ආසියානු අභියෝගය ජය ගැනීමට ක්‍රීඩිකාවන් 22 දෙනෙකු සූදානමින්

120

දකුණු කොරියාව කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වීමට නියමිත 2020 ආසියානු දැල්පන්දු ශූරතාවය සඳහා වන අවසන් ශ්‍රී ලංකා සංචිතය තෝරාපත් කරගැනීමේ තරග අද (8) දිනයේ දී කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විය. 

ඔවුන් අතරින් ක්‍රීඩිකාවන් 22 දෙනෙකු ශ්‍රී ලංකා වර්ණයන්ගෙන් සැරසී ක්‍රීඩා කිරීමේ භාග්‍ය උදාකර ගැනීම සඳහා තවත් එක් ඉදිරි පියවරක් තැබීමට සමත්කම් දැක්විය.

ආසියානු කිරුළ රැකගන්නට යන සංචිතය සඳහා ක්‍රීඩිකාවන් තෝරා ගැනේ

2020 ආසියානු දැල්පන්දු ශූරතාවය සඳහා සහභාගී වන ක්‍රීඩිකාවන් 20…..

තෝරාගැනීමේ තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 35 දෙනෙකුගෙන් සැදුම්ලත් සංචිතයක් ඉදිරිපත්ව සිටි අතර ඔවුන් හට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ පුහුණුවීම් කටයුතුවල නිරත වෙමින් මෙම අවසන් තෝරාපත් කරගැනීමේ තරගාවලිය සඳහා හොඳ පෙර සූදානමක් ලබා ගැනීමේ අවස්ථාව හිමි විය.

ජාතික දැල්පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිණිය ලෙස කටයුතු කරන තිලකා ජිනදාස මහත්මිය, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිතුමිය ඇතුළුකොට ගෙන පද්මා බද්දේවෙල මහත්මිය විසින් මෙහෙයවූ ප්‍රවීණ තේරීම් කමිටු මඩුල්ල මෙම ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවන් ඉතා සූක්ෂමව අධ්‍යයනය කරමින්, ඔවුන්ගෙන් වඩාත් සුදුසුකම් සපුරාලූ ක්‍රීඩිකාවන් තෝරාපත් කරගැනීමේ කාර්‍යභරය ඉටු කරන ලදි.

2018 වසරේ දී අවසන් වරට පැවති ආසියානු ශූරතාවලිය සඳහා සහභාගී වූ ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් 12 දෙනාගෙන් එක් අයෙකු හැරෙන්නට අනෙක් සියලුම තරගකරුවන් මෙවර සංචිතය සඳහා ඇතුලත්ව තිබෙන අතර ගයාන්ජලි අමරවංස සහ තිසලා අල්ගම යන ක්‍රීඩිකාවන් දෙදෙනා අසනීප තත්වයන් නිසාවෙන් අද දිනයේ දී පැවති තේරීම් තරග සඳහා සහභාගී වීමෙන් වැළකී සිටියහ. 

කෙසේ නමුත් ශ්‍රී ලංකා දැල්පන්දු ඉතිහාසයෙහි එදා මෙදා තුර බිහි වූ සුපිරිතම විදින්නිය ලෙස අප සැමගේ ගෞරවාදරයට පාත්‍රවන තර්ජනී සිංවලින්ගම් මෙවරත් ආසියානු ශූරතාවලිය සඳහා එක්ව සිටීම ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරග ජයග්‍රහණය කිරීමේ දී මහත් ශක්තියක් වනු ඇත.

නාවික හමුදාව පරදා හැටන් නැෂනල් ක්‍රීඩිකාවන් ශූරතාව දිනති

පසුගිය සති අන්තයේ දී පැවැත්වුණු ඩයලොග් ජාතික දැල්පන්දු ශූරතාවලියේ……

22 දෙනෙකුගෙන් සමන්විත සංචිතය:

රුක්ෂලා හපුආරච්චි, තර්ජනී සිවලිංගම්, දීපිකා දර්ශනී, ඉමාෂා සංදීපනී, දර්ෂිකා අබේවික්‍රම, නෞචාලී රාජපක්ෂ, ගයනි දිසානායක, දුෂානි බණ්ඩාර, හසිතා මෙන්ඩිස්, දුලංගා ධනන්ජි, ගයත්‍රි කෞෂල්‍යා, තිළිණි වත්තෙගෙදර, දුලංගි වන්නිතිලක, සමුද්ධි අබේගුණවර්ධන, මන්දිරා චරුෂි, සුරේකා කුමාරි,ශානිකා මධුභාෂිනී, MKA ටෙක්ලා, දිලිනි පෙරේරා, ගයාන්ජලී අමරවංස, තිසලා අල්ගම, එලිලෙන්තිනි සෙතුකවලාර්

අවසන් සංචිතය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ වරම අහිමි වූ ක්‍රීඩිකාවන් 13 දෙනා ඒකරාශී කරගනිමින් ශ්‍රී ලංකා “A”සංචිතයක් නිර්මාණය කිරීමට ද මෙවර පියවර ගෙන ඇති අතර එම කටයුත්ත භාරව ක්‍රියා කිරීමේ වගකීම හිටපු ශ්‍රී ලංකා නායිකාවක් මෙන්ම ජාතික ශූරතාවලිය දෙවතාවක් දිනා ගත් හැටන් නැෂනල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සෂිකා සමරසිංහ මහත්මිය හට පැවරී තිබේ. 

මෙමඟින් ඉදිරියේ දී දස්කම් දක්වන යොවුන්, දක්ෂ ක්‍රීඩිකාවන් හට පහසුවෙන්ම ජාතික කණ්ඩායමේ දොරටු විවර කරගැනීමේ අඩිතාලම සකසාදෙන අතර වසර පුරාවටම සංවිධානය කෙරෙන සුහද තරගාවලීන් සඳහා ක්‍රීඩා කිරීමේ අවකාශ තනාදෙමින් ක්‍රීඩිකාවන් හට වැඩි තරග අත්දැකීම් ප්‍රමාණයක් ලබා දීමට ද අපේක්ෂා කෙරේ.

වසර අවසානයේ දැල්පන්දු කැලැන්ඩරයට තරගාවලි දෙකක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා……

2018 වසරේ පැවති ආසියානු ශූරතා තරගාවලියේ දී ශූරයින් ලෙස කිරුළු පැලඳී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේ දී සත්කාරක සිංගප්පූරු කණ්ඩායම ලකුණු 69-50ක් ලෙස පරාජයට පත්කිරීම වඩාත් කැපී පෙනුණි. ඉන් නොනැවතුනු දැල්පන්දු වීරවරියන් පසුගිය වසරේ දී එංගලන්තයේ ලිවර්පූල්හීදී පැවති ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ දී ද සාධනීය ජයග්‍රහණයන් කිහිපයක්ම ලක්මාතවගේ නම ඉදිරියෙන් සටහන් කරදීමට සමත් විය.

තවද මෙවර තරගාවලිය සඳහා කොරියාව බලා පිටත්ව යන ක්‍රීඩිකාවන් 12දෙනෙකුගෙන් සන්නද්ධ අවසන් සංචිතය එළඹෙන 26 වැනිදා තෝරාපත් කරගෙන අවසන් කිරීමට ද කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට <<