ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරුවන්ට සහ පන්දු යවන්නන්ට දැවැන්ත අභියෝග පිරිනමන ටෙස්ට් තරගයක “දෙවන අදියර” වන දෙවන ඉනිම, උසස් අයුරින් ක්‍රීඩා කිරීම එතරම් පහසු කටයුත්තක්ද නොවේ. එය ඔවුන්ගේ ‘දෙවන සහ තරගයේ හතර වැනි’ ඉනිමද වේ නම් එහි ඇති අභියෝගාත්මක ස්වරූපය අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ.

මේ අවධානය ටෙස්ට් ක්‍රිකට් තරගවල ‘දෙවනි හා අවසන්’ ඉනිමේදී වඩාත් සාර්ථකව තම පිත්ත හැසිරවූ පිතිකරුවන් ගැනයි.

කඩතොළු සහිත, දඟකැවෙන, පන්දුව අවිධිමත්ව හැසිරෙන අවසන් ඉනිමේ තණතිල්ල මත වැඩ පෙන්වූ සැබෑ පිතිකරණ ශිල්පීන් පස්දෙනා නම් මොවුන්ය. මන්දයත්, ටෙස්ට් තරග ජයක හෝ පරාජයක, පරාජයෙන් මුදා ගැනීමක වගකීම කරට ගත්තවුන් ඔවුන් වන බැවිනි.

  1. ජෙෆ් බොයිකොට් (එංගලන්තය)
courtesy - squarespace.com
courtesy – squarespace.com

දක්ෂ ආරම්භක පිතිකරුවෙකු මෙන්ම වත්මනෙහි දක්ෂ විචාරකයෙකු ලෙසද සැලකෙන බොයිකොට් ටෙස්ට් ශතක 22ක හිමිකරුවෙකි. ඉන් ශතක 3ක් සහ අර්ධ ශතක 7ක් සිව්වැනි ඉනිමේදී වාර්තා වූ ඒවාය. බොයිකොට්ගේ ටෙස්ට් ඉනිමක ලකුණු සාමාන්‍යය 47.7කි. නමුත් අවසන් ඉනිමේ ලකුණු සාමාන්‍යය සලකා බැලූ විට එය 58.7ක් වේ. අවසන් ඉනිමවලදී පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දී ජය ගත් සේම ජීවිතය තුළදී ඔහු වෙත ආ පිළිකා මාරයාටද සාර්ථකව මුහුණ දී ඉන් සුවය ලැබූවෙකි.

 

 

 

  1. විරාත් කෝලි (ඉන්දියාව)
courtesy - drcricket7.com
courtesy – drcricket7.com

බොයිකොට්ගේ යුගයෙන් ඇරඹෙන ලැයිස්තුව මීළඟට කාලයාත්‍රා කරන්නේ වර්තමානයට යි. ඒ වත්මන් ඉන්දියානු ටෙස්ට් නායක විරාත් කෝලි වෙතය. කෝලි මේ වන විට (2017-07-26) ටෙස්ට් ශතක 16ක හිමිකරුවෙකි. ඉන් ශතක 2කුත්, අර්ධ ශතක 4කුත් සිව්වැනි ඉනිමේදී වාර්තා වී ඇත. පන්දුව හරහට දඟකැවෙන ඉන්දියානු තණතිලි මතදී වැඩි වශයෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු ලෙස එය ඔහුගේ අගය කළ යුතු දස්කමකි. 49.4ක ටෙස්ට් ලකුණු සාමාන්‍යයක් සහිත කෝලිගේ දෙවනි හා අවසන් ඉනිමේ ලකුණු සාමාන්‍යය 61.4ක් වේ.

  1. ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව)
courtesy - imgci.com
courtesy – imgci.com

අප ලැයිස්තුවේ තෙවැන්නා සටන්කාමී ශ්‍රී ලාංකිකයෙකි. මේ වන විට (2017-07-26) ටෙස්ට් ශතක 7ක හිමිකරුවෙකු වන මැතිව්ස් විසින් ටෙස්ට් තරගයක සිව්වැනි ඉනිමේ ලබාගෙන ඇති ශතක ප්‍රමාණය 1කි. එහිදී ලද අර්ධ ශතක 4ක්ද ඔහු සතුය. ටෙස්ට් ලකුණු සාමාන්‍යය 45.8ක රඳවාගෙන ඇති මැතිව්ස්ගේ සිව්වැනි ඉනිමක ලකුණු සාමාන්‍යය 62.5කි. මින් බොහොමයකදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමේ හෝ පරාජයෙන් තොරවීමේ හැකියාව ලැබුණු බව ගෞරවාන්විතව සිහිපත් කළ යුතුය.

 

 

 

  1. කේන් විලියම්සන් (නවසීලන්තය)
Kane
courtesy – newshub.co.nz

නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ දඟපන්දු යවන්නන්ට එරෙහිව සාර්ථකවම පිතිකරණයේ යෙදෙන ක්‍රීඩකයා මොහු යැයි පැවසීම අසාධාරණ නැත. දැනට නවසීලන්ත ටෙස්ට් නායකත්වයද හිමි මේ තරුණ බුද්ධිමත් පිතිකරුවාට ටෙස්ට් ශතක 17ක් හිමි ය. ඉන් ශතක 3ක්ම සිව්වැනි ඉනිම්වලදී වාර්තා කොට ඇති විලියම්සන් ඊට අර්ධ ශතක 3කින්ද අලංකාරය එක්කොට ඇත. 51.1ක ටෙස්ට් ලකුණු සාමාන්‍යයක් සහිත ඔහු, තරගයක සිව්වැනි ඉනිමේ රඳවාගෙන ඇති ලකුණු සාමාන්‍යය 66.9කි.

  1. ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (ඕස්ට්‍රේලියාව)
courtesy - sportskeeda.com
courtesy – sportskeeda.com

වර්තමානයෙන් නැවතත් රන්වන් අතීතයට යමු. ක්‍රිකට් ක්‍රීඩාවේ “ඩොන්” (ලොක්කා) ලෙස සැලකෙන බ්‍රැඩ්මන්, ටෙස්ට් ඉතිහාසයේ විශිෂ්ටතම පිතිකරු වන අතර මෙය ඒ බවට තවත් සාධකයකි. ටෙස්ට් ශතක 29ක හිමිකරු වන ඔහුගේ මහාර්ඝ පළඳනාව වන්නේ ලකුණු 99.4ක ටෙස්ට් ලකුණු සාමාන්‍යයයි. ඔව්, ටෙස්ට් ඉනිමක සාමාන්‍යයෙන් ඔහුට රැස්කළ හැකි ලකුණු සංඛ්‍යාව 99කි. සිව්වැනි ඉනිමේදී පමණක් 73.4ක ලකුණු සාමාන්‍යයක් රඳවාගෙන ඇති මේ විශිෂ්ටයා එහිදී රැස්කොට ඇති ශතක ප්‍රමාණය 3ක් වන අතර අර්ධ ශතක ප්‍රමාණය 4කි.

පිතිකරුවෙකුගේ ශිල්පීත්වය මැනවින් ප්‍රදර්ශනය වන්නේ තරගයක අවසන් මොහොතේ අභියෝගය ඔහු විසින් කෙසේ හසුරුවාගන්නේද යන කරුණ මතයි. ඉහත ක්‍රීඩකයින් පස්දෙනා ඒ අතින් ලොව විශිෂ්ටතම පස්දෙනා වීම ගැන ඔබ දරන්නේ කුමන මතයක්ද?

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට