ශ්‍රී ලංකා යෞවනීයෝ මැලේසියාව පරාජය කරයි

82
Women's Asia Cup Rising Stars

2026 නැගී එන ආසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ 2 වැනි තරගයේ දී මැලේසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 106කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා A ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. ‍

B කාණ්ඩය නියෝජනය කරන ඔවුන් මෙම ජයග්‍රහණයත් සමඟින් ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වැනි ස්ථානයට පත් වූ අතර එහි පළමු ස්ථානයේ බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ රැඳී සිටිනවා.

>>බංගලියන් ඉදිරියේ ශ්‍රී ලංකා යෞවනීයෝ අසරණ වෙයි<<

බැංකොක් හී Terdthai ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම වෙත ලබා ගනිමින් කඩුලු 6ක් දැවී ලකුණු 172ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී මැලේසියානු ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 66ක් පමණයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 16 දී අහිමි වූව ද 2 වැනි කඩුල්ලට පන්දු 43ක දී ලකුණු 49ක සබඳතාවක් එක් කිරීමට නායිකා අනුශ්කා සංජීවනී සහ හංසිමා කරුණාරත්න සමත් වෙනවා.

අනුශ්කා සංජීවනී පන්දු 31ක දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 39කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා. ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසෙන්නේ අමා කාංචනා.

ඇය හංසිමා කාරුණාරත්න හා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 22ක දී ලකුණු 31ක සබඳතාවක් ද සහ ශයනි සේනාරත්න හා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 26ක දී ලකුණු 42ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වෙනවා.

අමා කාංචනා 5 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය බවට ද පත් වුණා.

ඇයට අමතර ව හංසිමා කරුණාරත්න පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ද සහ මල්ෂා ශෙහානි පන්දු 7කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 14ක් ද ලබා ගත් අතර ඉනිම අවසන් වන විට ශයනි සේනාරත්න පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Nur Dania Syuhada සහ Amalin Sorfina කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව Mas Elysa කඩුල්ලක් දවා ගත්තා.

මැලේසියානු පිළිතුරු ඉනිමේ පළමු පන්දුවාර 6 ලකුණු 26කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වීම කැපී පෙණුනා. ඔවුන් ඒ වෙද්දී ඉනිම ආරම්භ කළ පිතිකාරිනියන් දෙදෙනා ද ක්‍රීඩාගාරයට හරවා යවා තිබුණා.

ඉන් අනතුරු ව ද ඔවුන්ට සාර්ථකත්වයකට පැමිණීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගෙන් ඉඩක් ලැබුණේ නැහැ. ඔවුන්ගේ තර්ජනාත්මක පන්දු යැවීම හමුවේ   Nur Izzatul Syafiqa පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ද සහ Nazatul Hidayah Husna Binti Razali පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 14ක් ද ලබා ගත්තා.

අනෙක් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසිමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතුරින් හොඳම පන්දු යැවීම වාර්තා කළේ සචිනි නිසංසලා. ඇය ලකුණු 7කට කඩුලු 2ක් දවා ගන්නවා. ඊට අමතර ව සත්‍යා සංදීපනී ලකුණු 11කට කඩුලු 2ක් ද, මල්ශා ශෙහානි සහ ශෂිනි ගිම්හානි කඩුල්ල බැගින් ද දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා A කාන්ත කාණ්ඩායම – කඩුලු 6ක් දැවී 172 (20.0) අනුශ්කා සංජීවනි 29, හංසිමා කරුණාරත්න 22, අමා කාංචනා 52, ශයනි සේනාරත්න නොදැවී 21, Nur Dania Syuhada 2/22, Amalin Sorfina 2/28

 

මැලේසියා කාන්තා කණ්ඩායම – කඩුලු 8ක් දැවී 66 (20.0) Nur Izzatul Syafiqa 19, සත්‍යා සංදීපනී 2/11, සචිනි නිසංසලා 2/07

ශ්‍රී ලංකා A කාන්තා කණ්ඩායමට ලකුණු 106ක ජයක්.

  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – අමා කාංචනා (ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු වටයේ සහභාගී වන අවසන් තරගය එළැඹෙන 18 වැනිදා තායිලන්තය සමඟින් පැවැත්වේ.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ඔබ සමඟ බෙදා හදා ගැනීමට ද ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<