දික්වැල්ල ජාමෙ බේරයි; දිනය නිමා වෙද්දී කැන්ගරුවන් ඉදිරියෙන්!

658

ටෙස්ට් තරග දෙකකින් පමණක් සමන්විත ඕස්ට්‍රේලියානු තරග සංචාරය අරඹමින් අද (24) පළමු දිවා – රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගය බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. කෙසේ වෙතත් එම තරගයේ මුල් දිනය නිමාවට පත්වන විට පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද වැඩි දක්ෂතා ප්‍රකට කිරීමට සමත් වූයේ සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. මේ වන විට ඔවුන් කඩුලු 8ක් අතැතිව ශ්‍රී ලංකා ඉනිමට වඩා ලකුණු 72ක් පමණක් පිටුපසින් සිටියි.

රත්වූ යකඩය කෙසේ හෝ නවාගන්නට සිංහයින් සීරුවෙන්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය හෙට

අද තරගය සඳහා තරමක් තණකොළ සහිත තණතීරුවක් සකසා තිබූ අතර කණ්ඩායම් දෙකම තම පන්දු යැවීමේ සංකලනය වේගපන්දු යවන්නන් තිදෙනෙකු සහ එක් දඟපන්දු යවන්නෙකු ඇතුළත් වන පරිද්දෙන් සකසා ගෙන තිබුණි. ඕස්ට්‍රේලියානුවන් අද තරගය සඳහා නවක ක්‍රීඩකයින් දෙදෙනෙකුට මංගල ටෙස්ට් වරම් හිමිකර දී තිබීම ද කැපී පෙනෙන කරුණක් විය. ඒ දෙරට අතර පැවති පුහුණු තරගය අතරතුරේ දී ශතක දෙකක් වාර්තා කළ කර්ටිස් පැටර්සන් සහ දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක ජේ රිචඩ්සන් කණ්ඩායමට ඇතුළත් කරමිනි.

කාසියේ වාසිය දිනාගෙන පිතිකරණය තෝරාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස අද දැවී ගියේ කලකට පසු නැවතත් ජාතික කණ්ඩායම හා එක්වූ ලහිරු තිරිමාන්නයි. ඒ වන විට ශ්‍රී ලංකා ඉනිම යන්තමින් ලකුණු 26ට ළඟා වූවා පමණි. පැට් කමින්ස් එවූ පන්දුව තම සිරුරෙන් ඉදිරියේ දී පිත්තේ දවටා ගැනීම තිරිමාන්නට සිදු වූ අතපසුවීම විය. ප්‍රතිඵලය වූයේ තෙවැනි ස්ලිප් හි සිටි මාර්නස් ල’බුශේන් එය පහසු උඩපන්දුවක් ලෙස රැක ගැනීමයි. ඒ වන විට තිරිමාන්න රැස් කර සිටියේ එක් හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් පමණි. කලකට පෙර රතු පන්දුව අපලයක් වී කණ්ඩායමෙන් ඉවතට විසිවුණු තිරිමාන්නට මෙම සංචාරයේ දී දක්වන දක්ෂතා ඔහුගේ ඉදිරි ටෙස්ට් අනාගතය තීරණය කරන වැදගත් සාධකයක් වනු ඇත.

>>Photos: Sri Lanka vs Australia 1st Test – Day 1

ඉන් අනතුරුව පිටියට පිවිසි නායක දිනේෂ් චන්දිමාල්ට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටින්නට දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක ජේ රිචඩ්සන් ඉඩ තැබුවේ නැත. නවකයෙකු වුවද ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් එල්ල කරමින් පන්දු යැවූ රිචඩ්සන්, තම මංගල කඩුල්ල ලෙසින් ශ්‍රී ලංකා නායකයාව දවා ගත්තේ ලකුණු 5ක් පමණක් ලබා සිටිය දීයි. ඒ වෙනුවෙන් ජෝ බර්න්ස් ස්ලිප් කලාපයේ සිටිමින් තම වම් පසට පනිමින් තියුණු උඩපන්දුවක් රැක ගත්තේය.

ඉන් අනතුරුව පිටියට පිවිසුණු කුසල් මෙන්ඩිස් සාමාන්‍යයෙන් විශාල පහරවල් කරා යොමු වීමට ප්‍රියතාවයක් දක්වන ක්‍රීඩකයෙකු වුවද, අද ඔහු තම ප්‍රථම ලකුණ වාර්තා කිරීමට ද පන්දු 15කට මුහුණ දීමෙන්ම ඕස්ට්‍රේලියානුවන් ඇති කළ පීඩනය කොතෙක් ඇයි වටහා ගත හැකිය.

