වසර 20ක අතීතය වෙනස් කළ දිනයක් නිමා වෙයි!

World Athletics Championship 2025

21
World Athletics Championship 2025

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ සිව්වැනි දිනය ඊයේ (16) ඉතා සාර්ථක අයුරින් නිමාවට පත් වුනා.

ඊයේ දිනය තුළ ලෝක සහ ඔලිම්පික් ශූරයින් සිය ගෞරවය රැක ගනිමින් ඉදිරියට යාම විශේෂත්වයක්. මීට පෙර දින කිහිපයේ බොහෝ විට වැඩි බලාපොරොත්තු තැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරමක් පසුබෑමකට ලක් වන බවක් පෙනෙන්නට තිබුණා.

තුන් පිම්මේ ලෝක ශූරිය නැවතත් සටනේ

තුන් පිම්ම ඉසව්වේ වත්මන් ලෝක ශූරිය වන වෙනිසියුලාවේ Yulimar Rojas වසර දෙකකට පසුව නැවතත් මලල ක්‍රීඩා පිටියට පිවිසෙමින් ඊයේ දිනයේ දී පහසුවෙන් ම තුන් පිම්ම මූලික වටයෙන් ඉදිරියට යාමට සමත් වුනා. දරුණු ආබාධ තත්වයකින් පසුව ඇය නැවතත් සිය අඛණ්ඩ ජයග්‍රහණය රැල්ල ඉදිරියට රැගෙන යනු ඇති බව අනුමාන කළ හැකි.

ඔලිම්පික් ශූරයා නැවතත් ජය ගනී

පිරිමි උස පැනීම ඉසව්ව වෙනුවෙන් ඊයේ දිනයේ දී වඩා හොඳ තරගයක් නිර්මාණය වුනා. මෙහි දී වත්මන් ඔලිම්පික් ශූරයා වන නවසීලන්තයේ Hamish Kerr සහ වත්මන් ගෘහස්ථ ලෝක ශූරයා වන දකුණු කොරියාවේ Sanghyeok Woo අතර තියුණු සටනක් නිර්මාණය වුනා.

එහි දී ඔවුන් දෙදෙනා ම මීටර් 2.34ක උසක් තරණය කරමින් සම පළමු ස්ථාන හිමි කර ගත් අතර, එය Wooගේ මෙම තරග වාරය සඳහා හොඳම දක්ෂතාව ලෙස ද සටහන් වුනා. කෙසේ වෙතත් මෙම වසර සඳහා හොඳම දක්ෂතාව ලෙස මීටර් 2.36ක උසක් තරණය කළ Kerr විසින් ලෝක ශූරයා බවට පත් වීමට සමත් වුනා.

වසර 20ක් ඉක්මවා ගිය විශිෂ්ට විසිකිරීමක්

පිරිමි මිටිය විසි කිරීමේ අවසන් තරගය ද ඊයේ ක්‍රියාත්මක වුනා. මෙහි දී වත්මන් ඔලිම්පික් ශූරයා වන කැනඩාවේ Ethan Katzberg විසින් සිය සියලු උත්සාහයන් මීටර් 81ට ඉහළින් රඳවා ගනිමින් සිය හොඳම උත්සාහය ලෙස මීටර් 84.70ක් වාර්තා කිරීමට සමත් වුනා. මෙය ලොව හොඳම මිටිය විසි කිරීමේ දක්ෂතා අතර 05 වැනි ස්ථානයට පත් වූ අතර, වසර 20ක කාලයක් තුළ ලොව වාර්තා වූ හොඳම දක්ෂතාව ලෙස ද සටහන් වුනා. එමෙන්ම එය නව තරග වාර්තාවක් ලෙස ද සටහන් වීම විශේෂත්වයක්. මේ අතර මෙම ඉසව්වේ තරගකාරීත්වය තවත් ඉහළට ගියේ ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථාන ලද ක්‍රීඩකයින් ද මීටර් 82 සීමාව ඉක්මවා යාම නිසායි.

