ලොව වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තහවුරුයි!

World Athletics Championship 2025

91

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනය ඊයේ (14) ඉතා සාර්ථක අයුරින් නිමාවට පත් වුනා. 

ඊයේ දිනය තුළ කාන්තා සහ පිරිමි මීටර් 100 අවසන් තරග ද්විත්වය ද ක්‍රියාත්මක වූ අතර, ලොව වේගවත් ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ජැමෙයිකාවෙන් සහ ඇමරිකාවෙන් බිහි වුනා. 

කාන්තා මැරතන්  

මෙම ඉසව්ව ඉතා හොඳ තරගයකින් අනතුරුව ජය ගැනීමට කෙන්යාවේ Peres Jepchirchir විසින් සමත් වුනේ මෙම තරගවාරය සඳහා ඇයගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ද සටහන් කරමිනුයි. 

Jakobගේ බලාපොරොත්තු බිඳ වැටෙයි 

පිරිමි මීටර් 1500 ඉසව්ව නම ඇසෙත් ම මතකයට එන නමක් වන නෝර්වේ දේශයේ Jakob Ingebritsen ඊයේ මෙම ඉසව්වේ මූලික වටයට සහභාගී වූ නමුත්, ඔහුට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුනා. ජාත්‍යන්තර වශයෙන් ඉතා හොඳ දක්ෂතා දක්වමින් සිටියත් ඔහු බොහෝ විට ප්‍රධාන තරග ඉසව්වල දී යම් පසුබෑමක් පෙන්වන අතර, මෙවරත් එය දක්නට ලැබුණා. 

කාන්තා මීටර් 100 කඩුලු මතින් දිවීම 

මෙම ඉසව්වේ මූලික වටයේ දී හොඳම කාලය වාර්තා කිරීමට ජැමෙයිකාවේ Danielle Williams සමත් වූ අතර, ඇයට පිටුපසින් ඇමරිකාව සහ නෙදර්ලන්තය රැඳී සිටියා. ඉසව්වේ අවසන් තරගය අද (15)) ක්‍රියාත්මක වීමට නියමිතයි. 

පිරිමි මීටර් 400  

බොහෝ ක්‍රීඩා රසිකයින්ගේ විශේෂ අවධානයක් හිමි වන ඉසව්වක් වන පිරිමි මීටර් 400 මූලික වටයේ දී හොඳම කාලය වාර්තා කිරීමට ඇමරිකාවේ Jacory Patterson සමත් වුනේ තත්පර 43.90ක දක්ෂතාවක් සමඟයි. එමෙන්ම මෙම ඉසව්වේ බොහෝ බලාපොරොත්තු තබා ගත හැකි දකුණු අප්‍රිකාවේ Zakithi Nene, ඇමරිකාවේ Christopher Bailey, ග්‍රැනේඩාවේ Kirani James වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඊයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. 

කාන්තා මීටර් 400 

මෙහි මූලික වටයේ දී හොඳම කාලය ලෙස තත්පර 49.13ක් වාර්තා කිරීමට බහරේනයේ Salwa Eid Naser සමත් වූ අතර, සිය ප්‍රබලතම ඉසව්ව වන කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්ව අත්හැර මීටර් 400 ඉසව්වට පැමිණි ඇමරිකාවේ Sydney Mclaughlin Levrone තත්පර 49.41ක තරග නිමි කාලයක් සමඟ දෙවැනි ස්ථානයට පැමිණියා. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වීමට නියමිත ඩොමිනිකා දේශයේ Marileidy Paulino ද පහසුවෙන් ම අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වුනා. 

හිටපු ඔලිම්පික් ශූරයා පසු බසී 

පිරිමි උස පැනීමේ මූලික වටයේ තරග ද ඊයේ ක්‍රියාත්මක වූ අතර, ඊට සහභාගී වූ හිටපු ඔලිම්පික් සහ ලෝක ශූරයකු වන ඉතාලියේ Gianmarco Tamberi මීටර් 2.16ක උසක් පමණක් සාර්ථක කර ගනිමින් තරගයෙන් ඉවතට විසි වුනා.

කාන්තා කවපෙත්ත විසිකිරීම  

මෙම ඉසව්වට සහභාගී වූ වත්මන් ඔලිම්පික් ශූරිය වන ඇමරිකාවේ Valarie Allman විසින් මීටර් 69.48ක විශිෂ්ට දක්ෂතාවක් සමඟ රන් පදක්කම ජය ගැනීමට සමත් වුනා. මෙය ඇයගේ පදක්කම් මල්ලට මග හැරී තිබූ වටිනා ම පදක්කමක් ලෙස සැලකිය හැකි. 

කාන්තා දුර පැනීම 

මෙම ඉසව්වේ දී ද වත්මන් ඔලිම්පික් ශූරිය Tara Davis Woodhall සිය ආධිපත්‍යය පැතිරීමට සමත් වුනා. මෙහි දී ඇමරිකාවේ Tara විසින් මීටර් 7.13ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූ අතර, එය මෙම වසර සඳහා ලොව හොඳම දක්ෂතාව ලෙසයි සටහන් වුනේ. මේ අතර ඇයගේ ප්‍රබලතම ප්‍රතිවාදිනිය වන ජර්මනියේ Malaika Mihambo දෙවැනි ස්ථානයෙන් නතර වුනා. 

