ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්දියාවේ දී දස්කම් අතරට!

World Athletic Continental Tour Bronze - India

209

ඉන්දියාවේ පැවැත්වුණු World Athletic Continental Tour Bronze මලල ක්‍රීඩා තරගාවලිය දිනය ඊයේ (10) නිමාවට පත් වුනේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශිෂ්ට ජයග්‍රහණ කිහිපයක් ම ලබා දෙමිනුයි. 

ඊයේ දිනය තුළ වඩාත් කැපී පෙනෙන සිදුවීම ලෙස රුමේෂ් තරංග විසින් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව නියෝජනය කරමින් දැක්වූ මීටර් 86.50ක දක්ෂතාව සඳහන් කළ හැකි. 

මෙය නව ජාතික වාර්තාවක් වූ අතරම, මේත් සමඟම ඔහු මෙවර ලෝක මලල ක්‍රීඩා ශූරතාව වෙනුවෙන් ද සෘජු සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. රුමේෂ් මෙම ඉසව්වේ පළමු ස්ථානය හිමි කර ගනිද්දී, ඔහුගේ තරග සගයා වන සුමේධ රණසිංහ විසින් මීටර් 80.65ක දක්ෂතාවක් සමඟ ඉසව්වේ තෙවැනි ස්ථානයට පත් වුනා. 

මේ අතර පිරිමි මීටර් 100 ඉසව්ව නියෝජනය කළ චමෝද් යෝධසිංහ එහි මූලික වටයේ දෙවැනි තරගයේ දී තත්පර 10.64ක කාලයක් සමඟ සිව් වැනි ස්ථානය ලබමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර, අවසන් මහා තරගයේ දී ඔහු විසින් තත්පර 10.43ක තරග නිමි කාලයක් සමඟ දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා. 

ඊයේ දිනයේ දී කාන්තා මීටර් 400 ඉසව්ව ද ක්‍රියාත්මක වූ අතර, මෙහි දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉසව්වට සහභාගී වූ නිශේන්ද්‍රා ප්‍රනාන්දු විසින් තත්පර 54.49ක තරග නිමි කාලයක් සමඟ හය වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා. 

පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව ශ්‍රී ලංකා ආධිපත්‍යයට නතු වන අතරේ, කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ නදීශා ලේකම්ගේ විසින් මීටර් 54.96ක දක්ෂතාවක් සමඟ ඉසව්වේ දෙවැනි ස්ථානයට පත් වුනා. 

මේ අතර ඊයේ දිනය තුළ කැපී පෙනෙන ධාවනයක නිරත වීමට ශ්‍රී ලංකා මීටර් 400 සහය දිවීමේ කණ්ඩායම සමත් වුනා. 

පිරිමි මීටර් 400 සහය දිවීමේ ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන කල්හාර ඉඳූප, රජිත රාජකරුණා, ශෂින්ත සිල්වා සහ S.K.A.M.I. දිස්මිත විසින් මිනිත්තු 3.08.22ක තරග නිමි කාලයක් ද සමඟ පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා. ඉසව්වේ අවසන් මීටර කිහිපය තුළ ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයේ සිට පළමු ස්ථානය කරා පැමිණීම සියල්ලන්ගේ ම අවධානයට බඳුන් වන සිදුවීමක් වුනා. 

දෙස් විදෙස් මලල ක්‍රීඩා පිටියේ සියළු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<