හතළිස් පස්වැනි මයිලෝ ශ්‍රී ලංකා පාසල් වයස් සීමා ජල ක්‍රීඩා තරගාවලියේ තෙවන දිනය වූ ඊයේ (8) බාලක කාණ්ඩයෙන් මරදාන ජෝසප් විද්‍යාලය තෙවන දිනටත් සිය ආධිපත්‍ය පතුරුවන්නට සමත් වූ අතර බාලිකා කාණ්ඩයේ පෙරළි රැසක් සිදු කරමින් කොළඹ විශාකා විද්‍යාලය 19 වතාවක් පාසල් පිහිනුම් ශූරියන් වූ මහනුවර මහමායාවට අභියෝග කරන්නට සමත් විය.
විසාකාවන්ගෙන් තරගාවලි වාර්තා 4ක්; ජෝසප්වරු තවදුරටත් පෙරමුණේ
45 වන ‘මයිලෝ’ සමස්ත ලංකා පාසල් පිහිනුම් ශූරතාවලියේ දෙවන දිනයේ
පසුගිය දින දෙකේ දී නව තරග වාර්තා හතක් බිහි කළ 2017 වසරේ අනුශූරියන් වූ විශාකා විද්‍යාලය තෙවන දිනයේ දී ප්‍රසාද ලකුණු 77ක් වාර්තා කර ගනිමින් මුළු ලකුණු ගණන 358ක් දක්වා ඉහළ දැමීමට සමත් විය. මේ වන විට ලකුණු 390ක් රැස්කරගෙන සිටින මහමායා විද්‍යාලය මේ වන විට පෙරමුණේ සිටින නමුත් ඊයේ දිනය තුල දී ඔවුන් රැස්කර ගත්තේ ලකුණු 23ක් පමණි. සිය ජයග්‍රහණ වාර්තාව දශක දෙකක් දක්වා දීර්ඝ කර ගැනීමට නම් මහමායාවන්ට අද (9) හා හෙට (10) විශාකාවන්ට හොඳ තරගයක් දීමට සිදු වනු ඇත.
සාන්ත ජෝසප් විද්‍යාලය සුගතදාස පිහිනුම් තටාකාංගනය පුරා සිය ආධිපත්‍ය පතුරවා අවසන් අතර අනෙකුත් පාසල්වලට සාන්ත ජෝසප් විද්‍යාලයට අභියෝග කිරීම එතරම් පහසු නොවනු ඇත. ලකුණු 326ක් සමඟ ඔවුන් ආරක්ෂිතව පළමු ස්ථානයේ සිටින අතර දෙවන ස්ථානය සඳහා රාජකීය විද්‍යාලය හා ආනන්ද විද්‍යාලය තියුණු සටනක නිරත වේ.
ආනන්ද විද්‍යාලය පළමු දිනය අවසානයේ ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටින්නට සමත් වූ නමුත් දෙවන දිනයේ දී රාජකීය විද්‍යාලය ඔවුන්ගෙන් දෙවන ස්ථානය උදුරා ගැනීමට සමත් විය. තෙවන දිනයේ දී රාජකීයයන් පසුපසට ඇද දමමින් දෙවන ස්ථානයට පත්වීමට ආනන්ද විද්‍යාලය සමත් වූ අතර ලකුණු 263ක් සමඟින් ඔවුන් මේ වන විට දෙවන ස්ථානයේ සිටියි.
>> තෙවැනි දිනයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<
ආනන්ද විද්‍යාලයේ කනිෂ්ඨ ක්‍රීඩකයෝ දිනය පුරා ඉහළ දස්කම් පෙන්වූ අතර එම්. එම්. එක්නැලිගොඩ රන් පදක්කම් දෙකක් සමඟින් නව තරග වාර්තා දෙකක් බිහි කිරීමට සමත් විය. බාලක වයස අවුරුදු 9න් පහළ මීටර 50 පසුපස ආර ඉසව්ව තත්පර 38.11ක් නිමා කරමින් 2011 දී සාන්ත ජෝසප් විද්‍යාලයේ ශේවින්ද ද සිල්වා පිහිටුවා තිබූ වාර්තාව බිඳ හෙලීමට ඔහු සමත් වූ අතර අවුරුදු13ක් පැරණි වාර්තාවක් (3:06.98) බිඳ දමමින් කේවල මිශ්‍ර ආර ඉසව්ව 3:04.27කින් නිමා කිරීමට ඔහු සමත් විය.
2018 ජ්‍යෙෂ්ඨ ජාතික පාසල් ශූරයෙකු වූ දිලංක ෂෙහාන් බාලක වයස අවුරුදු 19න් පහළ මීටර 400 කේවල මිශ්‍ර ආර ඉසව්ව 5:09.82කින් නිමා කරමින් නව තරග වාර්තාවක් පිහිට වූ අතර එම වාර්තාවත් සමඟ නාලන්ද විද්‍යාලයට දිනයේ එකම ජයග්‍රහණය ගෙන ඒමට ද ඔහු සමත් විය.
කළුතර බාලිකා විද්‍යාලයේ වන්දනා ප්‍රනාන්දු බාලිකා වයස අවුරුදු 9න් පහළ මීටර 50 පසුපස ආර ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත් විය. 2013 වසරේ මෙත්‍යා වීරක්කොඩි පිහිටුවා තිබූ වාර්තාව (42.09) තත්පර 41.39කින් එම ඉසව්ව නිමා කරමින් වන්දනා බිඳ දැමීමට සමත් විය. එම වාර්තාව මෙන්ම වයස අවුරුදු 9න් පහළ නිදහස් ආර ඉසව්වේ වාර්තාව ද ඇය බිඳ දැමූ අතර 2010 පිහිටුවා තිබූ වාර්තාවක් ඇය තත්පර 34.82කින් බිඳ හෙලීමට සමත් විය.

පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ තිනායා ජයරත්න වසර 11ක් පැරණි වාර්තාවක් බිඳ දැමූ අතර බාලිකා වයස අවුරුදු 13න් පහළ මීටර 100 ළය ආර ඉසව්ව 1:24.04කින් නිමා කරමින් ඇය එම වාර්තාව බිඳ දැමීමට සමත් විය.
සාන්ත ජෝසප් විද්‍යාලයේ විනුජ කන්නන්ගර වයස අවුරුදු 13න් පහළ පසුපස ආර ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිට වූ අතර වසර 7ක් පැරණි වාර්තාවක් තත්පර 31.55කින් නිම කරමින් එම වාර්තාව පිහිටුවීමට ඔහු සමත් විය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<





















