අනපේක්ෂිත සිදුවීම් රැසක් අතරේ Mondo නැවතත් ලෝක වාර්තාවක් කරා!  

World Athletics Championship 2025

9
World Athletics Championship 2025

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ තෙවැනි දිනය ඊයේ (15) ඉතා සාර්ථක අයුරින් නිමාවට පත් වුනා.

ඊයේ දිනය තුළ සිදු වූ කැපී පෙනෙන ම සිදුවීම ලෙස ස්වීඩනයේ Mondo Duplantis විසින් නැවතත් වරක් සිය ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීමට සමත් වීම සඳහන් කළ හැකි.

මීට අමතරව ටැන්සානියාවට ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියක පළමු රන් පදක්කම ද ඊයේ දිනයේ හිමි වුනා. මේ තොරතුරු ද ඇතුළත් ව ජපානයේ ටොකියෝ නුවර ඊයේ සිදු වූ සුවිශේෂී සිදුවීම් පිළිබඳ තොරතුරු පහතින්:

ටැන්සානියාවට පළමු ගෝලීය රන් පදක්කම

තත්පර තුන්සීයකින් එකකින් මෙවර පිරිමි මැරතන් ඉසව්ව ජය ගැනීමට ටැන්සානියාවේ Alphonce Felix Simbu විසින් සමත් වූ අතර, ජර්මනියේ Amana Petros හට දෙවැනි ස්ථානයෙන් සෑහීමට සිදු වුනා.

Femke Bol සටනට අවතීර්ණ වෙයි

ඊයේ කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ මූලික වටයේ තරග ක්‍රියාත්මක වූ අතර, මෙහි දී වත්මන් ලෝල ශූරී Femke Bol පහසුවෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. එමෙන්ම මෙවර ඉසව්වේ දී Sydney Levrone McLaughlin නොමැති වුවත් ඇමරිකාවෙන් සහ ජැමෙයිකාවෙන් Bol හට දරුණු අභියෝගයක් එල්ල වීමට නියමිත බවත් මූලික වටයෙන් තහවුරු වුනා.

මේ අතර පිරිමි මීටර් 400 ඉසව්වේ මූලික වටයේ තරග ද ඊයේ ක්‍රියාත්මක වූ අතර, මෙහි දී ඇමරිකාවේ Rai Benjamin, නෝර්වේ දේශයේ Karsten Warholm වැනි සුපිරි තරු පහසුවෙන් ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

පිරිමි දුර පැනීම

මෙහි දී වත්මන් ලෝක ශූරයා වන ග්‍රීසියේ Miltiadis Tentoglou මෙන්ම, ජැමෙයිකාවේ Tajay Gayle, ඉතාලියේ Mattia Furlani වැනි ප්‍රබල ක්‍රීඩකයින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

ස්විස්ටර්ලන්තයට නොසිතූ රන් පදක්කමක්

ඊයේ දිනයේ දී සිදු වූ වඩාත් අනපේක්ෂිත ම ජයග්‍රහණවලින් එකක් ලෙස මෙය හැඳින්විය හැකි. කාන්තා මීටර් 100 කඩුලු මතින් දිවීම ඉසව්වට ලොව වටා සිටින විශිෂ්ටතම ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වුනා. වත්මන් ලෝක වාර්තාවේ හිමිකාරිනිය, හිටපු ලෝක ශූරියන් සහ ඔලිම්පික් ශූරියන් ද මෙම තරගයට සහභාගී වූ අතර, මේ නිසාම ඔවුන්ගෙන් අයකු මෙම ඉසව්ව ජය ගනීවි යැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුනා. කෙසේ වෙතත් සිය පෞද්ගලික හොඳම කාලය මෙන්ම, ස්විස්ටර්ලන්තයේ ජාතික වාර්තාව ද අලුත් කිරීමට සමත් වූ Ditaji Kambundji විසින් තත්පර 12.24ක කාලයක් සමඟ ඉසව්ව ජය ගැනීමට සමත් වුනා.

බොහෝ කලක සිට ජාත්‍යන්තර මලල ක්‍රීඩාවේ නිතර දක්නට ලැබෙන ක්‍රීඩිකාවක් ව සිටි Kambundji මෙසේ මෙම ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමෙන් පසුව සතුටු කඳුළු වගුරුවන බවත් දක්නට ලැබුණා.

