සාමාන්‍ය සේවා සෙබළුන්ට පිට පිටම ජයග්‍රහණ

320

ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු රග්බි තරගාවලිය ඊයේ (28) සවස කොළඹ පැරණි තුරඟ තරග පිටියේ දී නිමාව දුටු අතර මේ සඳහා මග පෙන්වීම ලබා දුන්නේ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසිනි.

ශ්‍රී ලංකා යුද හමුදා සාමාන්‍ය සේවා බලකාය තමන් සතුව තිබූ හමුදාපති කුසලානය තමන් සතුව ආරක්ෂිතව තබා ගැනීමට සමත් විය. ඒ ඔවුන් කුසලානය සඳහා වන අවසන් තරගයේ දී ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බලකා ක්‍රීඩකයන් ලකුණු 26-03ක් ලෙස පරාජය කරමිනි.

සාමාන්‍ය සේවා බලකායේ අසංක පෙරේරා විසින් තරගයේ ආරම්භය සනිටුහන් කිරීමට පන්දුව ගුවනට යොමු කළ අතර තරගය රග්බි ක්‍රීඩාවට උචිත කාලගුණයක් යටතේ රමණීය කොළඹ පැරණි තුරඟ තරග පිටියේ දී පැවැත්වුනේ විශාල යුද හමුදා ප්‍රේක්ෂක පිරිසක් මධ්‍යයේ ය.

වෙළඳසේවා කිරුළ MASට

47 වන වරට පැවති වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කරන්නට අවසන් මහා තරගයේ දී ‘Access Group’ කණ්ඩායම ලකුණු 19-14ක් ලෙස පරාජයට…

තරගයේ ආරම්භක මිනිත්තු කිහිපයේ දී කණ්ඩායම් දෙකම කරට කර තරග වැදුණු අතර එහි දී දෙපිලම තමන් සතුව පන්දුව වැඩි අවස්ථාවක් තුල රඳවා තබා ගැනීමට උත්සුක වන බවක් පෙනුනි. කෙසේ වෙතත් සංඥා බලකායේ ක්‍රීඩකයන් අතින් සිදු වුනු පන්දු පාලනයේ දුර්වලතා හේතුවෙන් අත්දැකීම්වලින් සපිරි සාමාන්‍ය සේවා බලකා ක්‍රීඩකයන්ට තරගය තමන් අතට ගැනීමට අවස්ථාව හිමි විය. ඔවුන්ගේ ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩකයන් විශාල දුර ප්‍රමාණයක් පන්දුව ඉදිරියට රැගෙන ගිය අතර එම ගමන නැවැත්වීමට සංඥා ක්‍රීඩකයන්ට අසීරු විය. ඒ අවසරයෙන් සාමාන්‍ය සේවා බලකා කණ්ඩායමේ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක මොහොමඩ රිස්වි පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි දී උපුල් වික්‍රමසිංහ සාර්ථක ප්‍රවර්තනයක් මගිනි තවත් ලකුණු දෙකක් තම කණ්ඩායම වෙනුවෙන් ලබා දීමට සමත් විය. (සාමාන්‍ය සේවා බලකාය 07-00 සංඥා බලකාය )

එම උත්සාහක දිනුමෙන් අනතුරුව සංඥා බලකාය මදක් ආරක්ෂාකාරීව ප්‍රතිවාදී අන්තයේ රැඳෙමින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණි. එමඟින් ඔවුන්ට තරගය තමන් අතට ගැනීමට අවස්ථා කිහිපයක්ම ලැබුණ ද පන්දුව නිදහස් නොකිරීම, දුර්වල පන්දු හුවමාරු කිරීම හා දුර්වල පන්දු පාලනය හේතුවෙන් එම අවස්ථා ඔවුන් අතින් මග හැරී ගියේ ය. එමගින් කලබලකාරී ස්වභාවයක් නොදැක්වූ සාමාන්‍ය සේවා ක්‍රීඩකයන්ට පන්දුව ලබා ගැනීමට හැකි විය. ඔවුන් කෙමෙන් කෙමෙන් ප්‍රතිවාදී අන්තය කරා ළඟා වූ අතර අගනා උපක්‍රමශීලී පා පහර මගින් තව තවත් මීටර කිහිපයකින් ඉදිරියට යාමට සාමාන්‍ය සේවා බලකා ක්‍රීඩකයන් සමත්  විය.

