ට් කාලයිල්, ක්‍රෙක් විශාර්ට් සහ ටටෙන්ඩි තායිබු එදා වාස්ගේ කඩුලු ත්‍රිත්වයට ගොදුරු වුණු පිතිකරුවන් වුනා.

ලෝක කුසලානයේ විස්සයි විස්ස ගැසූ අපි

විස්සයි විස්ස තරග අද ලෝකයේ ගොඩක් ජනප්‍රිය තරග රටාවක්. නමුත් විස්සයි විස්ස තරග ලෝකයේ ජනප්‍රිය...

එම කඩුලු ත්‍රිත්වයත් එක්ක එම තරගයේ දී වාස් විසින් දවා ගන්නා ලද මුළු කඩුලු සංඛ්‍යාව 8ක්. තරගාවසානයේ එම පන්දු යැවීම සටහන් වුණේ පන්දුවාර 8ක දී නිලකුණු පන්දුවාර 3ක් එක්ක ලකුණු 18කට කඩුලු 8ක් විදියට. වාස් විසින් දක්වන ලද එම දක්ෂතාවය අදටත් සටහන් වන්නේ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පන්දු යවන්නෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීම විදියට.

ඊට කලින් එම වාර්තාවට හිමිකම් කිව්වේ ශහිඩ් අෆ්රිඩි. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 12කට කඩුලු 7ක් දවා ගැනීම තමයි කලින් වාර්තාව වෙලා තිබුණේ.

[caption id="attachment_2336224" align="aligncenter" width="750"]Image removed. නවසීලන්ත පිලේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරමින්[/caption]

වාස්ගේ එම සුපිරි පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 4ක දී ලකුණු 38 කට සීමා වුනා. කොහොම වුනත් එම දක්ෂතාව එවකට සටහන් වුණේ කණ්ඩායමක් දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව විදියට. අදටත් කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවන් අතර තුන්වැනි ස්ථානය බවට පත් වෙලා තියෙන ඒ ලකුණු සංඛ්‍යාව ඊට වසර 2කට පස්සේ කැනඩාවත් ඊට වසරකට පස්සේ ආපහු සිම්බාබ්වේත් බිඳලා දැම්මා. කැනඩාව ලකුණු 36කටත්, සිම්බාබ්වේ ලකුණු 36කටත් සීමා වුණු ඒ අවස්ථා 2 දී ම ඒ ප්‍රතිවාදීන් බවට පත් වෙලා තිබුණේ ශ්‍රී ලංකාව වීමත් විශේෂත්වයක් විදියට හඳුන්වන්න පුළුවන්.

වර්ණකුලසූරිය පටබැඳිගේ උශාන්ත ජෝසප් චමින්ද වාස් හෙවත් 1974 වසරේ මොලොව එළිය දුටු චමින්ද වාස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරපු දශක එකහමාරක පමණ කාලය තුළ එක්දින තරග 322කට ක්‍රීඩා කරලා කඩුලු 400ක් දවා ගැනීමට සමත් වෙලා තියෙනවා.

ඒ විතරක් නොවෙයි ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100කට ක්‍රීඩා කරන ලද අතළොස්සක් ක්‍රීඩකයන් අතරට වාස්ගේ නමත් එකතු වෙනවා. ටෙස්ට් තරග 111කට ක්‍රීඩා කරලා තියෙන වාස් එහි දී බිඳ හෙළා තිබෙන කඩුලු සංඛ්‍යාව 355ක්. පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් ගණයට වැටුණු වාස් ටෙස්ට් තරගවල දී මුළු ලකුණු 3089ක් ලබාගෙන තියෙන්නේ ඉනිමක ලකුණු ලබා ගැනීම 24.32ක සාමාන්‍යයක් ද රඳවා ගෙන තිබෙන අතර එයට බංග්ලාදේශයට එරෙහිව 2007 වසරේ දී වාර්තා කරන ලද ශතකය සහ තවත් අර්ධ ශතක 13 ක් ඇතුළත්.

වාස්ගේ අවසන් එක්දින තරග සහභාගිත්වය සිද්ධ වුණේ 2008 වසරේ දී. ඒ ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයක්. එම තරගයෙන් පසු වාස්ව කණ්ඩායමෙන් ඉවත් කෙරුණත් වාස්ගේ බලාපොරොත්තුව වුණේ 2011 ලෝක කුසලාන තරගාවලිය තෙක් ක්‍රීඩා කරලා ක්‍රිකට් දිවියට සමුදෙන්න.