මෑත කාලයේ ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම ටෙස්ට් පිතිකරුවෙකු මෙන්ම දින කිහිපයකට ඉහත දී ICC වසරේ ටෙස්ට් කණ්ඩායමට ද ඇතුළත් වූ දිමුත් කරුණාරත්න අද ලකුණු 24ක් රැස්කරමින් ආරම්භයක් ලබා ගත්ත ද නේතන් ලයන්ගේ පන්දුවක් හමුවේ ප්‍රථම ඉනිමේ තම පිතිකරණ භූමිකාව නිමා කර ගත්තේය. ලයන් යැවූ පන්දුව අනපේක්ෂිත ලෙස ඉහළ ඉපිලී ආ අතර යන්තමින් දඟ කැවී දිමුත්ගේ පිත්ත යන්තමින් සිප ගනිමින් කඩුලු රකින්නා වෙත ඇදී ගියේය. ඒ අනුව තේ විවේකය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුණේ 58ට කඩුලු 3ක් වශයෙනි.

දිමුත් වසරේ ටෙස්ට් කණ්ඩායමට!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) වසරේ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් අද (22) නිවේදනය කළ අතර ටෙස්ට්

තේ පානයෙන් අනතුරුව යැවූ පළමු පන්දුවාරයේ දී ම ලකුණු 14ක් ලබා සිටි කුසල් මෙන්ඩිස්ව පිටියෙන් ඉවත් කිරීමට ජේ රිචඩ්සන් සමත් විය. තම මංගල තරගයට ක්‍රීඩා කළ ද අද දිනයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් වඩාත්ම කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූ රිචඩ්සන් යැවූ පන්දුව ක්ෂණයකින් කඩුල්ල බිඳ දැමුවේ කුසල්ට සිතා ගැනීමටවත් නොහැකි ලෙසයි. ඉන් අනතුරුව පිටියට පිවිසි ධනංජය සිල්වා (05) ද රිචඩ්සන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින්නා අතට පහසු උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේ පිතිකරුවෙකු ලෙස කණ්ඩායම තමන් වෙත තබා තිබූ බලාපොරොත්තු බොඳ කරමිනි.

රොෂේන් සිල්වා සංයමයකින් යුතුව පන්දු 56කට මුහුණ දෙමින් ඕස්ට්‍රේලියානුවන්ගේ ග්‍රහණයට නතුව තිබූ තරගය ඉන් මුදා ගැනීමට උත්සාහ දැරූව ද අවසානයේ පැට් කමින්ස්ගේ ගොදුරක් බවට පත්විය. ඒ පිට ඉන්නට අඟල් කිහිපයක් එපිටින් වේගයෙන් ඇදී ගිය පන්දුව නිදැල්ලේ හරිනවා ද නැතහොත් පිත්ත යොමු කරනවා දැයි ක්ෂණිකව තීරණය කිරීමට අපොහොසත් වූ බැවිනි. ඒ වන විටත් රොෂේන් රැස්කර සිටියේ ලකුණු 9ක් පමණි. ඉන් අනතුරුව පිටියට පිවිසි දිල්රුවන් පෙරේරා පැට් කමින්ස් පැයට කිලෝමීටර් 140ක වේගයෙන් යැවූ පන්දුවක් තම මහපටැඟිල්ලේ තදින් වැදීම නිසා ආබාධයකට ද ලක්විය.

කෙසේ වෙතත් ඔහු සුරංග ලක්මාල්ගේ දැවී යාමෙන් පසු නැවතත් පිටියට පිවිසි අතර ලකුණු රැස් කිරීමට නම් සමත් වූයේ නැත. ඒ ඉනිමේ මුල් කොටසේ දී සාර්ථක නොවූ එකම පන්දු යවන්නා වන මිචෙල් ස්ටාර්ක්ව ද නැවතත් තරගයට අවතීර්ණ කරමිනි. අවසන් වරට ඕස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වූ අවස්ථාවේ වඩාත්ම භයානක පන්දු යවන්නා වූ ස්ටාර්ක්, අද ජාත්යන්තර ටෙස්ට් කඩුලු 200 සීමාවට ද ළඟා විය. ඒ අනුව රාත්‍රි ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා පිළ කඩුලු 8ක් දැවී ලකුණු 122ක් ලබා සිටියේය.

ඉන් අනතුරුව වමත් පිතිකරු නිරෝෂන් දික්වැල්ල ගැබා පිටියට එක්දින තරගයක සිරි ගෙන එමින් වේගවත් පහරවල් කිහිපයක් පිටිය සිසාරා එල්ල කරන්නට විය. ශ්‍රී ලංකා ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා වූ ඔහු අද දිනයේ දැවී ගියේ ලකුණු 64ක් ලබා සිටිය දීයි. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම ලකුණු 144කට සීමා විය. දික්වැල්ලගේ ඉනිමට හතරේ පහර 6ක් සහ Ramp පහරක් මගින් කඩුලු රකින්නාගේ හිසට ඉහළින් එල්ල කළ අලංකාර හයේ පහරක් ද ඇතුළත් විය. සැබැවින්ම ඔහුගේ දායකත්වය නොවන්නට අද ශ්‍රී ලංකා පිළ ලකුණු 100කටත් අඩුවෙන් දැවී ගොස් දැඩි අපකීර්තියක් උරුම කර ගන්නට ඉඩ තිබුණි. පන්දු යැවීමේ දී පැට් කමින්ස් කඩුලු 4ක් ද මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ජේ රිචඩ්සන් කඩුලු 3ක් ද බිඳ හෙලීය.

