ඉන්දීය ජයග්‍රාහී දාමයේ ශ්‍රී ලංකා අභියෝගය

Women’s ODI Tri-Series 2025

14
Women’s ODI Tri-Series 2025

ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සහභාගී වූ කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (11) සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ම පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු වටය නිමාවේ දී ඉන්දියාව ප්‍රසාද ලකුණු 6ක් සමඟින් පළමු ස්ථානයට පත් වෙමින් ද ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමින් 2 වැනි ස්ථානයට පත් වෙමින් මෙම තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

දෙරට ක්‍රීඩිකාවන් අතර 1997 වසරේ සිට පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 35ක් මේ දක්වා පවත්වා ඇති අතර ඒ අතුරින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන්නේ අවස්ථා 3ක දී පමණක් වන අතර ඉන්දියාව අවස්ථා 30ක දී ජයග්‍රහණය කරනවා. ඉතිරි තරග 2 නිමා වෙන්නේ විසඳුමක් නොමැති තරග ලෙසයි.

ශ්‍රී ලංකාව ලත් මේ ජයග්‍රහණ ත්‍රිත්වයේ දී ම වත්මන් නායිකා චමරි අතපත්තු සේ ම ඉනෝකා රණවීර ද එම කණ්ඩායම්වල රැඳී සිටි අය වීම විශේෂත්වයක්.

දෙරට අතර මංගල එක්දින ජාත්‍යන්තර තරගයක් පැවැත්වෙන් 1997 වසරේ පැවැති Hero Honda ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙනුයි. නමුත් එම තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දැමෙනවා. එතැන් සිට නැවත 2005 වසරේ දී පැවැති තරගයක් ද විසඳුමක් නොමැති ව අවසන් වෙනවා.

දෙරට ඉතිහාසයේ ඉන්දීය ජයග්‍රහණ දාමය අතරතුර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු වරට 2013 වසරේ දී ශෂිකලා සිරිවර්ධන යටතේ ද, 2018 වසරේ දී චමරි අතපත්තුගේ නායකත්වය යටතේ ද සහ නැවත 2025 වසරේ මෙම තරගාවලියේ දී චමරි අතපත්තුගේ නායකත්වය යටතේ ද ජයග්‍රහණයන් ලබා ගන්නවා.

ශ්‍රී ලංකාව ලත් මෙම ජයග්‍රහණ පළමු ජයග්‍රහණයට පසුව වසර 5කට පසුව ද සහ එම ජයග්‍රහණයෙන් පසුව නැවත වසර 7කට පසුව ද ලබා ගන්නා ලෙසින් වර්ග කෙරෙනවා. ඒ අනුව දෙරට ඉතිහාසයේ ආසන්නත ම ජයග්‍රාහකයන් වෙන්නේ ශ්‍රී ලංකාවයි. එම නිමාවත් සමඟින් ඔවුන්ට මෙම තරගයේ දී කදිම අවස්ථාවක් ලැබී තිබෙනවා. ඒ මෙතෙක් නොලැබූ පිට පිට ලත් ජයග්‍රහණයන් වාර්තා කිරීමට ලත් මෙම අවස්ථාවයි.

ශ්‍රී ලංකාවට මෙම තරගය එආකාරයෙන් සුවිශේෂි කර ගැනීම නම් පළමුවෙන් ම කළ යුත්තේ ඉන්දීය පිතිකරු බලඇණිය අඩපණ කිරීම සහ ශ්‍රී ලංකාවේ පිතිකරණය විශ්වසනීය තත්ත්වයට ගෙන ඒමයි.

එහෙත් අවසන් මහා තරගයට එක් වෙන දෙරටේ ක්‍රීඩිකාවන් අතුරින් පිතිකරණයේ දී වඩාත් දක්ෂතා දක්වනු අතැයි බලාපොරොත්තු වන ක්‍රීඩිකාවන් අතර ඉන්දීය ක්‍රීඩිකාවන්ට දී ඇත්තේ ඉහළ තක්සේරුවක්.

විශේෂයෙන් ම නිමා වූ පළමු වටයේ දී ශතකලාභී Jemimah Rodrigues සේ ම  ඉහළ ලකුණු සංඛ්‍යාවන් අතර සිටි Pratika Rawal, Smriti Mandhana, Deepti Sharma සහ නායිකා Harmanpreet Kaurද මේ අතර සිටිනවා.

ඉන්දීය කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුව ඒ ලෙසින් සන්නද්ධ වෙද්දී, ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත් බලාපොරොත්තු තබා සිටින ක්‍රීඩිකාව වෙන්නේ නායිකා චමරි අතපත්තුයි. එය එලෙස වූවත් ඇය මේ තරගාවලිය පුරා දැක් වූ දුර්වල පිතිකරණය හේතුවෙන් එකී විශ්වාසය අතරමං වූ තත්ත්වයකයි පවතින්නේ. කෙසේ වෙතත් ඇය මුහණ දුන් අවසන් ඉනිමේ දී අර්ධ ශතක ඉනිමක් ක්‍රීඩා කරමින් දැක් වූ දක්ෂතාව මෙම තරගයේ දී ද එලෙසින් ම කරළියට නැගෙන්නේ නම් ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් උදා වීම වැලැක්විය නොහැකියි.

