අනපේක්ෂිත දිනයක ශ්‍රී ලංකාවේ අපේක්ෂා ඉටු වෙයි!

World Athletics Championship 2025

23
World Athletics Championship 2025

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පස්වැනි දිනය ඊයේ (16) ඉතා සාර්ථක අයුරින් නිමාවට පත් වුනා.

ඊයේ දිනය ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා රසිකයින් වඩාත් උද්දාමයට පත් කළ දිනයක් ලෙස හඳුන්වාදිය හැකි. රුමේෂ් තරංග විසින් ඊයේ පිරිමි හෙල්ල විසි කිරීමේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

මීට අමතරව ඊයේ දිනය තුළ ද සැලකිය යුතු අවධානයක් හිමි වූ තරග ඉසව් කිහිපයක් ම ක්‍රියාත්මක වුනා.

රිටි පැනීමේ ශූරිය නොසැලී ඉදිරියට

නොකඩවා තෙවැනි වරටත් රිටි පැනීමේ ලෝක ශූරිය බවට පත් වීමට ඇමරිකාවේ Katie Moon විසින් ඊයේ සමත් වුනේ මීටර් 4.90ක උසක් සමඟයි. මේ අතර එහි දෙවැනි ස්ථානය ඇමරිකාවේ ම Sandi Morris හට හිමි වුනා.

මීටර් 200 සටන ඇරඹෙයි

කාන්තා සහ පිරිමි මීටර් 200 ඉසව්වේ මූලික වටයේ තරග ඊයේ ආරම්භ වුනා. කාන්තා අංශයෙන් හොඳම කාලය වාර්තා කිරීමට ඇමරිකානු ක්‍රීඩිකා Anavia Battle සමත් වූ අතර, ඊට අමතරව, Melissa Jefferson-Wooden, Shericka Jackson වැනි ලොව නම් දැරූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

මේ අතර මෙහි පිරිමි අංශයේ හොඳම කාලය වාර්තා කිරීමට ජැමෙයිකාවේ Bryan Levell සමත් වූ අතර, ඊට අමතරව Noah Lyles, Kenneth Bednarek, Letsile Tebogo වැනි ලෝ පතල ක්‍රීඩකයින් රැසක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

දුර පැනීමේ ලෝක ශූරයා අතුරුදන්

පිරිමි දුර පැනීම ඉසව්වේ අවසන් තරගය ද ඊයේ ක්‍රියාත්මක වුනා. කලක සිට දුර පැනීම ඉසව්වේ කිසිඳු අභියෝගයක් නොලද ග්‍රීසියේ Miltiadis Tentoglou හට ඊයේ එකොළොස් වැනියා ලෙස තරගය නිම කරමින්, පදක්කමක් නොලැබ නැවත හැරී යාමට සිදුවීම විශේෂත්වයක්. හිටපු ලෝක ශූරයාගේ ගමන එසේ නතර වන විට, නව ලෝක ශූරයෙක් මෙවර ඉතාලියෙන් හමු වූ අතර, ඔහු මෙම ඉසව්වේ ලෝක ශූරතාව ජයග්‍රහණය කළ ළාබාලතම ක්‍රීඩකයා බවට ද පත් වුනා. මීටර් 8.39ක දුරක් තරණය කළ විසි හැවිරිදි Mattia Furlani විසිනුයි ඊයේ දුර පැනීම ඉසව්ව ජය ගැනීමට සමත් වුනේ.

මීටර් 400 කඩුලු මතින් දිවීම

මෙම ඉසව්වේ අවසන් පූර්ව තරග ඊයේ ක්‍රියාත්මක වුනා. කාන්තා අංශයේ දී වත්මන් ලෝක ශූරිය වන නෙදර්ලන්තයේ Femke Bol හොඳම කාලය ද වාර්තා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

මේ අතර පිරිමි අංශයේ හොඳම කාලය නයිජීරියාවේ Ezekiel Nathaniel විසින් වාර්තා කිරීමට සමත් වූ අතර, වත්මන් ලෝක වාර්තාවේ හිමි කරු වන Karsten Warholm ද අවසන් තරගයට පහසුවෙන් සුදුසුකම් ලබාගත්තා.

නව තරගාවලි වාර්තාවක්

කාන්තා මීටර් 3000 ඉසව්ව නියෝජනය කළ කෙන්යාවේ Faith Cherotich විසින් මිනිත්තු 8.51.59ක කාලයක් සමඟ නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවමින් ඉසව්වේ රන් පදක්කම ජය ගැනීමට සමත් වුනා.

අනපේක්ෂිත තරගාවසානයක්

මෙවර ලෝක ශූරතාව තුළ බොහෝ ධාවන ඉසව් අනපේක්ෂිත අවසාන කරා ඇදී ගිය අතර, එහි තවත් එක පරිච්ඡේදයක් ඊයේ පිරිමි මීටර් 1500 ඉසව්වෙන් ද සටහන් වුනා. මෙම ඉසව්ව නියෝජනය කළ වත්මන් ලෝක ශූර Josh Kerr ධාවනය අතර තුර පාදයේ ආබාධයක් නිසා මන්දගාමී වුනා. කෙසේ වෙතත් තවත් හිටපු ලෝම ශූරයකු වන Jake Wightman මෙන්ම, යොවුන් ක්‍රීඩක බලාපොරොත්තුවක් වූ Niels Laros ද තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉතා හොඳ සටනක යෙදුණා. නමුත් තරගය අවසන් වීමට මොහොතකට පෙර ක්‍රියාත්මක වූ පෘතුගාලයේ Issac Nader විසින් ඉසව්ව ජය ගැනීමට සමත් වුනේ සමස්ත ක්‍රීඩා පිටියම පුදුමයට පත් කරවමිනුයි.

අද (18) දිනයේ බලාපොරොත්තු

අද දිනය ශ්‍රී ලාංකික මලල ක්‍රීඩා රසිකයින්ට ඉතා වැදගත් දිනයක් වනු ඇති. රුමේෂ් තරංග අද දිනයේ දී පිරිමි හෙල්ල විසි කිරීම අවසන් තරගයට සහභාගී වීමට නියමිත අතර, ක්‍රීඩකයින් 12 දෙනා අතුරින් ඔහු 10 වැනි ක්‍රීඩකයා ලෙස තරග බිමට පිවිසීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.53ට ආරම්භ වනු ඇති.

මීට අමතරව කාන්තා තුන් පිම්ම, කාන්තා සහ පිරිමි මීටර් 400 ඉසව්වල අවසන් තරග ද අද සවල් කාලයේ දී ක්‍රියාත්මක වනු ඇති.

එම තරග තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>