CCC සහ Bloomfield සම ශූරයන් වෙයි

U 23 Emerging Club Tournament 2025

105
U 23 Emerging Club Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය විසඳුමකින් තොරව අවසන් වූ අතර ඒ අනුව අවසන් මහා තරගයට එක් වූ CCC කණ්ඩායම සහ Bloomfield කණ්ඩායම සම ශූරයන් ලෙසින් නම් කෙරුණා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් CCC ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 361ක් ලබා ගනිමින් ඉනිම අත්හිට වූ අතර ඊට පිළිතුරු ලෙසින් තරගය අවසන් වෙද්දී Bloomfield C & AC කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 169ක් ලබා සිටියා.

අද තරගය ආරම්භ වෙන විට පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි CCC ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 278ක් ලබා සිටියා. ඒ වෙද්දී නායක අංජල බණ්ඩාර පන්දු 211කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් නොදැවී ලකුණු 115ක් සහ ඒශාන් විතානගේ පන්දු 6කට මුහුණ දෙමින් නොදැවී ලකුණක් ද ලබා සිටියා.

ඔවුන් දෙදෙනා අතුරින් අද පළමුවෙන් ම තම කඩුල්ල අහිමි කර ගන්නේ අංජල බණ්ඩාර. ඔහු දැවී යන විට පන්දු 259කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සමඟින් ලකුණු 143ක් ලබා සිටි අතර 7 වැනි කඩුල්ලට පන්දු 106ක දී ලකුණු 67ක් ද එක් කර තිබුණා.

ඒශාන් විතානගේ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 40ක්. ඒ සඳහා ඔහු පන්දු 52කට මුහුණ දී සිටි අතර හතරේ පහර 7ක් ද ඒ අතර තිබුණා.

ඉනිම අත්හිටුවන විට සෙත්රූ ප්‍රනාන්දු සහ හිරුෂ දෙව්මික නොදැවී ලකුණු 8ක් බැගින් ලබා ගෙන තිබුණා.

කඩුලු දවා ගැනීමේ දී මිහිරංග සිල්වා ලකුණු 78කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව නිසල අබේරත්න කඩුලු 3ක් ද සහ තරින්ද නිර්මාල් කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි Bloomfield C & AC කණ්ඩායමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 12ක් වෙද්දී දවා ගැනීමට දුවිඳු තිලකරත්න සමත් වෙනවා. ඔහුට ගොදුරු වෙන්නේ හසිත අමරසිංහ (4) සහ පුලීශ තිලකරත්න (8).

අනතුරු ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 84ක දී ලකුණු 41ක් එක් කරමින් තරගය යම් තරමකින් ගොඩ ගැනීමට අසිත වන්නිනායක සහ නායක මිනෙත් ප්‍රේමරත්න සමත් වෙනවා. අසිත වන්නිනායක පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිද වැටෙනවා.

අනතුරු ව සිව් වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 164ක දී ලකුණු 88ක සබඳතාවක් එක් කිරීමට නැවත මිනෙත් ප්‍රේමරත්න පෙරමුණ ගන්නවා. ඔහුගේ සහායකයා වෙන්නේ සවිඳු රොද්‍රිගෝ. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ මිනෙත් ප්‍රේමරත්න ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 55ක් ලබා සිටියා.

තරගය විසඳුමකින් තොරව අවසන් වෙද්දී සවිඳු රොද්‍රිගෝ පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ද සහ තිරිඳු හර්ශණ පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 11ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී දුවිඳු රණතුංග ලකුණු 28කට කඩුලු 2ක් දවා ගත් අතර සෙත්රූ ප්‍රනාන්දු සහ ඉනුක කරන්නාගොඩ කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව  

  • CCC– පළමු ඉනිම කඩුලු 8ක් දැවී 361 (106.0)පවන් සංදේශ් 43, අංජල බණ්ඩාර නොදැවී 115, ඉනුක කරන්නාගොඩ 56, මිහිරංග සිල්වා 3/56, නිසල අබේරත්න 2/60
  • Bloomfield C & AC- පළමු ඉනිම කඩුලු 4ක් දැවී 169 (54.0) මිනෙත් ප්‍රේමරත්න 55, අසිත වන්නිනායක 30, සවිඳු රොද්‍රිගෝ නොදැවී 53, දුවිඳු රණතුංග 2/38

තරගයේ විසඳුමක් නෑ.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<