වෙස්ලි විද්‍යාලය Tier B අවසන් මහා තරගයට

U19 School Cricket 2026

6

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තවත් තරග කිහිපයක් අද (9) ද ක්‍රියාත්මක වූ අතර එම තරගවල දී කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර පැවැති තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගත් වෙස්ලි විද්‍යාලය Tier B කොටසේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. 

ජෝසප්වරුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී. (Tier B) 

කාසියේ වාසිය දිනා ගත් වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 187ක් පමණක් වන අතර වෙස්ලි විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 203ක් ලබා ගනිමින් පළමු ඉනිමේ වාසිය ලබා ගත්තා.  

ඒ අනුව ලකුණු 16ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 112ක් ලබා සිටි අතර ඔවුන් එම ඉනිම අවසන් කරන්නේ ලකුණු 191ක් බවට පරිවර්ථනය කර ගනිමින්.  

එම ඉනිම වෙනුවෙන් පෙර දිනයේ නොදැවී ලකුණු 34ක් ලබා සිටි ටෙහාන් බීටර් 6 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 59ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී වමතින් දඟ පන්දු යවන දිනුජ සමරරත්න ලකුණු 75කට කඩුලු 7ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඔහු පළමු ඉනිමේ දී ද කඩුලු 3ක් දවා ගත් අතර ඒ අනුව ඔහු තරගයේ දී ලකුණු 111කට කඩුලු 10ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.  

ජයග්‍රහණය සඳහා ලකුණු 175ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිවිසි වෙස්ලි විද්‍යාලය එම ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී සපුරා ගනිමින් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.  

එම ඉනිමේ ප්‍රධාන නියමුවා බවට පත් වූයේ ආරම්භක පිතිකරු ශම්මා ප්‍රනාන්දු. ඔහු තරගය අවසන් වන විට පන්දු 193කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 102ක් ලබා සිටියා.  

ඊට අමතර ව මෙත්නුල මායදුන්න පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා අතර 2 වැනි කඩුල්ලට එක් වූ සබඳතාව ලකුණු 99ක්.  

ඔවුන්ට අමතර ව ලිතුම් සෙනුජ ද පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී මෙවන් දිසානායක ලකුණු 49කට කඩුලු 3ක් දවා ගත් අතර ඉනිමේ දැවී ගිය අනෙක් කඩුල්ල මානික්‍ය දේශප්‍රිය සතු වුණා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • සාන්තබෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 187 (54.5) ටෙහාන් බීටර් 27, විහඟ රත්නායක 29, සිතුම් හසරංග නොදැවී 67, දිනුජ සමරරත්න 3/36, කවිඳු හෙට්ටිආරච්චි 2/26, මෙත්නුල මායාදුන්න 3/41 
  • වෙස්ලිවිද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (72.5) රශීඩ් නායන් 39, ලිතුම් සෙනුජ 38, කවිඳු හෙට්ටිආරච්චි 82, මෙවන් දිසානායක 2/56, ලිතික ජයසුන්දර 2/30, මානික්‍ය දේශප්‍රිය 2/33 
  • සාන්තබෙනඩික්ට් විද්‍යාලය – දෙවැන ඉනිම සියලුම දෙනා දැවී 191 (46.5) මාරියෝ ප්‍රනාන්දු 51, ටෙහාන් බීටර් 59, දිනුජ සමරරත්න 7/75 
  • වෙස්ලිවිද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 177 (59.3) සම්මා ප්‍රනාන්දු නොදැවී 102, මෙත්නුල මයාදුන්න 36, ලිතුම් සෙනුජ 20, මෙවන් දිසානායක 3/49 

වෙස්ලි විද්‍යාලයට කඩුලු 6ක ජයක් 

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය මග්ගොන Surrey Village ක්‍රීඩාංගණයේ දී. (Tier A)  

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ත්‍රිත්ව විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාජකීය විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 493ක් ලබා ගත්තා.  

අද තරගය ආරම්භ වෙන්නේ රාජකීය විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 328ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී පෙර දින නොදැවී ලකුණු 44ක් ලබා සිටි රමිරු පෙරේරා අද ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 57ක් ලබා සිටියා.  

ඔහුට අමතර ව අද දවසේ කැපී පෙනෙණ පිතිකරු බවට පත් වූයේ උදන්ත ගංගෙවත්ත. ඔහු ශතකයට ලකුණු 2ක් මෙපිටින් සිටිය දී දුවද්දී දැවී යෑමකට ගොදුරු වූවා. ඒ වෙද්දී ඔහු පන්දු 106කට මුහුණ දී සිටි අතර හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් ඊට ඇතුලත් වුණා.  

ඔහුගේ දැවී යෑමත් සමඟින් රාජකීය ඉනිම අත් හිටවූ අතර කඩුලු දවා ගැනීමේ දී සෙත්මික සෙනෙවිරත්න ලකුණු 111කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ඩිනාල් ප්‍රනාන්දු සහ කනිල්ක ඇන්තනි කඩුල්ල බැගින් බෙදා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලය තරගයේ 2 වැනි දිනය අවසන් වෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 223ක් ලබා සිටියා.  

එම ඉනිම ආරම්භ කළ දිමන්ත මහවිතාන පන්දු 156කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 125ක් ලබා ගත්තා. ඊට අමතර අනෙක් ආරම්භක පිතිකරු පුලීශ තිලකරත්න පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.  

