විරාන් සහ මානිත නැවතත් දක්ෂතා දක්වද්දී ශරිත් ශතකලාභියෙක් වෙයි

U19 School Cricket 2026

1
U19 School Cricket 2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (9දා) පැවැති තරගවල දී නැවත වතාවක් විරාන් චමුදිත සහ මානිත රාජපක්ෂ දක්ෂතා දැක් වූ අතර ශරිත් සුදීන ශතකයක් වාර්තා කළා.

දිනයේ එක ම ශතකලාභියා වූයේ කඳාන ද මැසනෝද් විද්‍යාලයේ ආරම්භක පිතිකරු ශරිත් සුදීන. ඔහු පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය හා සමඟ තරගයේ දී පන්දු 92කට සහභාගී වෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 109ක් ලබා ගත්තා.

මේ අතර කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය අතර පැවැති තරගයේ දී මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 55ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සාන්ත සර්වේශස් විද්‍යාලය සමත් වුණා.

එම තරගයේ දී වමතින් දඟ පන්දු යැවූ විරාන් චමුදිත පළමු ඉනිමේ දී සේ ම 2 වැනි ඉනිමේ දී ද කඩුලු 5ක් බැගින් දවා ගන්නා ලද අතර ඒ අනුව ඔහු තරගයේ දී ලකුණු 73කට කඩුලු 10ක් දවා ගන්නවා.

එමෙන් ම ගාල්ල මහින්ද විද්‍යාලයේ දකුණතින් පිට දඟ පන්දු යවන මානිත රාජපක්ෂ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට එරෙහි ව අද ලකුණු 88කට කඩුලු 5ක් දවා ගත් අතර ඔහු එම තරගයේ පළමු ඉනිමේ දී ද කඩුලු 6ක් දවා ගන්නවා. ඒ අනුව ඔහු විසඳුමකින් තොරව නිමා වූ තරගයේ දී ලකුණු 134කට කඩුලු 11ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

මේ අතර කඳාන ද මැසනෝද් විද්‍යාලයේ බිනාල් මෙන්ඩිස් (50) සහ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ඔමල් විහඟ (නොදැවී 80) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

අද (9) නිමා වු තරගවල කෙටි ලකුණු පුවරු

ගාල්ල මහින්ද විද්‍යාලය සහ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර තරගය මහින්ද විද්‍යාලයීය පිටියේ දී. (Traditional)

කාසියේ වාසිය – ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය

  • ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 180 (47.5)ඔමල් විහඟ 55, සතිඳු ප්‍රබෝධ 42, කෝශිත ආදිත්‍ය නොදැවී 31, කවිඳු නිම්සර 2/20, මානිත රාජපක්ෂ 6/46
  • මහින්ද විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 364 (67.2)තෙවිඳු රශ්මික 125, දුල්සිත් දර්ශන 57, රන්දුල මාබරණ නොදැවී 33, දිනෙත් පැහැසර 25, ගෙසඳු බිසස් 37, අරෝෂ උදයංග 32, සතිඳු ප්‍රබෝධ 4/110, ඔමල් විහඟ 3/55
  • ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය- දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 219 (75.0) කවීන් දෙනෙත් 43, ඔමාල් විහඟ නොදැවී 80, විපුන් සසංක 31, චනුල් නෙත්සිත 23, මානිත රාජපක්ෂ 5/88, අරෝෂ උදයංග 3/76

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය ගාල්ල මහින්ද විද්‍යාලයට)

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය අතර තරගය කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – සාන්ත සර්වේශස් විද්‍යාලය

  • සාන්ත සර්වේශස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 350 (49.3)රිසිනු කිත්මුක 64, හේශාන් මදුශංක 128, විරාන් චමුදිත 83, චමෝද් මිහිරංග 29, පසිඳු මහීෂ 2/77, යශෝද් කවිඳු 3/78
  • ලුම්බිණි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 112 (41.0)ලෝනිත මෙත්මාල් 37, දිනාල් සෙව්මිණ 24, විරාන් චමුදිත 5/25, ලසිඳු රාමනායක 3/31
  • ලුම්බිණි විද්‍යාලය– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 183 (50.1)ලෝනිත මෙත්මාල් 33, ජයනිත මෙන්ඩිස් 24, පසිඳු මහීෂ 58, විරාන් චමුදිත 5/48, ලසිඳු රාමනායක 3/54

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 55ක ජයක්.

අද (9) ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරු

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කඳාන ද මැසිනෝද් විද්‍යාලය අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – ද මැසනෝද් විද්‍යාලය

  • ද මැසිනෝද් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 307 (78.1)ශරිත් සුදීන 109, ශැනෝන් සිල්වා 27, ප්‍රනීත් විතානගේ 29, බිනාල් මෙන්ඩිස් 50, දිමෙත් ඉමෙන්ද්‍ර 27, සවිනු චන්තුල 25, මෙවිඳු කුමාරසිරි 3/125, බිහඟ සිල්වා 2/74, මෙතුම් ප්‍රනාන්දු 3/33
  • ශ්‍රී සුමංගල විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 53 (14.0)බිහඟ සිල්වා නොදැවී 33, සිනෙත් ඉඳුවර 2/06

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය ලකුණු 254ක් පිටුපසින්.

මෙම තරගය හෙට (10) 2 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<