අපේ කණ්ඩායම දවසෙන් දවස ඉදිරියට යනවා – ඇෆ්ගන් නායක

485
Times Now

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – ඇෆ්ගනිස්තාන තරගය ඊයේ (22) සදම්ටන් හිදී පැවැත්වුණු අතර එම තරගය තියුණු සටනකට පසුව 11ක තියුණු ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය.

ශාමිගේ කඩුලු ත්‍රිත්වය ඉන්දියාව පරාජයෙන් ගලවා ගනියි!

This clip will only be available in Sri Lanka for viewing up to 3 days from the date of…

තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ඇෆ්ගනිස්තාන කණ්ඩායම් නායක ගුලාබ්ඩින් නයිබ් පවසා සිටියේ දිනෙන් දින තම කණ්ඩායම සංවර්ධනය වෙමින් ඉදිරියට යන බව තමන් දුටු බවයි.

කාසියේ වාසිය හිමි කර ගත් ඉන්දියානු නායක කෝලි පළමුව පහර දීමට තීරණය කළේ විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ අරමුණින් වුවත් ඇෆ්ගනිස්තානු පන්දු යවන්නන් ප්‍රබල ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසාන වන විට කඩුලු 8ක් දැවී ලකුණු 224කට රඳවා ගැනීමට සමත් වූයේ සියලු ක්‍රීඩාලෝලීන් මවිතයට පත් කරමිනි.

ඇෆ්ගනිස්තානු නායකයා දඟපන්දු යවන ක්‍රීඩක මුජීබ් රහමන්ගෙන් පන්දු යැවීම ආරම්භ කළ අතර එම තීරණය සාර්ථක කරමින් රෝහිත් ශර්මා මුජීබ්ගේ පන්දුවකට දැවී ගියේ එක් ලකුණක් ලබා සිටිය දී ය.

ඉන්පසු පිටියට පිවිසි සුපිරි පිතිකරු විරාත් කෝලි දක්ෂ ලෙස පිතිකරණයේ යෙදෙමින් ඉන්දියානු ලකුණු පුවරුව ඉහළ දැමීමට කටයුතු කළේ ප්‍රතිවාදී පන්දු යවන්නන් හට සාර්ථකව මුහුණ දෙමිනි. ලොකේෂ් රාහුල් හා විජේ ශන්කර් ඔහුට හොඳ සහයෝගයක් ලබා දුන්න ද ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය පහළ මට්ටමක රඳවා ගැනීමට ඇෆ්ගන් පන්දු යවන්නන් සමත් විය.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම මේ වන විට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 6කට මුහුණ දී තරග 6ම පරාජය වී තිබෙන අතර ඔවුන්ට මීළඟ වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව ද මේ වන විට අහිමි වී තිබේ.

“අපි මේ තරගාවලියේ පළමු තරග 4 ක්‍රීඩා කරලා පරාජය වුනේ ඉතාමත් දුර්වල විදිහටයි. නමුත් අපි ඉන් පසුව පැවති එංගලන්ත හා ඉන්දීය තරග දෙකේ දී අපේ ප්‍රතිවාදී කණ්ඩායම් වලට හොඳ අභියෝගයක් ලබා දුන්නා. ඔවුන් වුනත් එවැනි ආකාරයක අභියෝගයක් අපේ කණ්ඩායමෙන් ලැබෙයි කියලා හිතාගෙන හිටියේ නැහැ. ඉතින් මම අපේ කණ්ඩායම දවසින් සවස සංවර්ධනය වෙන විදිහ දකිනවා.” යැයි නයිබ් පැවසීය.

ඔහු නැති අඩුව අපිට තදටම වැදුණා – එංගලන්ත නායක

ඊයේ (21) දිනයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් නොසිතූ පරාජය නිසා 2019 ලෝක කුසලාන ක්‍රිකට්…

ලකුණු 225ක ඓතිහාසික ජයග්‍රහණයක බලාපොරොත්තු සමඟින් පිටියට පිවිසි ඇෆ්ගනිස්තානු පිතිකරුවන්ට එම ඉලක්කය පහසුවෙන් හඹා යෑමට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබුණි.

ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 20 දී බිඳ වැටුණු අතර ඉන්පසු නායක ගුලාබ්ඩින් නයිබ් හා රහමට් ෂා පිළිවෙළින් ලකුණු 27ක් හා 36ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රාහී මාවතේ රඳවා ගැනීමට උත්සහ කළහ. නමුත් ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය පහළ මට්ටමක පැවතීම ලබා ගත යුතු ව තිබූ ඉලක්කය තව තවත් අසීරු කළේය.

එහි දී වැඩිදුරත් අදහස් දැක්වූ නයිබ්,

“එංගලන්තය කියන්නේ මෙවර ලෝක කුසලානය දිනයි කියලා ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්න කණ්ඩායම. ඉන්දියාව අපේ පිතිකරුවන්ව ඉතාමත් හොඳින් පාලනය කළා. ඔවුන්ට හොඳ පන්දු යවන බලඇණියක් ඉන්නවා. නමුත් අපේ පිතිකරුවන් ක්‍රීඩා කළ ආකාරය ගැන මම නායකයා ලෙස ගොඩක් සතුටට පත්වෙනවා.”

“අපි ලකුණු 220ක 250ක වගේ ඉලක්කයක් පසුපස යනකොට අපේ මැදපෙළ පිතිකරුවෙක් ලකුණු 50ක් හෝ 80ක්වත් රැස්කරගන්න ඕන. ලකුණු 20-30ක වගේ ප්‍රමාණයක් ටිකක් මදි. කොහොම නමුත් මම මේ තරගය අවසානයේ දී නායකයා ලෙස මගේ කණ්ඩායම ගැන ගොඩක් සතුටු වෙනවා.” යැයි නයිබ් සිය කණ්ඩායම ගැන පවසන ලදි.

“අපේ වැරදි වලින් ඉගෙන ගත්තා. මේ වගේ තරගයක දී එන පීඩනය හසුරවගන්න අපි ටිකක් මැලි වුනා කියලයි මම හිතන්නේ. අපිට ඒ ලකුණු ගැන හඹා යන්න පුළුවන්කමක් තිබුණා. නමුත් ඉන්දියාව ඔවුන් සතු අත්දැකීම්වලින් අපිව පාලනය කළා.  ටිකක් දුකයි මොකද අපිට ඉන්දියාව වගේ ප්‍රබල කණ්ඩායමක් පරද්දන්න තිබුණ අවස්ථාව ගිලිහුණු එක ගැන.”

දික්වැල්ල, තිසර සහ උදාන කැනඩාවට වෙන්දේසි වේ

දෙවන වතාවටත් පැවැත්වෙන ග්ලෝබල් කැනඩා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය…

“මම ආසම ක්‍රීඩකයින්ගෙන් කෙනෙක් තමයි විරාත් කෝලි කියන්නේ. කොහොම වුනත් අපිට අද ඔවුන්ව පරාජය කරන්නා තිබුණ අවස්ථාව ගිලිහුණා. කොහොම වුනත් ඉන්දියාව කියන්නේ දැන් ඉන්න ක්‍රිකට් කණ්ඩායම් අතර හොඳ ප්‍රබලයෙක්. “

මෙම තරගාවලියේ පාකිස්තානය හා දකුණු අප්‍රිකාව අතර තරගය අද (23) ලන්ඩන් හී දී පැවැත්වීමට නියමිත ය.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<