ඔවුන් දෙදෙනා අතර 1 වැනි කඩුල්ලට ලකුණු 56ක සබඳතාවක් එක් වෙද්දී දිමන්ත මහවිතාන සහ චනිරු සේනාරත්න අතර 2 වැනි කඩුල්ලට ලකුණු 82ක සබඳතාවක් එක් වෙනවා. එහි දී චනිරු සේනාරත්න රැස් කරන්නේ පන්දු 53කට ලකුණු 20ක් පමණයි.  

තරගය 2 වැනි දිනයට නතර කරන විට දිමන්ත මහවිතාන සමඟින් නොදැවී පිටියේ රැදී සිටි මලික විතානගේ ලකුණු 22ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී හිමරු දේශාන් සහ රමිරු පෙරේරා කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව ගගන් ගමගේ කඩුල්ලක් දවා ගත්තා.   

තරගයේ කෙටි ලකුණු පුවරුව  

  • රාජකීය විද්‍යාලය – පළමු ඉනිම කඩුලු9ක් දැවී 493 (119.3) හිරුන් ලියනාරච්චි 78, දුශේන් උඩවෙල 105, විමත් දින්සර 68, රමිරු පෙරේරා 57, උදන්ත ගංගෙවත්ත 98, හිමරු දේශාන් 29, සෙතික සෙනෙවිරත්න 4/111 
  • ත්‍රිත්වවිද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 223 (53.0) දිමන්ත මහවිතාන නොදැවී 125, පුලීශ තිලකරත්න 32, චනිරු සේනාරත්න 20, මලික විතානගේ නොදැවී 22, හිමරු දේශාන් 2/63, රමිරු පෙරේරා 2/68 

ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 270ක් පිටුපසින්.  

මෙම තරගය හෙට (10) 3 වැනි සහ අවසන් දිනටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.  

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර තරගය කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී. (Tier B) 

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී සුමංගල විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මලියදේව විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 219ක් ලබා ගන්නවා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී සුමංගල විද්‍යාලය තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 58ක් ලබා සිටි අතර ඔවුන් ගේ ඉනිම අද ලකුණු 195කට සීමා වෙනවා.  

එම ඉනිම වෙනුවෙන් මෙවිඳු කුමාරසිරි පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 44ක් ද සහ බිහඟ සිල්වා පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟන් ලකුණු 34ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී තවීෂ බාලසූරිය ලකුණු 47කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ම දිමත් අබේසිංහ කඩුලු 3ක් ද සහ දම්ලත් ගමගේ කඩුලු ද්විත්වයක් ද දවා ගත්තා.  

ලකුණු 24ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි මලියදේව විද්‍යාලයට සිදු වූයේ නොසිතූ අකරතැබ්බයකට මුහුණ දීමටයි. ඔවුන්ගේ එම ඉනිම ලකුණු 75කට සීමා වෙනවා.  

ඒ අනුව අසාර්ථක එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ දුශාන් සයුරංග. ඔහු පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 24ක් ලබා ගනිද්දී කණ්ඩායමේ පිතිකරුවෝ 8 දෙනෙක්ගේ ම ලකුණු තනි ඉලක්කමකට සීමා වූවා.  

කඩුලු දවා ගැනීමේ දී වමතින් දඟ පන්දු යවන මෙවිඳු කුමාරසිරි ලකුණු 49කට කඩුලු 6ක් දවා ගනිමින් වෙස්ලි විද්‍යාලය අමාරුවේ දැමීමේ ප්‍රමුඛයා බවට පත් වුණා. ඔහුට අමතර ව මෙතුම් ප්‍රනාන්දු කඩුලු 3ක් ද සහ බිහඟ සිල්වා කඩුල්ලක් ද දවා ගත්තා.  

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 99ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී සුමංගල විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කිසිවෙක් නොදැවී ලකුණු 56ක් ලබා සිටියා.  

එම ඉනිම ආරම්භ කළ පංසිළු සිල්වා පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ද සහ විදුර බාසුරු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 31ක් ද ලබා සිටියා.  

ඒ අනුව ඔවුන්ට ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍ය ව ඇත්තේ ලකුණු 44ක් පමණක් වන අතර ඒ සඳහා කඩුලු 10ක් ම ඔවුන් සතු වෙනවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • මලියදේවවිද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 219 (67.3) තිවංක පබසර 59, දිමත් අබේසිංහ 67, සොනාල් අශ්වින් 22, මෙවිඳු කුමාරසිරි 3/100, මෙතුම් ප්‍රනාන්දු 3/31, බිහඟ සිල්වා 4/44 
  • ශ්‍රී සුමංගල විද්‍යාලය – පළමු ඉනිමසියලුම දෙනා දැවී 195 (62.3) පන්සිළු සිල්වා 25, බිහඟ සිල්වා 34, මෙවිඳු කුමාරසිරි 44, සදික දම්යුරු 32, සිහස් නෙත්දිනු 20, දිමත් අබේසිංහ 3/61, දම්ලත් ගමගේ 2/33, තවීෂ බාලසූරිය 4/47 
  • මලියදේවවිද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 75 (28.1) දුශාන් සයුරංග 24, මෙවිඳු කුමාරසිරි 6/49, මෙතුම් ප්‍රනාන්දු 3/14 
  • ශ්‍රී සුමංගල විද්‍යාලය- දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 56 (15.0) පංසිළු සිල්වා නොදැවී 20, විදුරු බාසුරු නොදැවී 31 

ශ්‍රී සුමංගල විද්‍යාලය ලකුණු 44ක් පිටුපසින්.  

මෙම තරගය හෙට (10) 3 වැනි සහ අවසන් දිනයට පැවැත්වීමට නියමිතයි.  

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<