​කට වරද්දා ගත් එංගලන්ත නායකයාට නඩු

ලෝක කුසලානයේ නෑසූ කතා (09)

675
Cover Photo : Getty Images

2000 වසරේ ටෙස්ට් තරඟ තුනකින් සමන්විත තරගාවලියකට සහභාගී වීමට පාකිස්තානයට පැමිණි එංගලන්ත කණ්ඩායමේ හිටපු නායක මයිකල් ඇතර්ටන් මුහුණ දුන්නේ අමුතුම ඉරණමකටය.

පාකිස්තානු ජනමාධ්‍යවේදියෙක් ඉස්ලාමාබාද් උසාවියක ඇතර්ටන්ට විරුද්ධව අපහාස නඩුවක් පවරා තිබුණි. මෙකී නඩුවට නිමිත්ත වූයේ ඊට සිව් වසරකට පෙර එනම් 1996 වසරේ ඉන්දියානු උපමහද්වීපයේ පැවැත්වුණ ලෝක කුසලානය අතර වූ සිදුවීමක්ය.

ලෝක කුසලානයේ මූලික වටයේ දී දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර තරගයක් රාවල්පිණ්ඩි නුවර දී පැවැත්විය. එම තරගය ලකුණු 78කින් ජය ගන්නට දකුණු අප්‍රිකානුවන් සමත් විය. තරගය අවසානයේ කණ්ඩායම් දෙකේ නායකයින් සහභාගී වන මාධ්‍ය සාකච්ඡාව අතරතුර සිදු වූ මෙම සිද්ධිය සිව් වසරකට පසුවත් ඇතර්ටන් පිටුපස හඹා ඒවි යැයි ඔහු සිතුවේ නැත.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ඇතර්ටන් ඔහුට සුපුරුදු නිවුණු ස්වරූපයෙන් පිළිතුරු දුන්නේය. මාධ්‍ය සාකච්ඡාව අවසාන වන්නට මොහොතකට පෙර එක්තරා පාකිස්තානු මාධ්‍යවේදීයෙක් කැඩුණු ඉංග්‍රීසියෙන් ඇතර්ටන්ගෙන් ප්‍රශ්න කිහිපයක් අසාගෙන යන්නට විය. නමුත් ඇතර්ටන්ට මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නය තේරුණේ නැත. ඔහු මාධ්‍ය සාකච්ඡාව තිබූ කාමරය සිසාරා උදව් සෙවූවද ඔහුගේ සහායට කිසිවෙකු ආවේ නැත. ඇතර්ටන් නැවත වතාවක් ප්‍රශ්නය අසන ලෙස මාධ්‍යවේදියාගෙන් කාරුණික ඉල්ලීමක් කළේය. දෙවැනිවරත් මාධ්‍යවේදියා එම ප්‍රශ්නයම ඇසූ අතර ඇතර්ටන්ට එවර ද මාධ්‍යවේදියා ඇසූ දෙය අවබෝධ වූයේ නැත. තෙවැනි වරටත් එකම ප්‍රශ්නය මාධ්‍යවේදියා කැඩුණු ඉංග්‍රීසියෙන් ඇතර්ටන්ගෙන් ඇසුවේය.

“ඔව්. ඔව් අපි ඊළඟ සතියේ පාකිස්තානය සමඟ ක්‍රීඩා කරනවා” කී ඇතර්ටන් ළඟම සිටි අයෙකුට ඇසෙන්න්ට මෙසේ කීවේය.

“කාටහරි මේ විගඩම්කාරයා මෙතනින් අයින් කරන්න බැරි වෙයි ද? “ (Will someone get rid of this buffoon?)

ඇත්තටම ඇතර්ටන් සිටියේ තරගය පරාජය වීම නිසා සෑහෙන සිත්තැවුලකින්ය. ඇතර්ටන්ට තබා එම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වී සිටි කිසිවෙකුට පාකිස්තානු මාධ්‍යවේදියා ඇසූ දෙය තේරුම් ගියේ නැත.

ලෝක කුසලානයේ විස්සයි විස්ස ගැසූ අපි

විස්සයි විස්ස තරග අද ලෝකයේ ගොඩක් ජනප්‍රිය තරග රටාවක්. නමුත් විස්සයි…..

