ඇෆ්ගන් පන්දුවේ බලය අයර්ලන්තය හමුවේ බිඳී යයි!

638

පන්දු යවන්නන්ගේ ආක්‍රමණශීලී, දක්ෂ පන්දු යැවීම හේතුවෙන් සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට සත්කාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ (28) සමත් විය.

ඩෙහරඩුන් හී රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/ රාත්‍රි තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්ත නායකයා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළේය.

මැක්ස්වෙල්ගේ ගිණිකෙළි මැද ඉන්දියාව මව් බිමේ දී ම දණ නමයි!

පසුගිය මාස කිහිපය පුරාවට මුනිවත රැකි ග්ලේන් මැක්ස්වෙල්ගේ පිත්ත කතා කිරීමට ….

එහෙත් ආරම්භයේ සිටම තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගත් ඇෆ්ගන්  පන්දු යවන්නන් අයර්ලන්ත ආරම්භක පිතිකරුවන්ට ස්ථාවර වීමට ඉඩනොදී මුළු ලකුණු සංඛ්‍යාව 1ක් වන විට නායක විලියම් පොර්ටෆීල්ඩ් ආපසු ක්‍රිඩාගාරයට හරවා යැවීමට සමත්වූ අතර එම කඩුල්ල මුජිබ් උර් රහමාන් ඉදිරියේ ලියවිණි.

අයර්ලන්ත ලකුණු පුවරුවේ මුල් පන්දුවාර 7 ලකුණු 14ක් වැනි මන්දගාමී තත්ත්වයක පවතින අවස්ථාවේ දී නැවත වරක් 8 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ මුජිබ් උර් රහමාන්, ඇන්ඩි බැල්බර්නි සහ ජේම්ස් මැකලම් දවා ගැනීමට සමත් විය. අනතුරුව සිව්වැනි කඩුල්ලට පිටියට පිවිසි කෙවින් ඕ බ්‍රයන් ලකුණු 10ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් කිරීමට ගුල්බඩීන් නයීබ් සමත් විය.

පසුව අයර්ලන්ත ඉනිමේ 55 සහ 69 ලකුණු සීමාවල දී පස්වැනි සහ හයවැනි කඩුලු ලෙස සිමී සින් (8) සහ ස්ටුවර්ට් පොයින්ටර් (7) දවා ගැනීමට මොහොමඩ් නබී සහ ඩව්ලට් සඩ්රාන් කටයුතු කළහ.

කෙසේ වෙතත් ඒ වන විටත් පන්දුවාර 30යි පන්දු දෙකක් තුල ලකුණු 69කට කඩුලු 6ක් දැවී අයර්ලන්තය ඉතා අසීරු අඩියකට වැටී තිබුණ ද ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි පෝල් ස්ටීර්ලින් එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් හුදකලා ඉනිමක් දියත් කරමින් සිටියේය.

ඇෆ්ගන් පන්දු යවන්නන් සුනුවිසුනු කර තිබූ අයර්ලන්ත ඉනිමේ යම් පමණකින් හෝ සාර්ථකත්වයක් ලබා ගත් එකම සබඳතාවය හත්වැනි කඩුල්ලට ජෝර්ජ් ඩොක්රල් සහ පෝල් ස්ටීර්ලින් විසින් ගොඩනැගූ අතර ඔවුන් දෙදෙනා එක්ව පන්දු 90ක් තුල ලකුණු 76ක් ලබා ගැනීමට සමත් විය.

සුබ පෙරනිමිති රැසක් මැද ශ්‍රී ලංකාව පුහුණු තරගය ජය ගනියි

විශිෂ්ට ටෙස්ට් තරග ජයග්‍රහණ දෙකක් සමඟින් දකුණු….

අයර්ලන්ත ඉනිම ලකුණු 145ක් වන විට ඩොක්රල් ලකුණු 37කට දැවී ගිය අතර ඒ වන විට ඔහු පන්දු 47කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් එල්ල කර තිබුණි. අනතුරුව බැරී මැකාර්ති සහ ටිම් මුර්ටැග් දෙදෙනා ලකුණු ලබා නොදී දවා ගැනීමට ඩව්ලට් සඩ්රාන් සමත් විය.

ඉනිමේ වැඩි බර කරට ගනිමින් අවසානය තෙක් පිටියේ රැඳෙමින් හුදකලා සටනක නිරත වූ ස්ටීර්ලින් 49 වැනි පන්දුවාරයේ දෙවන පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදී දැවී යාමත් සමඟින් අයර්ලන්ත ඉනිම ලකුණු 161කට නිමා විය. ඔහු දැවී යන විට ස්ටීර්ලින් පන්දු 150කට මුහුණ දී ලකුණු 89ක් රැස්කරගෙන සිටි අතර ඊට හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.