කෙසේ වෙතත් තරගාවලිය පුරා දක්ෂතා දැක් වූ පිතිකාරිනියෝ කිහිප දෙනෙක් ම නිසා මෙම තරගයේ දී වාසි සහගත තත්ත්වයක් ශ්‍රී ලංකා කණ්ඩායම කෙරෙහි තබා ගැනීමට ද අපට බල කර සිටිනවා.

විශේෂයෙන් ම ඉදිරි පෙළ පිතිකාරිනියක ලෙසින් හර්ෂිතා සමරවික්‍රම තරගාවලිය පුරා දැක් වූ දක්ෂතාත්, ආරම්භක පිතිකාරිනියක ලෙසින් පුනර්ජීවය ලත් හසිනි පෙරේරා දැක් වූ දක්ෂතාත්, නැවත වතාවක් ආරම්භක කඩුල්ලේ ශක්තිමත් පුරුකක් බවට පත් වූ විශ්මි ගුණරත්නත් සේ ම මැද පෙළින් තරගයට ජීවය එක් කළ නිලක්ෂිකා සිල්වා සහ අනුශ්කා සංජීවනී දැක් වූ දක්ෂතාත් මෙම තරගයේ දී ද දැක බලා ගැනීම ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තුවයි.

මෙම ලැයිස්තුවට කවීෂා දිල්හාරි ගේ නම ද එක් කළ යුතු වූවත් කණ්ඩායම් ආරංචි මාර්ග පවසන්නේ අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම තරගයේ දී ද ඇය ගේ සහභාගීත්වය අවම තත්ත්වයේ පවතින බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ දී නවක ක්‍රීඩිකාවක් ලෙසින් කණ්ඩායමට එක් වෙමින් මේ වන විට වඩාත් ආක්‍රමණකාරී පන්දු යැවීමක නිරත වෙන 19 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් පිට දඟ පන්දු යවන දෙව්මි විංහඟා කණ්ඩායමේ නවතම බලාපොරොත්තුව වී තිබෙනවා. ඇය ප්‍රබල ඉන්දීය ක්‍රීඩිකාවන් හමුවේ අර පරිස්සමින් යොදවන්නේ නම් එහි වාසිය සත්කාරකයන් සතු කර ගත හැකියි.

ඇයට මේ වන විට වඩාත් සහයෝගය දක්වන පන්දු යවන්නිය වී ඇත්තේ නායිකා චමරි අතපත්තු ලෙසයි දකින්නට ලැබෙන්නේ. තරගාවලියේ පළමු තරග කිහිපයේ දී ඇය වඩාත් උනන්දුවක් දැක් වූයේ පිත්තට වඩා පන්දුවට බැව් දැකගත හැකි වූ අතර ඇය සාර්ථක පන්දු යවන්නියක ලෙසින් ද තම දක්ෂතා දැක් වූවා.

ඔවුන්ට අමතර ව සුගන්දිකා කුමාරි, මල්කි මදාරා සහ ඉනෝකා රණවීර ද සාර්ථක පන්දු යවන්නියන් ලෙසින් විශ්වාසය රඳවා ගැනීමට සමත් වෙනවා.

මෙම තරගයේ දී වඩාත් දක්ෂතා දක්වනු ඇතැයි බලාපොරොත්තු තබා ගත හැකි ඉන්දීය පන්දු යවන්නිය වන්නේ දකුණතින් පිට දඟ පන්දු යවන Sneh Rana. ඇය මෙම තරගාවලියේ දී මේ දක්වා කඩුලු 11ක් දවා ගෙන ඇති ඉන් කඩුලු 6ක් ම දවා ගන්නේ ශ්‍රී ලංකාව හා සමඟ පැවැති තරග ද්විත්වයේදීයි.

ඇයට අමතර ව Deepti Sharma, Shree Charani, Amanjot Kaur සහ Arundhati Reddy ද අවසන් මහා තරගයේ දී හමුවෙන ඉන්දීය පන්දු යැවීමේ බලඅණියේ ශක්තිමත් සෙබළියෝ ලෙසින් දැක් විය හැකියි.

අවසන් මහා තරගයට එක් වෙතැයි බලාපොරොත්තු තැබිය හැකි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

චමරි අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂිකා සිල්වා, මනුදි නානායක්කාර, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), දෙව්මි විහංගා, සුගන්දිකා කුමාරි, මල්කි මදාරා සහ ඉනෝෂි ප්‍රියදර්ශනී / මනුදි නානායක්කාර.

අවසන් මහා තරගයට එක් වෙතැයි බලාපොරොත්තු තැබිය හැකි ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම

Harmanpreet Kaur (නායිකාව), Pratika Rawal, Smriti Mandhana, Harleen Deol, Jemimah Rodrigues, Richa Ghosh (කඩුලු රකින්නිය), Deepti Sharma, Amanjot Kaur, Shree Charani, Sneh Rana සහ Shuchi Upadhyay / Arundhati Reddy.

මෙම තරගාවලියේ සජීවී දසුන් Dialog Television හී ThePapare TV 2 නාලිකා අංක 63 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<