එංගලන්ත ක්‍රිකට් නායකයාගේ ප්‍රකාශය නොසිතූ බලපෑමක් පාකිස්තානු මාධ්‍යවේදීයාගේ ජීවිතයට ඇති කළේය.

පසුදින පාකිස්තානයේ සහ එංගලන්තයේ පුවත්පත්වල මූලික ප්‍රවෘත්තිය ලෙස පළවූයේ ඇතර්ටන්ගේ මෙම ප්‍රකාශයයි.

මෙම සිදුවීමෙන් සෑහෙන කාලයක් මානසිකව පීඩා විඳිමින් සිටි මාධ්‍යවේදියා අවුරුදු හතරකට පසු පාකිස්තානයට පැමිණි ඇතර්ටන්ට විරුද්ධව නඩු පවරන්නට සුදුසුම කාලය එය යැයි සිතුවේය. ඔහු තමාට සිදු වූ අපහාසයට වන්දි ලෙස ඇතර්ටන්ගෙන් පාකිස්තානු රුපියල් මිලියන 12ක් ඉල්ලා සිටියේය.

අෂ්ගර් අලී නම් ජනමාධ්‍යවේදියා ඉකුත් සිද්ධියෙන් ඔහුගේ ජීවිතයට සිදු වූ බලපෑම විස්තර කරන්නේ මෙසේය.

“ඇතර්ටන්ගේ ප්‍රකාශයෙන් මගේ පෞද්ගලික ජීවිතය නැත්තට නැති වුනා. මගේ වෘත්තීය ජීවිතය නැත්තටම නැති වුනා. මා විවාහ වීමට සිටි තරුණිය මා හැර දමා ගියා. විගඩම්කාරයෙකු හෝ සමාජයට විහිළුවකට ලක්වූ පුද්ගලයෙකු හා විවාහ වන්නට ඇයට අවශ්‍ය වූයේ නැහැ. එම නිසාම සියල්ල සැලසුම් කර තිබූ මගේ විවාහ උත්සවය අත්හැර දමන්නට මට සිදු වුනා. එංගලන්ත නායකයාගේ ප්‍රකාශය නිසා මම වින්ද නින්දා අපහාස නිමාවක් නැහැ. ඒ නිසා මම ඔහුට විරුද්ධව නීතිය ඉදිරියට ගොස් කටයුතු කරනවා”

මේ කාලය ඇතුලත අෂ්ගර් අලී විසින් වෙනුවෙන් “විගඩමා: උඹ ද මම ද” (Buffoon: Me or you?) යනුවෙන් ග්‍රන්ථයක් ද රචනා කළේය. ඇතර්ටන්ගේ ප්‍රකාශය නිසා තමාගේ ජීවිතයට සිදු වූ වෙනස තමාට විඳීමට සිදු වූ දුක් ගැහැට මෙම පොතෙහි අන්තර්ගත විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් බලධාරීන් වහාම පාකිස්තානු මාධ්‍යවේදියාගෙන් සමාව ඉල්ලා සිටිය ද ඇතර්ටන් කිසිම විටක එවන් සමාවක් ඉල්ලා සිටියේ නැත.

ඇතර්ටන්ට ඉස්ලාමාබාදයේ උසාවිය හමුවේ පෙනී සිටින්නට දින නියම කෙරුණේ 2000 වසරේ දෙසැම්බර් 07 වැනිදාය. පාකිස්තානය සහ එංගලන්තය අතර කරච්චි නුවර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය යෙදී තිබුණේ එදාටය. තමාගේ නීතිවේදීන්ගෙන් උපදෙස් ලබාගෙන උසාවිය හමුවේ පෙනී සිටිනවා ද නැද්ද යන්න තීරණය කරන බව ඇතර්ටන් පවසා තිබුණි.

කෙසේ නමුත් ඇතර්ටන් එදින උසාවිය හමුවේ පෙනී සිටියේ නැත. ඒ වෙනුවට ඔහු කරච්චි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය. එම තරගයේ එංගලන්ත පළමු ඉනිමේ නැංගූරම බවට පත්වූ ඇතර්ටන් විශිෂ්ට ශතකයක් ලබා ගත්තේය. එමෙන්ම එම තරගයෙන් එංගලන්ත කණ්ඩායම අති විශිෂ්ට ජයක් ලබා ගැනීමට ද සමත් විය.