ඇෆ්ගන් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මුජිබ් උර් රහමාන් ලකුණු 14කට කඩුලු 3ක් සහ ඩව්ලට් සඩ්රාන් ලකුණු 35කට කඩුලු 3ක් බිඳ හෙළීය. එමෙන්ම ගුල්බඩීන් නයීබ් ලකුණු 20කට කඩුලු දෙකක් සහ මොහොමඩ් නබී සහ රෂීඩ් ඛාන් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.

ඒ අනුව ලකුණු 162ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් පන්දුවාර 41යි පන්දු 5ක් තුල කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 165ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

එහි දී ආරම්භක කඩුල්ලට ලකුණු 43ක් එක්කිරීමට මොහොමඩ් ශේෂාඩ් සහ හස්රතුල්ලා සසායි පියවර ගත් අතර සසායි දැවී යන විට ඔහු හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් රැස්කර සිටියේය.

ගේල්ගේ උත්සහය අපතේ යයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ සත්කාරක….

අනතුරුව ශේෂාඩ් සමඟින් එක්වූ රහමට් ෂා දෙවන කඩුල්ලට ලකුණු 47ක සබඳතාවක් ගොඩනැගූ අතර දෙවන කඩුල්ල ලෙස ශේෂාඩ් දැවී යන විට ඔහු පන්දු 53කින් ලකුණු 43ක් ලබා සිටියේ හතරේ පහර 6ක් වාර්තා කරමිනි.

ඇෆ්ගන් ලකුණු පුවරුව 92ක් වන විට ලකුණු 22ක් ලබා සිටි රහමට් ෂා, බොයිඩ් රැන්කින්ගේ පන්දුවක් හමුවේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

පසුව මුළු ලකුණු සංඛ්‍යාව 104ක් වන විට හස්මතුල්ලා ෂාහිඩ් සිව්වැනි කඩුල්ල ලෙස ලකුණු 9කට දැවී ගිය නමුත් අනතුරුව පිටියට පිවිසි ගුල්බඩීන් නයීබ්, නායක අස්ගාර් අෆ්ගන් සමඟ එක්ව ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය පේන මානය තෙක් රැගෙන ආවේය. පස්වැනි කඩුල්ල ලෙස ගුල්බඩීන් නයීබ් දැවී යන විට ඔහු පන්දු 61කින් ලකුණු 46ක් ලබා සිටි අතර එම ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහරක් අන්තර්ගත විය.

තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 9ක් අවශ්‍ය මොහොතක හයවැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි නජිබුල්ලා සඩ්රාන්, ජෝර්ජ් ඩොක්රල් ක්‍රියාත්මක කළ 42 වැනි පන්දුවාරයේ පන්දු 3කට පමණක් මුහුණ දී දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කරමින් ඇෆ්ගන් කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේය.

අයර්ලන්තය වෙනුවෙන් බොයිඩ් රැන්කින් ලකුණු 48කට කඩුලු දෙකක් දවා ගත් අතර සිමි සිං පන්දුවාර 10ක් යොමු කරමින් ලකුණු 19කට කඩුල්ලක් දවා ගැනීම සුවිශේෂී විය. බැරී මැක්ක්‍රාති සහ ජෝර්ජ් ඩොක්රල් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.  

තරගයේ වීරයා සම්මානය දක්ෂ පන්දු යැවීමක නිරත වූ මුජිබ් උර් රහමාන්ට හිමි විය.

ඒ අනුව අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පෙරමුණ ගෙන සිටී.

දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය ලබන 02 වැනිදා (හෙට) පැවැත්වීමට නියමිතයි.

අයර්ලන්ත ඉනිම: කඩුලු 10ක් දැවී 161 (49.2) පෝල් ස්ටීර්ලින් 89, ජෝර්ජ් ඩොක්රල් 37, මුජිබ් උර් රහමාන් 14/3, ඩව්ලට් සඩ්රාන් 35/3, ගුල්බඩීන් නයීබ් 20/2

ඇෆ්ගනිස්ථාන ඉනිම:  කඩුලු 5ක් දැවී 165 (41.5)ගුල්බඩීන් නයීබ් 46, මොහොමඩ් ශේෂාඩ් 43, හස්රතුල්ලා සසායි 25, බොයිඩ් රැන්කින් 48/2, සිමී සිං 19/1

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<