බලාපොරොත්තු වුණු විදියට ලෝක කුසලාන සංචිතයට වාස්ගේ නම ඇතුළත් නොවුනත්, මුම්බායිහි පැවැත්වුණු අවසන් තරගය වෙනකොට කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් ගොඩ දෙනෙක් ආබාධවලට ලක්වීම නිසා ඊට ආදේශ ක්‍රීඩකයෙක් විදියට චමින්ද වාස්ට කණ්ඩායමට එක්වීමට අවස්ථාව උදා වුනා. ගොඩ දෙනෙක් හිතුවේ ඉන්දියාවත් එක්ක තිබ්බ අවසන් මහ තරගයේ දී වාස් ක්‍රීඩා කරයි කියලා. ඒත් ඒ අවස්ථාව චමින්ද වාස්ට හිමි වන්නේ නෑ.

ඒත් එක්කම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්ත වාස් 2012 වසරේ දී නවසීලන්ත පිලේ වේගපන්දු පුහුණුකරුවෙකු ලෙස පත්වෙනවා. පුහුණුකරුවකු විදියට කැපී පෙනෙන යමක් කිරීමට වාස් සමත් වූ නිසා 2013 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණු තනතුර පත්වෙන්න අවස්ථාව හිමිකර ගන්නවා.

[caption id="attachment_2336225" align="alignleft" width="257"]Image removed. චමින්ද වාස් විසින් නවක පන්දු යවන අවිශ්ක ප්‍රනාන්දු සමඟ පුහුණුවීම්වල දී[/caption]

එතැන් ඉඳන් 2015 වන තෙක්ම කණ්ඩායමේ රැඳී හිටපු වාස් 2015 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිල ලද දැඩි අසාර්ථකභාවයත් සමඟම එම තනතුරෙන් ඉල්ලා අස් වුනා. එහෙම ඉන්නකොට 2016 වසරේ දී අයර්ලන්ත පිලේ වේගපන්දු පුහුණුකරු විදියට කටයුතු කරන්න අයර්ලන්තයට යන වාස්, නැවතත් 2016 අගෝස්තු මාසයේ ඉඳලා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශයට වේග පන්දු පුහුණුකරුවකු විදියට සම්බන්ධ වෙනවා. එතැන් පටන් විවිධ වයස් කණ්ඩායම්වල පුහුණුකරු ලෙස කටයුතු කරන ලද වාස්ගේ මේ වන විට මූලික කාර්යය භාරය වෙලා තියෙන්නේ වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ වේගපන්දු යවන්නන් පුහුණු කරවන එක.

චමින්ද වාස්ගේ දක්ෂතාවය ඒ විදියට සටහන් වෙනකොට ලෝක කුසලාන තරගාවලියක මුල්ම කඩුලු ත්‍රිත්වය ලියැවිලා තියෙන්නේ ඉන්දීය පන්දු යවන්නකු වන චේතන් ෂර්මාගේ නම ඉදිරියෙන්.

1987 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී ෂර්මා ඒ දක්ෂතාව දක්වලා තියෙන්නේ නවසීලන්තයට එරෙහිව පැවති තරගයක දී. ඊට පස්සේ පාකිස්තානු දඟපන්දු යවන ක්‍රීඩක සක්ලේන් මුස්ටාක් (1999), චමින්ද වාස් (2003), බ්‍රෙට් ලී (2003), ලසිත් මාලිංග (2007), කෙමාර් රෝච් (2011), ලසිත් මාලිංග (2011), ස්ටීවන් ෆින් (2015) සහ ජේ. පී. ඩුමිනි (2015) ලෝක කුසලාන තරගාවලියන්හිදී කඩුලු ත්‍රිත්ව ලබා ගත් පන්දු යවන්නන් බවට පත්වීමට සමත් වෙලා තියෙනවා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න

Sinhala
Layout Content
Single Image Layout

About

We are professional and reliable provider since we offer customers the most powerful and beautiful themes. Besides, we always catch the latest technology and adapt to follow world’s new trends to deliver the best themes to the market.