සුරංගගේ ශතකයත් සමඟින් ජයග්‍රහණය ශ්‍රී ලංකාවට

838
Blind T20 Cricket Sri Lanka v Australia repor

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ පූර්ණ සවිබලයෙන් පවත්වනු ලබන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා වන දෙවැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු දෘශ්‍යාබාධිත කණ්ඩායම අතර තරගය අද (6) කෝචි හි රාජාගිරි ක්‍රීඩාංගණයේදි පැවැත්වූ අතර එම තරගයෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායමට කඩුලු 8ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිවිය.

ජයග්‍රහණය ශ්‍රී ලංකාවට; සුරංග සම්පත් අංක එකට

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා වන දෙවැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම හා නේපාල…

සුපුරුදු ලෙස කාසියේ වාසිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලබා දුන් අතර, ඔවුන් එම අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගනිමින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 174ක් ලබා ගන්නා ලදි.

ඕස්ට්‍රේලියානු ඉනිමේ තෙවන කඩුල්ල සඳහා ලකුණු 109ක් ලබා ගැනීමට ඩේවිඩ් හීවන් හා ස්ටෙපාන් පාල්මර් සමත් වූයේ, මනරම් පහරවල් කිහිපයක්ම එල්ල කරමිනි. එම සබඳතාවයට තිත තබමින් 4 වන කඩුල්ල ලෙස ක්‍රීඩාගාරයට හැරී ගිය ඩේවිඩ් හීවන්, 4 පහර 3ක් එල්ල කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එදිරිව ලකුණු 51ක් ලබා ගන්නා ලදී.

ඉන් මොහොතකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙත හිසරදයක් ව සිටි ස්ටෙපාන් පාල්මර් 4 පහර 6ක් සමඟින් ලකුණු 68ක් ලබා සිටියදී, ඔහුගේ ඉනිම අවසන් කරන්නට සුරංග සම්පත්ට හැකිවිණි.

මෙම තරගාවලියේ දැනට සිටින දක්ෂතම පිතිකරුවෙකු වන සුරංග සම්පත් සමඟින් දිමුතු රවීන්ද්‍ර ලකුණු 175ක් හඹායාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම වෙත සාර්ථක ආරම්භයක් එක් කල අතර, පළමු කඩුල්ල ලකුණු 65ක් ලෙස සනිටුහන් වෙද්දී දැවී යන්නේ දිමුතු රවීන්ද්‍ර ලකුණු 22ක් ලබාගෙන සිටියදී ය. ඒ දුවද්දී දැවී යාමකට හසුවයි. නමුත් එයින් නොසැලුණු සුරංග සම්පත් එක් අන්තයක සිට තම වගකීම නිසියාකාරව ඉටුකරමින් ලකුණු රැස්කල අතර, 4 පහර 2ක් සමඟ ලකුණු 15ක් එක් කල රුවන් වසන්ත දෙවන කඩුල්ල ලෙස තම ඉනිම අවසන් කරගන්නා ලදි.

අනතුරුව පිටියේ එක්වූ චන්දන සූරියආරච්චි හා සුරංග සම්පත් ජයග්‍රහණය සඳහා තෙවන කඩුල්ලට ලකුණු 79*ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරන ලදි. මෙම තරගාවලියේ තම පස්වන ශතකය ලබාගත් නොදැවී ක්‍රීඩා කල සුරංග සම්පත් විශිෂ්ට පිතිකරණයක් නැවතත් දියත් කල අතර, ඔහු 4 පහර 16ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 105*ක් ලබා ගන්නේ පන්දු 52කට පමණක් මුහුණ දෙමිනි. අනෙක් අන්තය රැකගත් චන්දන සූරියආරච්චි එක් 4 පහරක් සමඟින් ලකුණු 15*ක් ලබා ගන්නා ලදි.

ඕස්ට්‍රේලියානු දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී ලකුණු 174 (පන්දුවාර 20): ස්ටෙපාන් පාල්මර් 68, ඩේවිඩ් හීවන් 51, උපුල් සංජීව 2/20, දිමුතු රවීන්ද්‍ර 1/26, සුරංග සම්පත් 1/26

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 2ක් දැවී ලකුණු 176 (පන්දුවාර 15.2): සුරංග සම්පත් 105*, දිමුතු රවීන්ද්‍ර 22, රුවන් වසන්ත 15, චන්දන සූරියආරච්චි 15*, ඩේවිඩ් හීවන් 1/51

ශ්‍රී ලංකා කණ්ඩායම තරග 7කට මුහුණ දී ඉන් තරග 5ක් ජයග්‍රහණය කර තෙවන ස්ථානයේ රැදීසිටින්නේ ප්‍රබල පාකිස්තානු දෘශ්‍යාබාධිත කණ්ඩායමට හා ඉන්දීය දෘශ්‍යාබාධිත කණ්ඩායම් වලට පළමු හා දෙවන ස්ථාන හිමිකර දෙමිනි.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන මීලඟ තරගය අනිද්දා (8) බංගලාදේශ දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සමඟින් අලූර් හි කර්නාටක ක්‍රිකට් සංගම් පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට