අවීශගෙන් ශතකයක්

U19 School Cricket 2026

20
U19 School Cricket 2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය අද (6) ආරම්භ වූ අතර එහි දී මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ අවීශ සමාස් ශතකයක් ලබා ගත්තා.

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ මොරටුව වේලස් කුමාර විද්‍යාලය අතර තරගය, කටාන DHH පිටියේ දී. (Tier A)

කාසියේ වාසිය – වේල්ස් කුමාර විද්‍යාලය

කාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමාර විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලය තරගය පළමු දිනයට නතර කරන විට තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 332ක් ලබා සිටියා.

මෙම ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 16ක් වෙද්දී දැවී ගිය ද 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 173ක සබඳතාවක් එක් කිරීමට පමෝද් දල්පදාදු සහ අවීශ සමාස් සමත් වෙනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ පමෝද් දල්පදාදු ලකුණු 64කට දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යද්දී පන්දු 112කට මුහුණ දී සිටි අතර එම ඉනිමට හතරේ පහර 9ක් ද එක් කර තිබුණා.

අවීශ සමාස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 122ක්. ඔහු ඉනිමේ 4 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 129කට මුහුණ දුන් අතර එම ඉනිමට හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් එක් කර තිබුණා.

ඊට අමතර ව නුශාන් පෙරේරා ඉනිමේ අවසන් කඩුල්ලට දැවී යද්දී පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් පිට දඟ පන්දු යවන ඔශාන් මනීෂ ලකුණු 91කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව නෙතුල් අනුහස් සහ රුසඳු සිල්වා කඩුලු ද්විත්වය බැගින් ද ඔජස් ශන්කර් සහ ශෙහාන් අශේන් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි වේල්ස් කුමාර විද්‍යාලය තරගයේ පළමු දිනය අවසන් වෙන විට කිසිවෙක් නොදැවී ලකුණු 3ක් ලබා ගෙන සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 354 (78.3)අවීශ සමාස් 122, පමෝද දල්පදාදු 64, චේතින කාවින්ද 34, නුශාන් පෙරේරා 60, ඔශාන් මනීෂ 4/91, නෙතුල් අනුහස් 2/83, රුසඳු සිල්වා 2/39
  • වේල්ස් කුමාරවිද්‍යාලය- පළමු ඉනිම කිසිවෙක් නොදැවී 3 (2.0)

වේල්ස් කුමාර විද්‍යාලය ලකුණු 351ක් පිටුපසින්.

මෙම තරගය හෙට (7) 2 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ මෙම කොටසේ 2 වැනි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය මේ මස 8 වැනිදා සිට මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ Tier B කොටසේ පළමු අවසන් පූර්ව තරගය හෙට (7) කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය කොස්ගම සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<