මෙම තරගය එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළේ පස්වැනි දිනය අවසාන වෙන්නට ඔන්න මෙන්න තිබිය දී ඉතාම අයහපත් ආලෝක තත්වයක් තිබිය දී ය. එංගලන්ත කණ්ඩායමක් මෙලෙස පාකිස්තානය ඔවුන්ගේ රටේ දී ම පරාජය කළේ 1961-62 වසරට පසුවය. දෛවෝපගත ලෙස මෙම තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ද පළමු දිනයේ උසාවි යන්නට නියමිතව සිටි මයිකල් ඇතර්ටන්ය.

“2000 වසරේ අග මා මෙම සිද්ධිය ඉස්ලාමාබාද් අධිකරණය වෙත ගෙන ගියා. නමුත් එදින මයිකල් ඇතර්ටන් උසාවිය ඉදිරියට ආවේ නැහැ. නමුත් පසුව එංගලන්ත මහ කොමසාරිස් කාර්‍යාලය ඇතර්ටන් වෙනුවෙන් ලිඛිතව මගෙන් සමාව ඉල්ලනු ලැබුවා. ඒ නිසා මේ ප්‍රශ්නය සාමදානයෙන් විසඳා ගැනීමට අප තීරණය කළා” අෂ්ගර් අලී පසුකලෙක ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අලී ප්‍රකාශ කළේ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙසේ වෙනත් පාර්ශව වෙත කරන අපහාස කිරීම්වලට විරුද්ධව දැඩි දඬුවම් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නව නීතිරීති හඳුන්වා දිය යුතු බවය.

ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව ඇතර්ටන් නැවත ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වන්නේ විස්තර විචාරකයෙකු ලෙසය. කීර්තිමත් විස්තර විචාරකයෙකු ලෙස නමක් දිනා ගන්නට කෙටි කාලයකින්ම ඔහුට හැකියාව ලැබුණි.

මේ සිද්ධිය හැරුණු කොට මයිකල් ඇතර්ටන්ගේ පාකිස්තානය සමග ඇති සබඳතාවය ඉතාම යහපත්ය. 1996 වසරේ පාකිස්තානය සමඟ පැවති ලෝක කුසලාන තරගය අවසානයේ ඔහු වසීම් අක්‍රම්ගේ ජර්සිය හුවමාරු කරගෙන හැඳ සිටිනු දැකීම කැපී පෙනෙන සිදුවීමක් විය. එය දෙරට අතර සුහදත්වය පෙන්වීමට කළ දෙයක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.

පසුකලෙක පාකිස්තානු වේගපන්දු යවන්නා මොහොමඩ් ආමීර් තරග පවාදීමේ චෝදනාවට ලක්වූ විට ඔහු වෙනුවෙන් විශාල හඬක් නැගූවෙකු ලෙසත් මයිකල් ඇතර්ටන් හැඳින්විය හැකිය. තහනමින් නිදහස් වූ පසු ක්‍රිකට් තහනම් වූ කාලයේ තමාට ලබා දුන් උදව්වලට ඇතර්ටන්ට විශේෂයෙන් ස්තුති කරන්නට ද ආමීර් අමතක කළේ නැත.

එමෙන්ම පාකිස්තානය තුලට නැවත වතාවක් ජාත්‍යන්තර ක්‍රිකට් යා යුතු බැව් ඇතර්ටන් කිහිප විටක්ම ප්‍රකාශ කර තිබේ. 2017 වසරේ පාකිස්තානය ශූරයින්ගේ කුසලානය දිනා ගන්නා විට ඇතර්ටන් පැවසුවේ මෙය පාකිස්තානු ක්‍රීඩාවට පමණක් නොව සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවටම සිදු වූ යහපතක් බවය. ශක්තිමත් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමක් අනිවාර්යයෙන්ම ලෝකයට අවශ්‍යයයි යැයි ඇතර්ටන් ප්‍රකාශ කළේය.

තවත් නෑසූ කතාවක් සමඟ හමුවෙමු!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<