NSL T20 පිටිය කැළඹූ ළලනාවෝ

Women's National Super League T20 2026

2
Women's National Super League T20 2026

කණ්ඩායම් 4ක සහභාගීත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ National Super League කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පසුගියදා නිමා වෙන්නේ Greens ක්‍රීඩිකාවෝ ශූරතාවයත් සහ Blues ක්‍රීඩිකාවෝ අනුශූරතාවත් දිනා ගනිමිනුයි. 

දින 7ක තරග 13කින් යුත් තරගාවලියේ ඉනිම් 25ක දී ක්‍රීඩිකාවන් 65 දෙනෙක් විසින් එක් කළ ලකුණු සංඛ්‍යාව 2744ක්. ඒ සඳහා බිලි වූ කඩුලු සංඛ්‍යාව 175ක්.

මේ ක්‍රීඩිකාවන් අතරේ හතරේ පහර 227ක් සහ හයේ පහර 31ක් ඇතුලත් වූ අතර වාර්තා වූ අර්ධ ශතක සංඛ්‍යාව 9ක්.

මේ එම තරගාවලියේ සුවිශේෂී දක්ෂතා පිළිබඳ ව තැබෙන සටහනක්.

ජයග්‍රාහී Greens කණ්ඩායමේ ගමන් මඟ
ප්‍රතිවාදීන් ප්‍රතිඵලය ක්‍රීඩාංගණය
1 Team Red Greens කණ්ඩායමට ලකුණු 33ක ජයක්. BRC
2 Team Blues Blues කණ්ඩායමට ලකුණු 26ක ජයක්. Thurstan
3 Team Greys Greys කණ්ඩායමට ලකුණු 35ක ජයක්. Thurstan
4 Team Red Greens කණ්ඩායමට ලකුණු 44ක ජයක්. BRC
5 Team Blues Greens කණ්ඩායමට කඩුලු 4ක ජයක්. CCC
6 Team Greys Greens කණ්ඩායමට කඩුලු 8ක ජයක්. Colts
අවසන් මහා තරගය
7 Team Blues Greens කණ්ඩායමට කඩුලු 6ක ජයක්. P Sara Oval

අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – ඔෂදී රණසිංහ (Team Greens)

Team Greens

අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූ ඔෂදී රණසිංහ, එම තරගයේ දී ලකුණු 17කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. එහි දී ඇය එම ඉනිමේ 16 වැනි පන්දුවාරයේ පන්දුවක් ඇර පන්දුවක දී කඩුලු 3ක් දවා ගනිමින් ප්‍රතිවාදී ඉනිම සම්පූර්ණයෙන් ම අඩපණ කිරීමට සමත් වෙනවා. එය ඇයගේ මෙවර තරගාවලියේ දක්ෂතම පන්දු යැවීම බවට ද පත් වූවා.

නිමා වූ මෙම තරගාවලියේ දී ඇය එම දක්ෂතාවත් සමඟින් තරග 5ක දී කඩුලු 7ක් දවා ගන්නා ලද අතර පිතිකාරිනියක් ලෙසින් ලකුණු 48ක් ලබා ගන්නවා.

39 වැනි වියේ පසුවෙන දකුණතින් පිට දඟ පන්දු යවන ඔෂදී රණසිංහ 2011 වසරේ සිට 2024 දක්වා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවක්. එහි දී ඇය එක්දින ජාත්‍යන්තර තරග 41ක දී කඩුලු 40ක් සහ ලකුණු 367ක් ද, විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 66ක දී කඩුලු 58ක් සහ ලකුණු 404ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.

තරගාවලියේ දක්ෂතම පිතිකාරිනිය – හසිනි පෙරේරා (Team Greens)

hasini

මෙවර තරගාවලියේ දක්ෂතම පිතිකාරිනිය බවට පත් Greens කණ්ඩායමේ හසිනි පෙරේරා එම සම්මානයට හිමිකම් කියන්නේ තරග 7ක ඉනිම් 7ක දී ලකුණු 248ක් ලබා ගනිමින් පෑ දක්ෂතාවත් සමඟිනුයි. එහි සාමාන්‍ය 41.22ක් ලෙසින් පවත්වා ගෙන යෑමට ද ඇය සමත් වූවා.

