ජුලි මස 6 වැනි දා සිට 9 වැනි දා දක්වා ඉන්දීයාවේ පැවැත්වීමට නියමිත ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 22 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද (14) නිළ වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කරන ලදි.
මෙම ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩිකාවන් 7 දෙනෙකු හා ක්‍රීඩකයින් 15 දෙනෙක් ගෙන් සැදුම්ලත් අතර, සහය දිවීමේ ඉසව් දෙකක් නියෝජනය කරන කණ්ඩායම් දෙකක් හා තනි තනි ඉසව් 16ක් සඳහා මෙම ක්‍රීඩික ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාව කණ්ඩායම නියෝජනය කරනු ඇත. සහය දිවීමේ ඉසව්ව 4×100m හා 4×400m සඳහා පිරිමි සහය දිවීමේ කණ්ඩායම් දෙකක් සහභාගි වන අතර, කාන්තා සහය දිවීමේ කණ්ඩායමක් සහභාගි වීම සිදු නොවේ.
ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම 4ක් 5ක් පමණ ප්‍රමාණයක් මෙවර තරඟාවලිය තුළ දී ජයග්‍රහණය කිරීමට අපේක්ෂා කරන අතර, ඒ අතර 100m කාන්තා හා පිරිමි ඉසව්, කාන්තා පිරිමි 800m ඉසව්ව හා උස පැනීමේ ඉසව්වේ පදක්කම කෙරෙහි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළ බලාපොරොත්තු තබා ඇත.
සුපිරි ධාවන ශූර හිමාශ ඒශාන් හා විනෝජ් සුරංජය 100m ඉසව්වේ ඔවුන්ගේ උපරිම දක්ෂතා පෙන්නුම් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතර, සුරංජය 100m ඉසව්ව සඳහා හොඳ කාලයක් වාර්තා කරගෙන ඇත. එම ක්‍රීඩකයින් දෙපලම 4×100m සහය දිවීමේ ඉසව් සඳහා තම දායකත්වය දැක්වීමට සූදානම්ව සිටන අතර, ඒ.එල්.එම්. අශ්රෆ්, ශෙහාන් අඹේපිටිය හා එම්.එස්.මොහොමඩ් සෆ්රාන් යන ක්‍රීඩකයන් ඒ සඳහා තම උපරිම දායකත්වය ලබාදීමට සූදානමින් සිටී.
රුමේශිකා රත්නායක 100m හා 200m ධාවන ඉසව් වලදී වැඩි දස්කම් දැක්වීමට හැකි ක්‍රීඩිකවක් වන අතර, ඇය 100m ඉසව්වේ තම පෞද්ගලික හොඳම කාලය තත්පර 11.60ක කාලයකින් අවසන් කර ඇත. ඇය ගේ 200m ඉසව්වේ හොඳම පෞද්ගලික කාලය ලෙස තත්පර 23.85ක කාලයක් ඇය වාර්තා කර ඇත. පසුගිය වසරේ නිමා වූ දකුණු ආසියානු තරඟාවලියේ වේගවත්ම කාන්තාව ලෙස විරුදාවලිය ලබාගෙන රන් පදක්කමද ජයග්‍රහණය කිරීමේ කීර්තියද ඇය සතුව ඇත.
ඉඳුනිල් හේරත් ද නිමා වූ දකුණු ආසියානු තරගාවලියේ 800m ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් ක්‍රීඩකයෙක් වන අතර, ඔහු පිළිබඳව ද සුබදායී බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකි වී ඇත. එම ඉසව්වේ කාන්තා අංශයේ ද වැඩි දස්කම් දැක්වීමට නිමාලි ලියනාරච්චි හා ගයන්තිකා අබේරත්න සමත් වනු අතැයි බලාපොරොත්තු විය හැකිය.
හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක වරුණ දයාරත්න ආසියානු මට්ටමින් දැනට 6 වැන්නා ලෙස ශ්‍රේණිගත කිරීම් වල පසුවන අතර, 80m පමණ දක්ෂතාවයක් දැක්වීමට හැකි ක්‍රීඩකයෙක් ලෙස ඔහුව හැදින්වීමට හැකිය.
2016 වර්ෂයේ දී පැවැත්වූ දකුණු ආසියානු තරගාවලියේ උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම් ලාභී මංජුල කුමාර මේ වන විට 2.27m පමණ මට්ටමේ දස්කම් අතර පසුවෙයි. ඔහු මෙම ඉසව්වේ ජාතික වාර්තාව හා දකුණු ආසියානු වාර්තාව යන වාර්තා ද්විත්වයටම හිමිකම් කියන අතරම, .ඔහු ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒමට සිටින ප්‍රබල ක්‍රීඩකයෙකු ලෙස සැලකීමට හැකිය.
සංජය ජයසිංහ හා විදූශා ලක්ෂානි තුන් පිම්ම ඉසව් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන අතර, ජයසිංහ 16.08m ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කර ඇත. එසේම එම ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩිකාවක් වන විදූශා 14.54m ක දක්ෂතාවයක් මෙම ඉසව්ව තුල දක්වා ඇත. ඇය පසුගිය වර දකුණු ආසියානු තරගාවලියේ රිදී පදක්කම් ලාභී ක්‍රීඩිකාවක් ද වේ.
ශ්‍රී ලංකා සංචිතය
පිරිමි අංශය
- ඩබ්.කේ.හිමාශ ඒශාන් 100m, 4×100m
- විනෝද් සුරංජය සිල්වා 100m, 200m, 4×100m
- අජිත් ප්‍රේමකුමාර 400m, 4×400m
- එච්.එම්. දුලිප් රුවන් 400m, 4×400m
- එච්.එම්. ඉඳුනිල් හේරත් 800m
- මංජුල කුමාර විජේසේකර උස පැනීම
- දනුක ලියනපතිරන දුර පැනීම
- සංජය ජයසිංහ තුන් පිම්ම
- වරුණ ලක්ෂාන් දයාරත්න හෙල්ල විසිකිරීම
- ඒ.එල්.එම්. අශ්රෆ් 4×100m
- ශෙහාන් අඹේපිටිය 4×100m
- එම්.එස්.මොහොමඩ් සෆ්රාන් 4×100m
- ආර්.පී.ඒ.ඩී. ප්‍රදීප් කුමාර 4×400m
- පී.එම්.ඩබ්.ජී. දනංජය 4×400m
- එච්.කේ. කාලිංග කුමාරගේ 4×400m
කාන්තා අංශය
- ආර්.එම්. රුමේශිකා රත්නායක 100m, 200m
- පී.ජී.එන්. මදුශිකා 400m
- ගයන්තිකා තුශාරි අබේරත්න 800m
- ඩබ්.කේ. නිමාලි ලියනාරච්චි 800m
- යූ.කේ. නිලානි රත්නායක 3000m
- එච්.ඩී. විදූශා ලක්ෂානි තුන් පිම්ම
- එච්.එල්.එම්. දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීම