ශ්‍රී ලංකා යෞවනීයෝ නැගී එන තරගාවලිය අවසන් කරයි

Women's Asia Cup Rising Stars

3

ශ්‍රී ලංකා ලකුණු පුවරුවට පසු පෙළ පිතිකාරිනියන්ගෙන් කිසිඳු පිළිසරණක් නොලැබීම හේතුවෙන් දුර්වල වූ ශ්‍රී ලංකා ඉනිමේ අභියෝගය ලෙහෙසියෙන් ම පසු කළ ඉන්දීය A ක්‍රීඩිකාවෝ 2026 ආසියානු නැගී එන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා අද (20) සුදුසුකම් ලබා ගත්තා.   

බැංකොක් හී Terdthai ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම වෙත ලබා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් ලකුණු 118කට දැවී ගියා.  

ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ඉන්දීය A ක්‍රීඩිකාවෝ තම ඉනිමේ තවත් පන්දු 39ක් ද ඉතිරි කර ගනිමින් කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 119ක් ලබා ගනිමින් තරගයෙන් ජයග්‍රහණය කළා.  

ශ්‍රී ලංකා යෞවනීයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලට පන්දු 25ක දී ලකුණු 36ක සබඳතාවක් ගොඩ නැගීමට සංජනා කාවින්දි සහ හංසිමා කරුණාරත්න සමත් වෙනවා.  

හංසිමා කරුණාරත්න පන්දු 9ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 14කට දැවී යෑමත් සමඟ එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා. සංජනා කාවින්දි ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 31ක් ලබා සිටියා.  

ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව 71ක් බවට පත් ව තිබූ අතර 5 වැනි කඩුල්ල දැවී යන ලකුණු පුවරුව 100ක් ව පැවැතියා. එම කඩුල්ලට දැවී ගිය ශෂිනි ගිම්හානි පන්දු 17ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියා.  

ඉන් අනතුරු ව පිටියට පිවිසි පිතිකාරිනියන්ගෙන් කිසිඳු පිළිසරණක් නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 18ක් තුළ දැවී යනවා.  

ශ්‍රී ලංකා ඉනිම අසරණ කිරීමේ දී  Radha Yadav ලකුණු 19කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභිනිය බවට පත් වෙනවා. ඊට අමතර ව Prema Rawat සහ Tanuja Kanwar කඩුලු ද්විත්වය බැගින් ද Minnu Mani සහ Saima Thakor කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවෝ ආරම්භයේ සිට ම ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් ක්‍රීඩා කළා. ඔවුන් පළමු පන්දුවාර 6 දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 54ක්. ඒ වෙද්දී Nandini Kashyap ලකුණු 13කට දැවී ගොස් තිබුණා.  

ඉන්දීය ඉනිමේ 2 වැනි කඩුල්ලට පන්දු 24ක දී ලකුණු 48ක් එක් කිරීමට Dinesh Vrinda සහ Anushka Sharma සමත් වෙනවා. Dinesh Vrinda පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 42ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය ලෙසින් 2 වැනි කඩුල්ලට දැවී යනවා.  

Anushka Sharma පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා. ඉන්දීය ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය ලබා ගනිද්දී නායිකා Radha Yadav පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී ශෂිනි ගිම්හානි ලකුණු 33කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභිනිය වෙද්දී යසන්ති නිමන්තිකා ද කඩුල්ලක් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාA කාන්තා කාණ්ඩායම – සියලුම දෙනා දැවී 118 (19.4) සංජනා කාවින්දි 31, ශෂිනි ගිම්හානි 22, Tanuja Kanwar 2/20, Radha Yadav 4/19, Prema Rawat 2/09 

 

ඉන්දීයA කාන්තා කණ්ඩායම – කඩුලු 5ක් දැවී 119 (19.2) Dinesh Vrinda 42, Anushka Sharma 27, Radha Yadav නොදැවී 31, ශෂිනි ගිම්හානි 2/33 

 

ඉන්දීය A කාන්තා කණ්ඩායමට කඩුලු 5ක ජයක්.  

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Radha Yadav (ඉන්දියාව 

මේ අතර පැවැති අනෙක් අවසන් පූර්ව තරගයෙන් පාකිස්තාන A කණ්ඩායමට එරෙහි ව ලකුණු 54ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බංග්ලාදේශ A ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. ඒ අනුව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් ඉන්දීය A කණ්ඩායම සහ බංග්ලාදේශ A කණ්ඩායම අතර පැවැත්වෙන තරගය මේ මස 22 වැනිදා බැංකොක් හි දී පැවැත්වීමට නියමිතයි.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්මසජීවී තරග අත්දැකීම ඔබ සමඟ බෙදා හදා ගැනීමට ද ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<