මීටර් 3000 බාධක දිවීම

ඊයේ ක්‍රියාත්මක වූ අනෙක් වඩාත් අනපේක්ෂිත තරග ඉසව්ව ලෙස මෙය හැඳින්විය හැකි. මෙහි දී වත්මන් ඔලිම්පික් සහ ලෝක ශූරයා වන මොරොක්කෝවේ Soufiane El Bakkali විසින් ඉසව්ව ජය ගනීවි යැයි බොහෝ දෙනා පෙරැයීම් කළා. ඔහු නොවේ නම් කෙන්යාවේ Edmund Serem වැනි යොවුන් ක්‍රීඩකයකු පදක්කම කරා යනු ඇතියි බොහෝ දෙනා අනුමාන කළා. ඉසව්ව ආරම්භයේ ඉතාම මන්දගාමී ලෙස තරගයට අවතීර්ණ වූ El Bakkali විසින් සිය අත්දැකීම් සහ උපක්‍රම පාවිච්චි කරමින් තරගයේ අවසානය වන විට පළමු ස්ථානයේ රැඳීමට සමත් වුනත්, අවසන් මීටර් කිහිපයේ දී කිසිවකු හෝ බලාපොරොත්තු නොවූ අයුරින් නවසීලන්තයේ Geordie Beamish ඔහුව පසු කර යමින් ඉසව්වේ රන් පදක්කම තමන් සතු කර ගැනීමට සමත් වුනා.

මෙය El Bakkali හට දරුණු කම්පනයක් වූ බව පෙනෙන්නට තිබූ අතර, ඒ හේතුවෙන් ම ඔහු ධාවන පථය මත හඬා වැටෙන අයුරු ද දක්නට ලැබුණා.

Mondo ගුවන් ගමනක

එවන් අනපේක්ෂිත සිදුවීම් රැසක් අතරේ, ඊයේ දිනයේ සිදු වූ වඩාත් සාමාන්‍ය ම සහ බොහෝ දෙනා අපේක්ෂා කළ සිදුවීම වන්නේ ස්වීඩනයේ Mondo Duplantis විසින් පිරිමි රිටි පැනීමේ ඉසව්ව ජය ගැනීම සහ නව ලෝක වාර්තාවක් පිහිටුවීමයි.

එය මෙවරත් ඒ අයුරින් ම සිදු වූ අතර, ඊයේ ක්‍රියාත්මක වූ පිරිමි රිටි පැනීම ඉසව්ව ලොව ක්‍රියාත්මක වූ විශිෂ්ටතම රිටි පැනීමේ තරගයක් ලෙස ඉතිහාසගත වනු ඇති. මෙහි දී ක්‍රීඩකයින් 7 දෙනෙකු මීටර් 5.90 සීමාව තරණය කිරීමට සමත් වුනා. මේ නිසාම තරගය තරමක කාලයක් වැඩියෙන් ක්‍රියාත්මක කිරීමට ද සිදු වුනා.

කෙසේ වෙතත් සුපුරුදු පරිදි මීටර් 6 සීමාවට ළඟා වීමට සමත් වුනේ Duplantis සහ ඔහුගේ තරග සගයා වන ග්‍රීසියේ Emmanouil Karalis පමණයි. Karalisගේ ගමන ද මීටර් 6 සීමාවෙන් නතර වූ අතර, Duplantis 14 වැනි වරටත් සිය ලෝක වාර්තාව අලුත් කිරීමේ අටියෙන් මීටර් 6.30ක අභියෝගය බාර ගත්තා. පළමු උත්සාහයන් දෙකේ දීම එය අසාර්ථක වූ නමුත්, තෙවැනි උත්සාහයේ දී Duplantis සාර්ථක ප්‍රයත්නයක් සමඟ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා.

අද (16) දිනයේ තොරතුරු

අද පිරිමි උස පැනීමේ අවසන් තරගය මෙන්ම, පිරිමි මිටිය විසි කිරීම, කාන්තා මීටර් 1500 සහ පිරිමි මීටර් 110 කඩුලු පැන දිවීම අවසන් තරග ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එම තරග තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>