පිරිමි මීටර් 10000 වෙනුවෙන් තියුණු සටනක් 

පිරිමි මීටර් 10000 අවසන් තරගය ද ඊයේ ක්‍රියාත්මක වූ අතර, මෙහි දී ඉතා තියුණු සටනක් නිර්මාණය වුනා. ඉතා ඉහළ ආර්ද්‍රතා මට්ටමක් යටතේ තරගය පැවැත්වීම නිසා ක්‍රීඩකයින්ට මෙය වඩාත් වෙහෙසකර සටනක් වූ අතර, සටනේ නිමාවට සමීප වන විට කිසිවකු හෝ අපේක්ෂා නොකල ලෙස ප්‍රංශයේ Jimmy Gressier විසින් මිනිත්තු 28.55.77ක කාලයක් සමඟ ඉසව්ව ජය ගැනීමට සමත් වුනා.  

කාන්තා සහ පිරිමි මීටර් 100 

ඊයේ දිනය තුළ විශේෂ අවධානයක් හිමි වූ තරග ඉසව් ලෙස මෙම තරග ඉසව් අවිවාදයෙන් හඳුන්වාදිය හැකි. 

කාන්තා මීටර් 100 අවසන් මහා තරගයට හිටපු ලෝක ශූරී Sha’carri Richardson, වත්මන් ඔලිම්පික් ශූරී Julien Alfred, මීටර් 200 වේගවත් ම ක්‍රීඩිකාවක් වන Shericka Jackson, ලොව බිහි වූ විශිෂ්ටතම මීටර් 100 ධාවන ශූරියක් වන Shelly Ann Fraser Pryce වැනි ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වුනා. කෙසේ වෙතත් මෙවර ලොව වේගවත් ම කිරුළ දැරීමට ඇමරිකාවේ Melissa Jefferson-Wooden විසින් සමත් වුනේ තත්පර 10.61ක තරග නිමි කාලයක් ද සමඟයි. මෙය ලෝක ඉතිහාසයේ කාන්තා මීටර් 100 ඉසව්වක් වෙනුවෙන් වාර්තා වූ සිව්වැනි වේගවත් ම කාලය ලෙසයි වාර්තා අතරට එක් වුනේ. ඉසව්වේ දෙවැනි ස්ථානය ජැමෙයිකාවේ Tina Clayton හට හිමි වූ අතර, වත්මන් ඔලිම්පික් ශූරිය තෙවැනි ස්ථානයට පත් වුනා. 

කාන්තා මීටර් 100 ඉසව්වට නොදෙවෙනි තරගයක් පිරිමි ඉසව්ව සඳහා ද ක්‍රියාත්මක වුනා. මෙහි දී බොහෝ ප්‍රේක්ෂකයින්ගේ ඇස් ඔලිම්පික් සහ ලෝක ශූර Noah Lyles සහ මෙම වසරේ වේගවත් ම ක්‍රීඩකයා වන Kishane Thompson වෙත එල්ල වුනා. 

නමුත් ඔවුන් දෙදෙනා ව තෙවැනි සහ දෙවැනි ස්ථාන වෙත ඇද දැමූ ජැමෙයිකාවේ Oblique Seville විසින් තත්පර 9.77ක පෞද්ගලික හොඳම කාලයක් ද සමඟ රන් පදක්කම ජය ගැනීමට සමත් වුනා. මෙය ඔහු කලක සිට බලා සිටි ජයග්‍රහණයක් ලෙස හඳුන්වාදිය හැකි. 

නදීශාට 08 වැනි ස්ථානය 

මේ අතර ශ්‍රී ලංකාවේ පළමු ලෝක ශූරතා බලාපොරොත්තුව වූ නදීශා රාමනායක ද ඊයේ කාන්තා මීටර් 400 මූලික වටයට සහභාගී වුනා. මෙහි දී ඇය පස් වැනි මූලික වටයේ තරගයට සහභාගී වූ අතර, එහි දී තත්පර 53.63ක තරග නිමි කාලයක් සමඟ ක්‍රීඩිකාවන් 09 දෙනෙකු අතරින් 08 වැනි ස්ථානයට පත් වුනා. මෙම ඉසව්වට සහභාගී වූ සමස්ත තරග කාරිනියන් 51 අතරින් නදීශාගේ දක්ෂතාව 48 වැනි ස්ථානයේ රැඳුණා. 

තෙවැනි දිනයේ බලාපොරොත්තු  

ලෝක ශූරතාවේ තෙවැනි දිනය අද ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙහි දී පිරිමි මැරතන් අවසන් තරගය මෙන්ම, කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීම මූලික වටයේ තරග ද අද උදෑසන ක්‍රියාත්මක වනු ඇති 

එමෙන්ම අද සවස් වරුවේ ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩකයකු වන Mondo Duplantis පිරිමි රිටි පැනීමේ අවසන් තරගයට සහභාගී වීමට නියමිතයි. එමෙන්ම කාන්තා මිටිය විසි කිරීම, පිරිමි මීටර් 3000 බාධක දිවීම මෙන්ම, කාන්තා මීටර් 100 කඩුලු මතින් දිවීම ඉසව්වල අවසන් තරග ද අද ක්‍රියාත්මක වීමට නියමිතයි. 

එම තරග තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<