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන සිංහ-කැන්ගරු ටෙස්ට් සටනේ ඉතිහාසය

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර වෝන්-මුරලිදරන් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන තරග

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානුවන් දිනයේ අවසානය දක්වාම පිතිකරණයේ යෙදුණු ආකාරයෙන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට උකහා ගත හැකි පාඩම් රැසක් තිබුණි. ඉනිම ආරම්භ කළ මාර්කස් හැරිස් සහ ජෝ බර්න්ස් ටෙස්ට් තරගයක මුල් පන්දුවාර කිහිපයේ ඇති බැරෑරුම් බව තේරුම් ගනිමින් පන්දු තෝරා බේරාගෙන පහර එල්ල කළහ. ඒ නිසාවෙන්ම ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 37ක් දක්වා වර්ධනය විය. ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර අද පැයට කිලෝමීටර් 140 ඉක්මවමින් පන්දු යැවූවද කඩුලු දවා ගැනීමේ වාසනාව ඔවුන් දෙදෙනා සතු වූ වූයේ නැත.

කෙසේ වෙතත් තම අත්දැකීම් වලින් ප්‍රයෝජන ගත් සුරංග ලක්මාල් ඉනිමේ පළමු කඩුල්ල ලෙස දකුණත් පිතිකරු ජෝ බර්න්ස්ව ලකුණු 15කට ක්රීඩාගාරයට හරවා යැවීමට සමත් විය. ඒ ස්ලිප් කලාපයේ සිට කුසල් මෙන්ඩිස් රැකගත් තියුණු උඩපන්දුවේ ද උපකාරයෙනි. ඉන් අනතුරුව පිටියට පිවිසි උස්මාන් කවාජා පිටියේ ස්ථාවර වීමට උත්සාහ දැරූව ද ඔහුගේ සාම්ප්‍රදායික ප්‍රතිවාදියා වන දිල්රුවන් පෙරේරාගේ ගොදුරක් වීමට ඔහුට සිදු විය. මීට පෙර ද බොහෝ අවස්ථාවල දී දිල්රුවන්ගේ දකුණත් පිට දඟපන්දුව හමුවේ වමතින් පිත්ත හසුරුවන කවාජා කඩුල්ල අහිමි කර ගත් අවස්ථා වැඩි ගණනක් ඉතිහාසය තුල දකින්නට ඇත.

ශ්‍රී ලංකා පිතිපෙළ හොලන්ඩ්ගේ දඟපන්දුවට බිලිවෙයි; තිරිමාන්න බේරෙයි

ලබන බ්‍රහස්පතින්දා (24) බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන්නට නියමිත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු අද දිනය නිමා වන විට ශ්‍රී ලංකා පිළේ ලකුණු සංඛ්‍යාවෙන් හරි අඩක් රැස් කරගෙන සිටින අතර ඒ වෙනුවෙන් වැය කළේ කඩුලු දෙකක් පමණි. මේ වන විට පිටිය මැද දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව පිතිකරණයේ යෙදෙන මාර්කස් හැරිස් හතරේ පහර 5ක් සමඟින් ලකුණු නොදැවී 40යි. ඒ අනුව ජයග්‍රහණයක් ගැන අපේක්ෂා කිරීමට නම් හෙට උදෑසන සිට ඉතාමත් විශිෂ්ට ගණයේ පන්දු යැවීමක නිරත වීමට ශ්‍රී ලංකා පිළට සිදු වනු ඇත. ඒ ඕස්ට්‍රේලියානු පිතිකරණ බල ඇණිය සතුව අත්දැකීම් වැඩි ප්‍රමාණයක් නොතිබුණ ද දක්ෂතාවය වැඩි වශයෙන් කැටිව ඇති හෙයිනි.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම): සියල්ලන්ම දැවී ලකුණු 144 (පන්දුවාර 56.4)

නිරෝෂන් දික්වැල්ල 64, දිමුත් කරුණාරත්න 24, කුසල් මෙන්ඩිස් 14, ලහිරු තිරිමාන්න 12, රොෂේන් සිල්වා 9, ජේ රිචඩ්සන් 3/26, පැට් කමින්ස් 4/39, මිචෙල් ස්ටාර්ක් 2/41.

ඕස්ට්‍රේලියානු (ප්‍රථම ඉනිම): කඩුලු 2ක් දැවී ලකුණු 72 (පන්දුවාර 25)

මාර්කස් හැරිස් 40*, ජෝ බර්න්ස් 15, උස්මාන් කවාජා 11, දිල්රුවන් පෙරේරා 1/4, සුරංග ලක්මාල් 1/27.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<