මීටර් 400 අතිශය උණුසුම්

කාන්තා සහ පිරිමි මීටර් 400 අවසන් පූර්ව තරග ද ඊයේ ක්‍රියාත්මක වුනා. මෙහි දී ඇමරිකාවේ Sydney Mclaughlin Levrone විසින් තත්පර 48.29ක කාලයක් සමඟ ඉසව්ව අවසන් කලේ නව ඇමරිකානු වාර්තාවක් ද පිහිටුවමිනුයි. මෙහි දී ඇය විසින් ලොව මෙතෙක් වාර්තා වූ 07 වැනි හොඳම ධාවන කාලය ද වාර්තා කිරීමට සමත් වූ අතර, සිය අනෙක් තරගකාරිනියන්ට දරුණු අනතුරු ඇඟවීමක් සිදු කිරීමට ද සමත් වුනා. මෙය මෙම වසරේ ලොව හොඳම දක්ෂතාව ලෙස ද සටහන් වුනා.

මේ අතර පිරිමි මීටර් 400 ඉසව්වේ දී බොට්ස්වානා දේශයේ Busang Collen Kebinatshipi විසින් තත්පර 43.61ක තරග නිමි කාලයක් වාර්තා කරමින් වසරේ මෙතෙක් හොඳම දක්ෂතාව තමන් සතු කර ගැනීමට සමත් වුනා. මෙය ඔහුගෙන් බලාපොරොත්තු නොවූ මට්ටමේ දක්ෂතාවක් වූ අතර, බොහෝ බලාපොරොත්තු තබා සිටි ඔලිම්පික් ශූර Matt Hudson Smith, Muzala Samukonga සහ Kirani James වැනි ක්‍රීඩකයින්ට අවසන් තරගයට වරම් අහිමි වීමත් සුවිශේෂී කාරණයක්.

මව් රැජිණ නැවතත් කිරුළු දරයි

කාන්තා මීටර් 1500 ඉසව්වේ ආධිපත්‍යය තමන්ගෙන් ඉවතට යා නොදී තවදුරටත් රැක ගැනීමට කෙන්යාවේ Faith Kipyegon ඊයේ සමත් වුනා. මෙම තරගයේ දී ඇයට තරගයක් දිය හැකි මට්ටමේ වෙනත් කිසිඳු ක්‍රීඩිකාවක දක්නට නොලැබුණු අතර, Faith විසින් සිය සිව්වැනි ලෝක ශූරතා පදක්කම තමන් සතු කර ගැනීමට සමත් වුනා.

Hollowayගේ ආධිපත්‍යය බිඳ වැටේ!

මීටර් 110 කඩුලු මතින් දිවීම ඉසව්වේ ලෝක සහ ඔලිම්පික් ශූරයා ලෙස වසර ගණනාවක් නොබිඳුණු ආධිපත්‍යයක් ගොඩ නගා ගැනීමට සමත් වී සිටි ඇමරිකාවේ Grant Holloway ඊයේ අවසන් පූර්ව වටයෙන් ම ඉවතට විසි වුනා. මෙම වසර පුරාවට ඔහු තරමක් පසුබාමින් සිටි බව පෙනෙන්නට තිබූ අතර, ඊයේ එය දරුණු ලෙසම ලොවට තහවුරු වුනා. මේ නිසාම ඉසව්වේ අවසන් තරගය කවුරුන් ජය ගනී ද යන ගැට‍ළුව ඉස්මතු වූ අතර, ඇමරිකානු ක්‍රීඩක Cordell Tinch විසින් තත්පර 12.99ක කාලයක් සමඟ නව ලෝක ශූරයා බවට පත් වීමට සමත් වුනා.

අද (17) ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු

අද ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ද්විත්වය වන රුමේෂ් තරංග සහ සුමේධ රණසිංහ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මූලික වටයට සහභාගී වීමට නියමිතයි. මෙහි දී A කාණ්ඩය නියෝජනය කරන සුමේධ සහභාගී වන මූලික වටය අද සවස 3.40ට ආරම්භ වන අතර, B කාණ්ඩය නියෝජනය කරන රුමේෂ් තරංග සහභාගී වන මූලික වටයේ තරගය අද සවස 5.15ට ආරම්භ වීමට නියමිතයි.

මීට අමතරව කාන්තා රිටි පැනීම අවසන් තරගය, පිරිමි දුර පැනීම අවසන් තරගය, කාන්තා බාධක දිවීම අවසන් තරගය සහ පිරිමි මීටර් 1500 අවසන් තරගය ද අද ක්‍රියාත්මක වීමට නියමිතයි.

එම තරග තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>