ලකුණු සහ කඩුලු මැෂින් දෙක නැවතත් කණ්ඩායමට

105

ජයග්‍රහණය පෙනෙන තෙක් මානයට රැගෙන ආ හෙඩින්ග්ලි ටෙස්ට් තරගය කිසිසේත් බලාපොරොත්තු නොවූ අයුරින් පරාජයට පත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම එම අමිහිරි පරාජයේ වේදනාව මොහොතකට විඳ දරාගනිමින් සිව්වැනි නැත්නම් ඕල්ඩ් ට්‍රැෆඩ් ටෙස්ට් තරගයට අවතීර්ණ වන්නේ කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් ද සමඟිනි.

අළුබඳුන කැලඹූ අවසන් කඩුල්ලේ වික්‍රමය!

තරගයක් ජයග්‍රහණය කිරීමට උරදීම සඳහා ඕනෑම ක්‍රීඩකයෙකුට හැකිය. නමුත් පරාජය තීන්දු…

මෙවර අළුබඳුන තරගාවලියේ  ආරම්භයේ සිටම තම පිත්ත මැනවින් ක්‍රියාත්මක කළ හිටපු ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් පළමු තරග ද්විත්වයේ දී එංගලන්ත පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කළේ ජාත්‍යන්තර පිටියෙන් වසරකට ආසන්න කාලයක් ඉවත්ව සිටියත් තමාගේ ලකුණු ලබා ගැනීමේ රිද්මයෙහි කිසිදු වෙනසක් සිදුව නොමැති බව සියල්ලන්ටම දැනෙන පණිවිඩයක් ලබා දෙමිනි.

කෙසේ නමුත් දෙවන ටෙස්ට් තරගයේ ඕස්ට්‍රේලියානු පළමු ඉනිම අතරතුර දී ජොෆ්රා ආචර් විසින් යැවූ පන්දුවක් කෙළින්ම ස්මිත්ගේ ගෙල ප්‍රදේශයේ වැඳීමත් සමඟම ඔහු එතෙක් වේලාවක් දියත් කරමින් සිටි සුපිරි ඉනිම එතැකින් නතර කිරීමට ඔහුට විය. 

එම තරගයේ දෙවන ඉනිමේ දී පන්දුවට පහර දීමෙන් වැළකී සිටි ස්මිත් හට තෙවැනි ටෙස්ට් තරගය ද අහිමි වූයේ පන්දුව වැඳීමෙන් ඇති වූ කම්පනයෙන් මිඳීමට නොහැකි වූ නිසාවෙනි.

දැනට තහවුරු කර ඇති ආරංචි මාර්ග අනුව හෙට (04) දිනයේ දී නැවත වතාවක් ස්මිත්ගේ ලකුණු මැෂිම පණගැන්වෙනු දැකබලා ගැනීමට ප්‍රේක්ෂකයන් හට ඉඩප්‍රස්තාව ලැබෙන අතර ඔබ එංගලන්ත කණ්ඩායමට සහය දක්වන්නේ නම් නිසැකවම එය එතරම් සුබ ආරංචියක් නොවනු ඇත.

තෙවැනි ටෙස්ට් තරගය සඳහා පුරප්පාඩු වූ ස්මිත්ගේ භූමිකාව රඟදැක්වීමට එක්වූ මානස් ලබුෂේන් තමාට ලබා දුන් අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගැනීමට සමත් වූයේ ඉනිම දෙකේ දී ම අගනා අර්ධ ශතක දෙකක් වාර්තා කරමිනි. ඔහුගේ පිතිහරඹය පිළිබඳ සෑහීමකට පත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඒ අනුව හෙට දිනයේ දී ආරම්භ වන සිව්වැනි ටෙස්ට් තරගය සඳහා ද ඔහුගේ සේවය ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටි.

අළුබඳුනේ නව විනිසුරුවන් අතරට අපෙන් දෙදෙනෙක්

ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන බොහෝ දෙනෙකුට කිසිදා අමතක නොවන තරග අත්දැකීමක් ලබා දෙමින්…

එම නිසාවෙන් පසුගිය කාලසමය පුරාවට ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් දිනාගෙන සිටි උස්මාන් කවාජා හට හෙට දිනයේ දී තරගය මඟහැරී යනු ඇත. ඩර්බි කණ්ඩායම සමඟ පැවති පුහුණු තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවමින් තීරණාත්මක ලකුණු 72ක් වාර්තා කරමින් ඉතාමත් හොඳින් තරගාවලිය සඳහා පෙර පුහුණු වූ නමුත් පළමු තරග ත්‍රිත්වයේ දී ම අපේක්ෂා කළ පරිදි ලකුණු අතරට පැමිණීමට කවාජා අපොහොසත් විය.

ඕස්ට්‍රේලියානු පිතිකරණ ලැයිස්තුව එසේ වෙනස් වෙද්දී ඔවුන්ගේ පන්දු බලඇණියේ ද ප්‍රබල වෙනස්වීම් කිහිපයක්ම සිදුවීමට වැඩි ඉඩකඩක් පවතී. ඕස්ට්‍රේලියානු වේගපන්දුවේ ප්‍රධාන බලකණුව වන මිචෙල් ස්ටාක්ගේ පන්දුකරණය ප්‍රථම වතාවට මෙවර අළුබඳුන තරගාවලියේ දී දැක ගැනීමට හැකි වන අතරවාරයේ ජේම්ස් පැටින්සන් ඔහුගේ ස්ථානය ඒ වෙනුවෙන් කැප කිරීමට නියමිතය. ඒ අනුව මිචෙල් ස්ටාක් සමඟ එක්වෙමින් ඕස්ට්‍රේලියානු පන්දු බලඇණිය සවිමත් කිරීමට ජොස් හේසල්වුඩ්,පැට් කමින්ස් හා පීටර් ස්ඩිල් යන අයගෙන් දෙදෙනෙකු සිය දායකත්වය සැපයීමට බලාපොරොත්තුවෙන් සිටි.

පුහුණු තරගයේ දී ලබා ගත් කඩුලු ත්‍රිත්වය සහ අර්ධ ශතකය හැරෙන්නට මෙවර තරගාවලිය තුල දී කැපී පෙනෙන දක්ෂතා අතරට පැමිණීමට තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාර්ෂ් හට නොහැකි වීම ගැන විචාරකයින්ගේ ද වැඩි අවධානය යොමුව තිබේ.

විනිසුරු තීරණ වරද්දා ගත් දෙදෙනා ඉවතට

නිමා වූ අළුබඳුන ක්‍රිකට් තරගයේ දී බෙන් ස්ටෝක්ස්ගේ සුපිරි ඉනිම ලෙසටම තරගය එංගලන්තය දෙසට බර…

ජයග්‍රාහී එංගලන්ත කණ්ඩායමේ වෙනසක් මෙම තරගයේ දී අපේක්ෂා කළ නොහැකි නමුත් ආරම්භක පිතිකරු ජවනිකාව ජෝ ඩෙන්ලි සමඟ හුවමාරු කරගැනීමට ජේසන් රෝයි සූදානම් වන බව විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

අළුබඳුනේ හිමිකාරිත්වය තවදුරටත් තමන් සන්තකයේ තබා ගැනීමට නම් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඉතිරිව ඇති තරග දෙකෙන් එක් තරගයක් හෝ අඩුම තරමේ ජය ගත යුතුව ඇති අතර එසේත් නැත්නම් එම තරග ද්විත්වයම ජය පරාජයෙන් තොරව අවසන් කර ගත යුතු වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<