තරගයේ දෙවන උත්සාහක දිනුම අතිශය දැකුම්කළු මෙන්ම දේශීය ක්‍රීඩා පිටියේ ඉතාමත් විරල ආකාරයේ උත්සාහක දිනුමක් විය. කෙසේ වෙතත් ජාත්‍යන්තර රග්බි තරගවල මෙන්ම විදේශීය ප්‍රමුඛ පෙළේ රග්බි තරගවල එම දස්කම නිතරම දැකිය හැකිය. සාමාන්‍ය සේවා බලකායේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක අසංක පෙරේරා Ruck අවස්ථාවකින් පසුව පන්දුව ලබා ගත් අතර ඔහු පන්දුව තම පසුපෙළ ක්‍රීඩකයන්ට යොමු කරනවා වෙනුවට පිටියේ දකුණු අයිනේ සිට වම් පසට පා පහරක් එල්ල කළේය. එම කොටසේ ආරක්ෂක ක්‍රීඩකයන් නොමැති බවත් පන්දුව ලබා ගතහොත් එය පහසු උත්සාහක දිනුමක් වනු ඇති බවත් තේරුම් ගත් ඔහු පන්දුව ගුවනට යොමු කළ අතර ඒ අවසරයෙන් වින්ග් ක්‍රීඩක සුදාරක දික්කුඹුර මැනවින් පන්දුව ලබා ගෙන පහසු උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. (සාමාන්‍ය සේවා බලකාය 14-00 සංඥා බලකාය)

පීඩනය තමන් අතට යොමු වනු දුටු සංඥා බලකා ක්‍රීඩකයන් කෙසේ හෝ ලකුණු පරතරය අඩු කිරීමට උත්සාහ ගන්නා බව පෙනෙන්නට විය. ඒ අවසරයෙන් ප්‍රථම අර්ධයේ අවසන් මිනිත්තු පහ තුල දී දඬුවම් පහර දෙකක් ඔවුන් හට පිරිනැමිණි. නමුත් සංඥා බලකායේ අශාන් බණ්ඩාර හට සාර්ථක කර ගැනීමට හැකි වූයේ එක් අවස්ථාවක් පමණි. ඒ ගෝල කණු දෙක කෙළින් ලබා දුන් දඬුවම් පහර වූ අතර එය සාර්ථකව එල්ල කරමින් යම් ලකුණක් සමඟ කෙටි විවේකයට යාමට ඔවුන්ට අවස්ථාව හිමි විය.

ප්‍රථම අර්ධය – සාමාන්‍ය සේවා බලකාය 14-03 සංඥා බලකාය

දෙවන අර්ධය ද පළමු අර්ධය මෙන් සංඥා බලකා ක්‍රීඩකයන්ගේ දුර්වල පන්දු පාලනය හේතුවෙන් සාමාන්‍ය සේවා බලකා ක්‍රීඩකයන්ට පන්දුව යොමු වන ආකාරයක් දක්නට ලැබුණි. සංඥා බලකා ක්‍රීඩකයන් යම් යම් අවස්ථාවන් හිදී ඉතා හොඳින් ක්‍රීඩා කළත් ඔවුන්ට එය උත්සාහක දිනුමකින් අවසන් කිරීමට හැකි නොවීමට හේතුව දුර්වල පන්දු පාලනය බව පහසුවෙන් හඳුනා ගත හැකි විය.

