හිමිර සහ කවිත් දක්ෂතා දක්වයි

U19 School Cricket 2026

19
U19 School Cricket 2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (13) නිමා වූ තරගවල දී කොළඹ ආනන්ද විද්‍යාලයේ හිමිර කුඩාගම තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ අතර මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ කවිත් ද සිල්වා අර්ධ ශතක ඉනිමක් ක්‍රීඩා කරමින් දක්ෂතා දැක් වූවා.

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර තරගය කොළඹ, ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier B)

පැවැති මෙම තරගයේ ආරම්භක දිනයේ ක්‍රියාත්මක වූයේ පන්දුවාර 2.5ක් පමණයි. ඒ වෙද්දී පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 9ක් ලබා සිටියා.

කෙසේ වෙතත් අද ඔවුන් තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 204ක් ලබා ගනිමින් තම ඉනිම අත් හිට වූ අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඉසිපතන විද්‍යාලය තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 110ක් ලබා සිටියා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ආනන්ද විද්‍යාලයේ වැඩිම ලකුණුලාභියා වූයේ හිමිර කුඩාගම. ඔහු පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා.

ඊට අමතර ව බිනර උමයංග පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ද, රශාන් දිලක්ෂ පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ද සහ ලිත්ම පෙරේරා පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දසිත් සෙනාල් ලකුණු 56කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව තරිඳු නවීන් කඩුලු 2ක් ද, යුවීන් කේශාන්, මලීෂ සඳරුවන්, උජිත් හෙට්ටිආරච්චිගේ සහ මෙනුල දඹකුඹුර කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉසිපතන විද්‍යාලයේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු නවිඳු උමෙත්. ඔහු පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 48ක් ලබා ගන්නවා.

ඔහු කවිඳු දෙනෙත් සමඟ එක් වෙමින් 1 වැනි කඩුල්ලට ලකුණු 63ක සබඳතාවක් ද ගොඩ නගනවා. එහි දී කවිඳු දෙනෙත් පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ලබා ගන්නවා.

තරගය අවසන් වන විට ජනිත් සේලක පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 17ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී හිමිර කුඩාගම ලකුණු 23කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. දැවී ගිය අනෙක් කඩුල්ලේ හිමිකාරීත්වය කිත්ම විතානපතිරණ සතු වුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ආනන්ද විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 204 (64.2)දනිඳු සෙල්ලපෙරුම 21, හිමිර කුඩාගම 43, ලිත්ම පෙරේරා 28, බිනර උමයංග 39, රශාන් දිලක්ෂ 29, තරිඳු නවීන් 2/21, දසිත් සෙනාල් 3/56
  • ඉසිපතන විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 110 (46.0) නවිඳු උමෙත් 48, කවිඳු දෙනෙත් 23, ජනිත් සේලක නොදැවී 17, හිමිර කුඩාගම 4/23

තරගයේ විසඳුමක් නෑ.

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අතර තරගය කරන්දෙණිය, ජෙනරල් බලගල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. (Traditional)

කාසියේ වාසිය දිනූ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 270ක් ලබා ගන්නා ලද අතර තරගය පළමු දිනයට නතර කරන විට ඇලෝසියස් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 54ක් ලබා සිටියා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු කවිත් ද සිල්වා. ඔහු පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 78ක් ලබා ගන්නවා.

ඊට අමතර ව හෂ්මික නෙත්ශාන් පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණ 45ක් ද සහ දසුන් නෙත්සර පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 41ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ඖෂද දේවින්ද සහ දුල්සත් නිම්විරු කඩුලු 4ක් බැගින් දවා ගත් අතර චානුක සදෙව් කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් ගිම්හාන් හංසක පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගත් අතර කඩුලු දවා ගැනීමේ දී සවිඳු සත්සර ලකුණු 15කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු සටහන

  • මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 270 (79.1) හංසක පෙරේරා 29, කවිත් ද සිල්වා 78, හෂ්මික නෙත්ශාන් 45, දසුන් නෙත්සර 41, අමීෂ ප්‍රනාන්දු 25, දුල්සත් නිම්විරු 4/100, ඖෂධ දේවින්ද 4/68
  • සාන්ත ඇලෝසියස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 54 (16.0) ගිම්හාන් හංසක 34, සවිඳු සත්සර 2/15

මෙම තරගය හෙට (14) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<