මේ දක්ෂතා දැක් වූ ඉනිම් අතරට අර්ධ ශතක ඉනිම් ද්විත්වයක් එක් කිරීමට ද ඇය සමත් වෙන අතර එවන් දක්ෂතාවක් කළ තරගාවලියේ එක ම ක්‍රීඩිකාව වන්නේ ද ඇයයි. ඇය ගේ මේ තරග ලැයිස්තුවේ ඉහළ ම දක්ෂතාව වූයේ කොළඹ CCC පිටියේ දී Blues කණ්ඩායමට එරෙහි ව පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගත් ලකුණු 74යි.

මෙම ලකුණු සංඛ්‍යාව මෙවර තරගාවලියේ ක්‍රීඩිකාවක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි

ඇය විසින් එක් කළ අනෙක් අර්ධ ශතක ඉනිම වූයේ කොළඹ Colts පිටියේ දී Greys කණ්ඩායමට එරෙහි ව පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 58යි.

මෙම දක්ෂතාවලට අමතර ව ඇය තරගාවලියේ දී හතරේ පහර 25ක් එල්ල කරමින් තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩිකාව බවට ද පත් වූවා.

Greens කණ්ඩායමේ නායිකාව ද වූ 30 හැවිරිදි වියේ පසු වූ හසිනි පෙරේරා දශකයට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවක්.

මේ දක්වා ඇය එක්දින ජාත්‍යන්තර තරග 60කට ක්‍රීඩා කරමින් එක් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 1036ක් ද සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 89කට සහභාගී වෙමින් එක් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 948ක් ද ලබා සිටිනවා.

තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකාරිනියන් 5 දෙනා  
Player Team Mat Inns Runs HS Ave 50 4s 6s
1 හසිනි පෙරේරා Greens 7 1 248 74 41.3 2 25 3
2 නිලක්ෂිකා සිල්වා Greens 7 2 166 60* 33.2 1 13 4
3 හර්ෂිතා සමරවික්‍රම Blues 7 2 151 48* 30.2 10 1
4 ඉමේෂා දුලානි Greens 6 1 131 54* 32.7 1 13 0
5 අමා කාංචනා Blues 7 1 116 41 29.0 13 1

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය – චමෝදි ප්‍රබෝධා (Team Red)

chamodi

මෙවර තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය බවට පත් වූයේ තවමත් 16 වැනි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන Red කණ්ඩායමේ චමෝදි ප්‍රබෝධා. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කාන්තා කණ්ඩායමේ නිත්‍යා සාමාජිකාවක් බවට පත් ව සිටින ඇය නිමා වූ තරගාවලියේ දී තරග 6ක දී කඩුලු 11ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

මේ අතර ඇය ගේ ඉහළ ම දක්ෂතාව වූයේ කොළඹ තර්ස්ටන් පිටියේ දී Greys කණ්ඩායමට එරෙහි ව ලකුණු 10කට දවා ගත් කඩුලු 4යි. මෙම දක්ෂතාව මෙවර තරගාවලියේ පන්දු යවන්නියක පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වූවා.

ඇයගේ මේ කඩුලු දවා ගැනීම් අතර කොළඹ, තර්ස්ටන් පිටියේ දී Blues කණ්ඩායමට එරෙහි ව ලකුණු 16කට කඩුලු 3ක් දවා ගනිමින් පෑ දක්ෂතාව ද වෙනවා.

තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නියන් 5 දෙනා
Player Team M Overs Md Runs Wkts Best Ave 4
1 චමෝදි ප්‍රබෝධා Red 6 24.0 1 108 11 4/10 9.81 1
2 උදේශිකා ප්‍රබෝධනී Greens 5 18.1 0 87 9 3/20 9.66 0
3 සුගන්දිකා කුමාරි Greens 5 19.0 0 95 8 3/20 11.8 0
4 සත්‍යා සංදීපනී Blues 7 19.1 0 97 8 3/24 12.1 0
5 දෙව්මි විහංඟා Blues 7 20.0 1 103 8 3/11 12.8 0

තරගාවලියේ වඩාත් වටිනාම ක්‍රීඩිකාව – සත්‍යා සංදීපනී (Team Blues)

Team Blues

මෙවර තරගාවලියේ වඩාත් වටිනාම ක්‍රීඩිකාව බවට පත් වෙන්නේ Blues කණ්ඩායමේ සත්‍යා සංදීපනී. තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ඇය නිමා වූ තරගාවලියේ දී තරග 7කට සහභාගී වෙමින් එක් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 112ක් ද සහ කඩුලු 8ක් ද දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

පිතිකාරිනියක් ලෙසින් දැක් වූ දක්ෂතා ඉනිම් අතර ඇය Red කණ්ඩායමට එරෙහි ව පැවැති පළමු තරගයේ දී පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 50ක් ද සහ 2 වැනි තරගයේ දී පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලබාගත් ලකුණු 49ක් ද වෙනවා.

පන්දු යවන්නියක ලෙසින් ඇය පෑ ඉහළ ම දක්ෂතාව වූයේ කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී Greens කණ්ඩායමට එරෙහි ව ලකුණු 24කට දවා ගත් කඩුලු 3යි.

තවමත් 26 වැනි වියේ පසුවෙන සත්‍යා සංදීපනී 2020 වසරේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගන්නවා. ඉන්දියාවට එරෙහි ව කරලියට ආ ඇය මෙතෙක් සහභාගී වූ එක ම තරගය වන්නේ ද එයයි.

නිමා වූ තරගාවලියේ සුවිශේෂී දක්ෂතා

153/6 (20.0) : තරගාවලියේ කණ්ඩායමක් රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වූයේ Greens කණ්ඩායම විසින් Red කණ්ඩායමට එරෙහි ව කොළඹ BRC පිටියේ දී රැස් කරන ලද මෙම ලකුණු සංඛ්‍යාවයි.

64/10 (20.0) : තරගාවලියේ කණ්ඩායමක් රැස් කරන ලද අඩු ම ලකුණු සංඛ්‍යාව වූයේ Red කණ්ඩායම විසින් කොළඹ තර්ස්ටන් පිටියේ දී ලබා ගන්නා ලද මෙම ලකුණු සංඛ්‍යාවයි. මෙම තරගයේ ප්‍රතිවාදීන් වූයේ Blues ක්‍රීඩිකාවෝයි.

273 : තරගාවලියේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව Greens සහ Red කණ්ඩායම් විසින් කොළඹ BRC පිටියේ දී රැස් කරන ලදි.

70 : තරගාවලියේ වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත් වෙන්නේ Red කණ්ඩායමට එරෙහි ව Blues ක්‍රීඩිකාවන් විසින් කොළඹ තර්ස්ටන් පිටියේ දී ලැබූ ජයයි.

248 : තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Greens කණ්ඩායමේ හසිනි පෙරේරා.

74 : තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩිකාව වූයේ Greens කණ්ඩායමේ හසිනි පෙරේරා. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ Blues කණ්ඩායමට එරෙහිවයි.

11 : තරගාවලියේ වැඩිම කඩුලුලාභිනිය වූයේ Red කණ්ඩායමේ චමෝදි ප්‍රබෝධා.

4/10 : තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කළේ Red කණ්ඩායමේ චමෝදි ප්‍රබෝධා. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ Greys කණ්ඩායමට එරෙහිවයි.

115* : තරගාවලියේ ඕනෑ ම කඩුල්ලකට වාර්තා වූ වැඩිම ලකුණු සබඳතාව වූයේ Greens කණ්ඩායමේ හසිනි පෙරේරා සහ නිලක්ෂිකා සිල්වා එක් ව Greys කණ්ඩායමට එරෙහි ව 3 වැනි කඩුල්ලට එක් කළ මෙම ලකුණු සංඛ්‍යාවයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<