කෙසේ වෙතත් Off Side අවස්ථාවක දී විනිසුරු ප්‍රියා සුරංග මහතා ලබා දුන් දඬුවම් අවස්ථාවක දී Quick Tap අවස්ථාවක් ලබා ගත් නායක අසෝක ජයලාල් වේගයෙන් ඉදිරියට ඇදුණු අතර ඔහු වැළැක්වීමට ප්‍රතිවාදී ක්‍රීඩකයන් තිදෙනෙකු අවශ්‍ය විය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක මොහොමඩ් රිස්වි පන්දුව වින්ග් ක්‍රීඩක ප්‍රදීප් වික්ටර් හට ලබා දුන් අතර ඒ අවසරයෙන් ප්‍රදීප්  වික්ටර් තම කණ්ඩායමේ තුන් වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. වික්‍රමසිංහගේ ප්‍රවර්තනය මෙවර අසාර්ථක විය. (සාමාන්‍ය සේවා බලකාය 19-03 සංඥා බලකාය)

සාමාන්‍ය සේවා බලකාය තම ප්‍රහාරය තව දුරටත් දැඩි කළ අතර ඔවුන් තරගය මැනවින් සියතට ගෙන කෙමෙන් කෙමෙන් ප්‍රතිවාදී රේඛාව කරා යොමු වනු දක්නට ලැබුණි. ඔවුන් වෙනුවෙන් සිව් වන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූයේ ලොක් ක්‍රීඩක නාලක මදුරංග ය. ප්‍රතිවාදී ආරක්ෂක වලල්ලේ හිඩැසක් දුටු ඔහු ක්ෂණිකව උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. මෙවර අසංක පෙරේරා සාර්ථක ප්‍රවර්තනයක් එල්ල කරමින් තම ලකුණු තත්ත්වය වැඩි කර ගැනීමට සමත් විය. (සාමාන්‍ය සේවා බලකාය 26-03 සංඥා බලකාය)

තරගයේ අවසාන මිනිත්තු කිහිපය තුල සැනසුම්දායක උත්සාහක දිනුමක් හෝ වාර්තා කිරීමට සංඥා බලකා ක්‍රීඩකයන් දැඩි උත්සාහයක නිරත වුන නමුත් ඒ සඳහා සාමාන්‍ය සේවා බලකා ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැත. එමගින් ඔවුන් එකදු උත්සාහක දිනුමක් හෝ ප්‍රතිවාදින්ට නොදී අවසන් තරගය ජයගත් අතර හමුදාපති කුසලානය පිට පිටම දෙවතාවක් ජයග්‍රහණය කිරීමට ද සමත් විය.

එම තරගයට පෙරාතුව ශ්‍රී ලංකා යුද හමුදා සභාපතිගේ කණ්ඩායම සහ පාකිස්ථාන යුද හමුදා ආරාධිත කණ්ඩායම අතර සුහද රග්බි තරගයක් පැවති අතර තියුණු තරගයකින් අනතුරුව තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුල වාර්තා කළ උත්සාහක දිනුම සමඟ ජය පාකිස්ථානු හමුදා කණ්ඩායමට සමත් විය.

තරගයේ වීරයා – මොහොමඩ් රිස්වි ( ශ්‍රී ලංකා යුද හමුදා සාමාන්‍ය සේවා බලකාය )

ලකුණු බෙදී යාම

සාමාන්‍ය සේවා බලකාය

  • උත්සාහක දිනුම් – මොහොමඩ් රිස්වි , සුදාරක දික්කුඹුර , ප්‍රදීප් වික්ටර්, නාලක මදුරංග
  • ප්‍රවර්තන – උපාලි වික්‍රමසිංහ 2 , අසංක පෙරේරා

සංඥා බලකාය

  • දඬුවම් පහර – අශාන් බණ්ඩාර

ශ්‍රී ලංක යුද හමුදා අන්තර් රෙජිමේන්තු රග්බි තරඟාවලිය 2017

ජයග්‍රාහකයින්

  • ශූරතාව – ශ්‍රී ලංකා යුද හමුදා සාමාන්‍ය සේවා බලකාය  (හමුදාපති කුසලානය)
  • පලඟ – ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුව
  • බඳුන – ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකාය
  • පලිහ – ශ්‍රී ලංකා යුද හමුදා පාබල සේනාංකය

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට