නිලූක 15 වැනි වරටත් ජාතික ශූරයා වෙද්දී යුගල සහ මිශ්‍ර යුගල පරදියි

267
64th National Badminton Championship

මතභේදාත්මක කරුණු ගණනාවක්‌ මධ්‍යයේ පෙරේදා (29 දා) කුරුණෑගලදී නිමාවට පත්වු 64 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ද්විත්ව ශූරතා දිනා ගැනීමට තිළිණි හෙන්දහේවා ක්‍රීඩිකාව සමත් වූවාය.

පසුගිය ලිපි: ගුවන් සෙබලියෝ ශූරතාවය සමඟ ඉගිලෙයි

කාන්තා කේවල අවසන් මහා තරගයේදී කවිදි ඉෂාදිකාව තරග වට 2-0 ක්‌ (21-14, 21-15) ලෙස පරාජය කළ තිළිණි අනතුරුව කවිදි ඉෂාදිකා සමඟ එක්‌ව යුගල ඉසව්වේදී තරග වදිමින් අදාළ ද්විත්ව ශූරතා දිනා ගැනීම විශේෂත්වයකි. ද්විත්ව ශූරතාව අවසන් තරගයේදී තිළිණි සහ ඉෂාදිකා අතින් තරග වට 2-0 ක්‌ (21-17, 28-26) ලෙස අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා පරාජයට පත් වුහ.

සුපුරුදු පරිදි පිරිමි කේවල අංශයේ ශූරතාව නිලූක කරුණාරත්න විසින් දිනා ගත් අතර අවසන් මහා තරගයේදී නිලූකගේ බාල සොහොයුරු චාමික කරුණාරත්න තරග වට 2-0 ක්‌ (21-14, 21-10) ක්‌ ලෙස තම වැඩිමහල් සොහොයුරා අතින් පරාජය විය.

ඒ අනූව මෙය නිලූක විසින් ජාතික ශූරතාවක්‌ දිනා ගන්නා ලද 15 වැනි වතාව ලෙසද පිට පිටම ජාතික ශූරතාවක්‌ දිනා ගන්නා ලද හයවැනි වතාව ලෙසද සටහන් වේ.

ශ්‍රී ලංකාවේ අංක එකේ බැඩ්මින්ටන් ක්‍රීඩකයා බවට නිලූක පත්ව සිටියද හෙතෙම නියෝජනය කරන ලද පිරිමි යුගල සහ මිශ්‍ර යුගල ඉසව් දෙකම පරාජයට පත්වීම තරගාවලියේ කැපී පෙනෙනම සිදුවීම බවට පත්විය.

පිරිමි යුගල ඉසව්ව තම සොහොයුරු ඩිලුක කරුණාරත්න සමගින්ද මිශ්‍ර යුගල ඉසව්ව චන්ද්‍රිකා ද සිල්වා සමගින්ද තරග වැදුණ අතර එම අවසන් මහා තරග දෙකම තරග වට 2-1 ක්‌ ලෙස නිලූකගේ පිල පරාජයට පත්විය.

පිරිමි යුගල ඉසව්වේදී බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස්‌ හමුවේද මිශ්‍ර යුගල ඉසව්වේදී කවිදි ඉෂාදිකා සහ බුවනෙක ගුණතිලක හමුවේද නිලූකගේ පිල පරාජය විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට