ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකානුවෝ පරාජය කරයි

Women’s ODI Tri-Series 2025

99
Women’s ODI Tri-Series 2025

ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සහභාගී වන තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර (02) පැවැති තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගය, තරගාවලියේ 3 වැනි තරගයයි. මීට පෙර ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව, ඉන්දීය කණ්ඩායම සමඟ තරග වැදුණ අතර එම තරග ද්විත්වය ම ජයග්‍රහණය කළේ ඉන්දීය කණ්ඩායමයි.

මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙන්නේ වෙනස්කම් ත්‍රිත්වයක් සමඟයි. ඒ අනුව පෙර ඉන්දීය කණ්ඩායම හා තරග වැදුණ කණ්ඩායම හා එක් ව සිටි හංසිමා කරුණාරත්න, පියුමි වත්සලා සහ අචිනි කෞෂල්‍යා වෙනුවට විශ්මි ගුණරත්න, දෙව්මි විහංගා සහ සුගන්දිකා කුමාරි එක් කර තිබුණා. මේ අතුරින් මෙම තරගයේ දී මංගල එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනිමට දෙව්මි විංහඟා සමත් වෙනවා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම තරගයට එක් වූයේ පෙර ඉන්දීය කණ්ඩායමට එරෙහි ව එක් වූ කණ්ඩායම ම සමඟයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

චමරි අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), හර්ෂිතා සමරවික්‍රම, දෙව්මි විහංගා, මල්කි මදාරා, සුගන්දිකා කුමාරි සහ ඉනෝකා රණවීර.

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

Laura Wolvaardt (නායිකාව), Tazmin Brits, Lara Goodall, Karabo Meso (කඩුලු රකින්නිය), Sune Luus, Chloe Tryon, Annerie Dercksen, Nadine de Klerk, Masabata Klaas, Nonkululeko Mlaba සහ Ayabonga Khaka.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. ඔවුන් තම ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 235ක් ලබා ගත්තා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Annerie Dercksen. ඇය පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 61ක් ලබා ගත්තා. එය ඇයගේ තරග 6ක් වන ජාත්‍යන්තර එක්දින තරග පිටියේ මංගල අර්ධ ශතකයයි.

ඇයට අමතර ව Lara Goodall පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 46ක් ද, Chloe Tryon පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ද සහ Sune Luus පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යවන මල්කි මදාරා ලකුණු 50කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර මංගල එක්දින ජාත්‍යන්තර තරගයට එක් වූ දකුණතින් පිට දඟ පන්දු යවන දෙව්මි විහංඟා ලකුණු 41කට කඩුලු 3ක් දවා ගන්නවා. ඊට අමතර ව ඉනෝකා රණවීර සහ සුගන්ධිකා කුමාරි කඩුල්ල බැගින් දවා ගන්නවා.

ලකුණු 235ක් හඹා යන ඉනිමට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉනිමේ තවත් පන්දු 21ක් ඉතිරි ව තිබිය දී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 237ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරනවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙන්නේ හර්ෂිතා සමරවික්‍රම. ඇය පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 77ක් ලබා ගත්තා. ඇය සහ කවීෂා දිල්හාරි එක් ව 4 වැනි කඩුල්ලට ලකුණු 128ක සබඳතාවක් ගොඩ නගනවා. එහි දී කවීෂා දිල්හාරි පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 61ක් ලබා ගන්නවා.

ඊට අමතර ව ආරම්භක පිතිකාරිනිය ලෙසින් මෙම තරගයේ දී ද කටයුතු කළ හසිනි පෙරේරා පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත් අතර විශ්මි ගුණරත්න පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Nonkululeko Mlaba ලකුණු 44කට කඩුලු 2ක් දවා ගත් අතර Masabata Klaas, Nadine de Klerk සහ Sune Luus කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 235 (50.0) Lara Goodall 46, Sune Luus 31, Chloe Tryon 35, Annerie Dercksen නොදැවී 61, මල්කි මදාරා 4/50, දෙව්මි විහංඟා 3/41

 

ශ්‍රී ලංකා අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 237 (46.3) හසිනි පෙරේරා 42, විශ්මි ගුණරත්න 29, හර්ෂිතා සමරවික්‍රම 77, කවීෂා දිල්හාරි 61, Nonkululeko Mlaba 2/44

ශ්‍රී ලංකා කන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

  • තරගයේ වීරයා – හර්ෂිතා සමරවික්‍රම (ශ්‍රී ලංකාව)

කාන්තා තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ මීළඟ තරග මැයි මස 04 වැනිදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ම පැවැත්වීමට නියමිතයි. මෙය මෙම තරගාවලියේ 4 වැනි තරගයයි.

මෙම තරගාවලියේ සජීවී දසුන් Dialog Television හී ThePapare TV HD 2 නාලිකා අංක 163 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<