රාජකීය විද්‍යාලයත් අවසන් පූර්ව වටයට

U19 School Cricket 2026

3
U19 School Cricket 2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුණා. ඒ කොළඹ මහානාම විද්‍යාලයට එරෙහි ව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි.

කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර තරගය, කටාන DHH පිටියේ දී. (Tier A)

කාසියේ වාසිය – මහානාම විද්‍යාලය

කාසියේ වාසිය දිනා ගත් මහානාම විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රජකීය විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 319ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහානාම විද්‍යාලය තම පළමු ඉනිමට ලබා ගන්නේ ලකුණු 244ක් පමණයි.

තරගයේ 3 වැනි සහ අවසන් දිනය ආරම්භ වෙද්දී කොළඹ මහානාම විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවි ලකුණු 244ක් ලබා සිටි අතර අද ඔවුන්ට ක්‍රීඩා කිරීමට හැකි වෙන්නේ පන්දු 4ක් පමණයි.

ඒ වෙද්දී පෙර දිනයේ පන්දු 65කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 46ක් ලබා සිටි එශාන් විතානගේ ගේ ඉනිම අද පන්දු 69ක් බවට පත් වෙමින් නිමා වෙනවා. ඒ වෙද්දී ඔහු තම ඉනිමට හතරේ පහර 7ක් එක් කර තිබුණා.

කඩුලු දවා ගැනීමේ දී මහිරු කොඩිතුවක්කු ලකුණු 49කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව හිමරු දේශාන් කඩුලු 3ක් ද සහ රමිරු පෙරේරා කඩුලු 2ක් ද දවා ගත්තා.

ලකුණු 75ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට පිටියට පිවිසෙමින් තරගය අවසන් වෙන විට කඩුලු 6ක් දැවී ලකුණු 253ක් ලබා සිටියා.

එම ඉනිම වෙනුවෙන් දුශේන් උඩවෙල පන්දු 197කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 89ක් ලබා ගත් අතර ඔහු නායක රෙහාන් පිරිස් හා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 55ක සබඳතාවක් ද ගොඩ නගනවා.

පළමු ඉනිමේ ශතකයක් වාර්තා කළ රෙහාන් පීරිස් 2 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 43ක් ලබා සිටියා.

ඊට අමතර ව පළමු ඉනිමේ දී ද අර්ධ ශතකයක් ලබා ගත් තෙවිඳු වේවැල්වල තරගය නතර කරන විට පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 56ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී චාමික හීනටිගල ලකුණු 58කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමර ව ගිත් සඳරුවන්, සනුල් වීරරත්න, දුල්නිත් සිගේරා සහ වෙනුර කවීත්‍ර කඩුල්ල බැගින් දවා ගත්තා.

 තරගයේ කෙටි ලකුණු පුවරුව

  • රාජකීය විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 319 (86.2)හිරුන් ලියනාරච්චි 28, රෙහාන් පීරිස් 146, රමිරු පෙරේරා 27, තෙවිඳු වේවැල්වල 57, වෙනුර කවීත්‍ර 6/86, චාමික හීනටිගල 2/80
  • මහානාම විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 244 (80.4)චාමික හීනටිගල 32, සිතුම් මිහඟ 70, සනුල් වීරරත්න 37, එශාන් විතානගේ 46, රමිරු පෙරේරා 2/37, මහිරු කොඩිතුවක්කු 4/49, හිමරු දේශාන් 3/87
  • රාජකීය විද්‍යාලය –දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 253 (81.0)රෙහාන් පීරිස් 43, දුශේන් උඩවෙල 89, තෙවිඳු වේවැල්වල නොදැවී 56, චාමික හීනටිගල 2/58

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය කොළඹ රාජකීය විද්‍යාලයට)

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<